ආර්ථික අවපාතය සහ දිගින් දිගටම රුපියලේ අගය කඩා වැටීම නිසා ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයක පැටලී සිටී. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ ආනයන අපනයන මත පදනම්ව රුපියලේ අගය නිදහසේ තීන්දුවීමට ඉඩ හැරීමය. රුපියල දිගින් දිගටම බාල්දුවෙන තත්ත්වයක් තුළ වුවද මාස කිහිපයක් යනතුරුත් ආණ්ඩුව හෝ  ශ්‍රී ලංකා  මහ බැංකුව හෝ රුපියල පාලනය කිරීමට මැදිහත් වුනේ නැත. ආර්ථික විශ්ලේෂකයන් ආණ්ඩුවට කරුණු කීවද රුපියල කෘතීම ලෙස පාලනය කිරීමේ යෝජනාව ආණ්ඩුව හිතාමතාම මඟ හැරියේය. කෙසේ වෙතත් ආර්ථික අර්බුදය එන්න එන්නම දරුණුවන තත්ත්වයක් හමුවේ ඉකුත් සතියේදී ශ්‍රී ලකා මහ බැංකුව යම් මැදිහත්වීමක් කළේය. ඒ විදේශ සංචිත මුදාහැරීමෙනි. 

මහ බැංකුව එලෙස ක්‍රියාමාර්ග ගනිද්දී මුදල් අමාත්‍යාංශය ආනයන පාලනය කිරීමට ද පියවර ගත්තේය. ආර්ථික අවපාතය දරුණුවීම බඩුමිල හා තෙල්මිල මාසයෙන් මාසයට ඉහළ යාම නිසා විපක්ෂය ආණ්ඩුව පට්ටපතුරු ගැසීමට පටන්ගෙන තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ සහ අනෙකුත් පාර්ශවවල චෝදනා හමුවේ ආණ්ඩුවට ද පිළිතුරු ලබා දීමට සිදුවූයේය. රුපියල අවප්‍රමාණය වීම ලෝක ප්‍රවණතාවක්. අපේ රටේ පමණක් නොවෙයි අනෙකුත් රටවලත් මුදල් ඒකක පහළ යනවා. ඇමරිකාව ගත් ආර්ථික තීන්දුවක් නිසා මේ තත්ත්වයට පත්වෙනවා.” යැයි ආණ්ඩුව නිදහසට කරුණු කියන්නට පටන් ගත්තේය. 

එහෙත් හතරවටින් ආණ්ඩුවට ප්‍රහාර එල්ල වන්නට පටන් ගත් තැන මහබැංකුව සතු විදේශ සංචිත මුදාහැර යම් මට්ටමකින් හෝ රුපියලේ අගය ආරක්‍ෂා කර ගැනීමට  ආණ්ඩුව පියවර ගත්තේය.

මේ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීම එක්සත් ජාතික පක්‍ෂයේ ආර්ථික ප්‍රත්පත්තීන් නිසා සිදුවන්නක් බවට ජනාධිපතිවරයාත් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයත් මතයක පිහිටා කටයුතු කරන බවය.

 රුපියලේ ප්‍රශ්නය හේතුවෙන් බඩුමිල ඉහළ නැගීම හා ප්‍රවාහන ගාස්තුව ආදිය ඉහළ නැගීමට අමතරව රටේ  සාමාන්‍ය ජනතාව මත තව තවත්  බරක් පැටවී තිබේ. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමය. යහපාලන ආණ්ඩුව බලයට පත්වන  අවස්ථාවේ පැවැති ඉන්ධන මිල ආණ්ඩුව බලයට පත්වූ පසුව යම් ගණනකින් පහත දැමීමය. ඒ අවස්ථාවේ ආණ්ඩුවට ප්‍රසාදයක් මතුව ආවේය. එහෙත් මිල සූත්‍රය හඳුන්වා දුන් පසුව එනම් ඉකුත් ජුලි මාසයේ සිටම අවස්ථා හතරකදී ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට සිදුවිය. ඉන්ධන මිල එන්න එන්නම වැඩිවෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යනකොට වැඩි කරන්නත් අඩුවෙනකොට අඩු කරන්නත් ආණ්ඩුවක් ඕනෑද? ආණ්ඩුවක් දැනගන්න ඕනේ තෙල් මිල වැඩිවීම හා අඩුවීම කළමනාකරණය  කරන්න” යැයි ජනතා  විමුක්ති පෙරමුණේ විවේචනයවී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණට අමතරව ඒකාබද්ධ විපක්‍ෂය ද ඉන්ධන මිල නැවතත් දේශපාලන මාතෘකාවක් බවට පත්කරගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් හෝ ඉකුත් දිනවල ඉඟියක්වත් පළ වූයේ නැත. මැතිවරණය දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැඩි කණස්සල්ලට පත්ව ඇති බවත් පෙනේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ කොමිෂන් සභා සාමාජිකයෝ ඉකුත් සතියේ රැස්වී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළහ. පවතින නීතිමය තත්ත්වය බාධාවක් කර නොගනිමින් කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් ඒ සඳහා කොමිසම සතු බලතල උපරිමයෙන් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමටත් කොමිසම ඉකුත් මාස කිහිපය පුරාම කටයුතු කළේය.

එහෙත් ආණ්ඩුව ආණ්ඩුවේ නානා විධ කපටිකම්වලින් රිංගීමට බැලුවත් මැතිවරණය පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැත. ඒ සඳහා වන සියලු නීතිමය තත්ත්වයත් බාධාවක්ව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබේ. ආණ්ඩුව පැරණි පනත අහෝසි කරලා. ඒ නිසා අපට පැරණි ක්‍රමයක් ගැන හිතන්න බැහැ. දැන් තියෙන්නේ අලුත් ක්‍රමයකට ඡන්දය තියන්න පුළුවන් පනතක්. ඒක පර්ලිමේන්තුවේ සම්මත වෙලා. දැන් ඒක නීතියක්. ඒ නිසා අපි ඡන්දය තියන්න ඕනේ අලුත් ක්‍රමයටම තමයි. හැබැයි පනතට අමතරව සම්මත කරගත යුතු දෙයක් සම්මත වෙලා නැහැ. ඒ සීමා නිර්ණ වාර්තාව අපි කුමක් කරමුද” යැයි මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියන්නේය.

මේ අතර පළාත් සභා පහක නිල කාලය අවසන්වී තිබේ. ඒවායේ මහ ඇමැතිවරු, ඇමැති මණ්ඩලය සහ මන්ත්‍රීවරු ගෙදර ගොස් සිටිති. පරිපාලනය බලය ආණ්ඩුකාරවරුන් වෙත පැවරී තිබේ. එසේ නිල කාලය අවසන්ව ඇත්තේ සබරගමුව, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත් සභා පහය. අනෙකුත් පළාත් සභා හතරේ එනම් බස්නාහිර, දකුණ උතුර සහ ඌව යන පළාත් සභාවල නිල කාලය අවසන් වීමට ද එතරම් කාලයක් නැත. අවසන් වරට මැතිවරණය පැවැත්වූ සහ රාජපක්‍ෂ ආණ්ඩුවට තීරණාත්මක මැතිවරණයක් වූ ඌව පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.

එහෙත් මැතිවරණ කොමිෂන් සභාවේ අදහස වී ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය නම් කුමන හෝ පියවරක් ගත හැකි බවය. ආණ්ඩුව කියනවා කෑලි කැළිවලට මැතිවරණය තියන්න බැහැ. එකම දිනයක මැතිවරණය තියන්න ඕනේ කියලා. ඒක හොඳ අදහසක්. ඒත් අවශ්‍ය නම් නිල කාලය අවසන් නැති පළාත් සභා හතර ආණ්ඩුකාරවරයාට විසුරුවා හරින්න පුළුවන්. එතකොට එකම දිනයක මැතිවරණය පැවැත්විය හැකියි. එහෙම නැතිව අන්තිම පළාත් සභාවේත් නිල කාලය අවසන් වන අන්තිම දවස වෙනකත් ඉන්න අවශ්‍ය නැහැ” යැයි මැතිවරණ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 තවත්  අදහසකින් ප්‍රකාශ වී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය අලුත් ක්‍රමයට ඡන්දය තියන්න කැමති නැහැ. අගමැතිතුමා හිතාමතාම සීමා නිර්ණ කමිටු වාර්තාවට කල් ගන්නවා. පනතට අනුව එවැනි කල් ගැනීමක් කරන්නත් බැහැ.” යනුවෙනි.

යහපාලන ආණ්ඩුව ගතවූ වසර තුන පුරාම විවිධ චෝදනාවලට හා දෝෂාරෝපණවලට ලක්වූයේය. ආණ්ඩුවට අලුතින්ම එල්ලවී ඇති චෝදනාව විදේශ සංචාරය පිළිබඳවය. චෝදනා එල්ලවී ඇත්තේ ආණ්ඩුවේ නායකයන් දෙදෙනාටය. ජනාධිපතිතුමා එක රටකට යනවා. අගමැතිතුමා තව රටකට යනවා. දෙන්නා මාරුවෙන් මාරුවට රට යනවා රටේ මිනිස්සුන්ට පටි  තද කර ගන්න කියනවා ඒක කොච්චර අසාධාරණද?” යැයි ද පාරේ තොටේ යන්නෝ කියති. එය සමස්ත සමාජයේද කතා බහට ලක්ව ඇත. එම සංචාරවලට පක්‍ෂ මෙන්ම විපක්‍ෂවද කතා කරති. සමාජ  වෙබ් අඩවිවල මෙය දැඩිව සාකච්ඡාවලට බඳුන් වෙමින් තිබේ.

 මේ අතර එක්තරා ප්‍රබල ඇමැතිවරයෙක් යම් කරුණක් සිහිපත් කළේ මාධ්‍ය හිතවතුන් පිරිසක් සමඟය. පාර්ලිමේන්තු ගැලරියේදී ඔහු මාධ්‍ය මිතුරන්ට රහසක් කීවේය. ආණ්ඩුව බලයට පත්වුණ මාස කීපයේදී ජනාධිපතිතුමයි අගමැතිතුමයි නිතර හමුවෙනවා. සාකච්ඡා කරනවා. දුරකතන ඇමතුම් දෙනවා. මට මතකයි ජනාධිපතිතුමා පත්වුණ අලුත අගමැතිතුමා දුන්න උපදෙසක් ඔබතුමා විදේශ සංචාර යනකොට ප්‍රවේශමෙන් තෝරා බේරා ගත්ත වැඩි පිරිසක් ගෙනියන්න එපා. සාමාන්‍ය පරිදි යන්න කිව්වා. ජනාධිපතිතුමාත් ඒක ඉහළින්ම පිළිගත්තා. මට මතකයි මුලදී සාමාන්‍ය පංතියේ ගමන් ගත්තා. කීපදෙනෙක් විතරයි ගියේ. ඒත් දැන් කොහොමද” යැයි එජාප ඇමැතිවරයා සිනාසෙන්නට පටන් ගත්තේය. එවිට මාධ්‍යවේදියකු කීවේ අගමැතිතුමාත් එක්ක යන පිරිසෙත් අඩුවක් නැහැ” නේද කියාය.

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික  මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බරපතළ තත්වයකට පත්ව තිබේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හේතුවෙනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් විසිවැනි සංශෝධනය සම්මත කරගත යුතු බවත් ඉන්පසුව එය ජනමත විචාරණයකට ලක්කළ යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත. ඒ අනුව විසිවැනි සංශෝධනය  ආපස්සට හරවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇතැයි ඇතැම් දේශපාලන පක්‍ෂ මත පළකරන නමුත් ජනතා විමුක්ති පෙරමුණ උත්සාහය අතහරින පාටක් නැත. අපි විස්ස සම්මත කර ගන්න ඕනේ. මේ රටේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට  ලබාදුන් පොරොන්දුව නිසයි. ඒ නිසා ජනමත විචාරණයකින් විස්ස ජයග්‍රහණය කරවන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ එක්ව විස්ස තුනෙන් දෙකකින් සම්මත කරගත යුතුයි. ඒ සඳහා අපි සහාය අපේක්‍ෂා කරනවා” යැයි ජවිපෙ නායක අනුර දිසානායක කියන්නේය. 

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ රටවටා යමින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහය  අතහැර නැතත් විස්ස සම්මත කරගැනීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවට දේශපාලන විචාරකයෝ මත පළකරති.

මේ අතර විදෙස් රටවල් කිහිපයක ආරාධනයකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විශේෂ සම්මන්ත්‍රන කිහිපයක් ආමන්ත්‍රණය කිරීමට නියමිතය. රට රකින-රට හදන ජනතාවාදී පාලනයක්” දැනට ජනතා විමුක්ති පෙරමුණ මෙරට සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනු ලබන අතර ඊට සමගාමීව විදෙස් රටවලද විද්වත් වෘත්තික හමු සුදානම් කර තිබෙන බවද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ඒ අනුව මේ මස දාහතරවැනි දින ඕස්ටේ්‍රලියාවේ වියානා නුවරදී, දාහත්වැනි දින ඉතාලියේ වෙරෝනා නගරයේදී හා විසිවැනි දින ඩෙන්මාරක්හි කෝපන්හේගන් නගරයේදී, විසි එක්වැනි දින ස්වීඩනයේ  ස්ටොක්හෝම් නගරයේදී මෙම සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටු සහ එතෙර අපි සංවිධානය එම රටවල ජීවත්වන විද්වත් වෘත්තික සංවිධානවල මෙහෙයවීමෙන් එම සම්මන්ත්‍රණ පැවැත්වෙන බවද වාර්තාවේ. මේ අතර බිමල්  රත්නායක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තු සංචාරයක් අතරතුරදී ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයේදී සහ ජර්මනියේ මියුනිච් නගරයේදී සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වීමටද නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් නොකිරීම නිසා ඉකුත් කාලයේ ගැටලු  සහගත තත්ත්වයක් උද්ගත වූ නමුත් මේ වනවිට එය විසඳී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්වන අතර එම සභාව මගින් අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම සිදුකෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය වසර තුනකට සීමාවන අතර කිසියම්  සාමාජිකයකුගේ නිලකාලය නිමවීමෙන් පසුව ඔහු නැවත වතාවක් ඊට පත්කිරීමට නීතියෙන් ඉඩක් නැත. ඒ අනුව සිවිල් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු පත්කර ගැනීමේ ගැටලුවක් මතු වූ අතර ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්වීමට සිවිල් ක්‍රියාකාරිකයින් ඉල්ලුම් කර නොතිබුණු බවය. කෙසේ වෙතත්  අවසානයේ සිවිල් ක්‍රියාකාරිකයන් වන සෞදි අරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාවෙඞ් ජූසුප්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය ජයන්ත ධනපාල සහ කොළඹ නීතිපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන  මහත්වරු ඊට ඉදිරිපත් වූහ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම්කර ජනාධිපතිවරයා වෙත නිර්දේශය සඳහා යැවීමට කතානායකවරයා ඉකුත් බදාදා පියවර ගත්තේය.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ කතා බහක් ඉකුත්  දිනවල දේශපාලන කරළියේ උණුසුම් පුවත් නිර්මාණය කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හමුවී භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම  පිළිබඳව සාකච්ඡාවක් කළ බවට මාධ්‍ය වාර්තාවල සඳහන්වී තිබිණ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේදී සිදුවූ බවය. එස්.බී. දිසානායකගේ නිවසෙහි එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා එස්.බී. ගේ නිවසහිදී සාකච්ඡා කළ ද ඊට එස්.බී. සහභාගී නොවුණ බවද බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා සහභාගිවී සිටි බවද ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පැතිර ගිය ආරංචි ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කීවේ සිය නිවෙසෙහි පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී නොවුණු බවය. එහෙත් හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ බවය.

කෙසේ වෙතත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ දේශපාලන  කතාබහ  නිමාවක් නොවුණ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක්ම පැවැත්වෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත්තේ පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව භාරකාර රජයක් පිහිටුවීම සඳහා ඉඩක් නොමැති බවය. ආණ්ඩුවේ අවසන් වසර ගෙවී යද්දී හා රටේ ආර්ථික ගැටලු රැසක් මතුව තිබෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා භාරකාර ආණ්ඩුවකට කර නොගසනු ඇතැයිද තවත් පිරිසක් මත පළ කරති.

[email protected]