ශ්‍රී ලංකාවට දැන් විදෙස් ප්‍රතිපත්තියක් තිබේද?
Posted on October 17th, 2018

උපුටාගැණීම  මව්බිම

අද වන විට ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් තිබේද නැද්ද යන ප්‍රශ්නය අපට ඇසීමට සිදුවී තිබේ. වත්මන් ආණ්ඩුව වෙනත් රටවල් හා සංවිධාන සමඟ පවත්වන සම්බන්ධතා තුළ ඒ තරම්ම පරස්පරතාවන් අද දක්නට ලැබේ. ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා තත්ත්වයක් අද උද්ගත වී ඇත. මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු අපි ගෙනහැර දක්වමු.

1. 2018 සැප්තැම්බර් 25 වැනිදා ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතමින් කළ කතාව,
‘….. අපට අපේ ප්‍රශ්න විසඳගන්න ඉඩදෙන්නැයි මම ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය බොහොම වැදගත්….. ස්වෛරී රාජ්‍යයක් හැටියට අපට විදේශීය බලපෑම් හා තර්ජන අවශ්‍ය නෑ. ඒ අනුව මම නැවත වතාවක් ඉල්ලා සිටින්නේ ස්වාධීන රාජ්‍යයක් හැටියට අපට අපේ ප්‍රශ්න විස¼දාගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න…..’
මෙය ඉතා පැහැදිලි ප්‍රකාශයක් වුවත්, මීට කලින් වත්මන් ආණ්ඩුව විදෙස් බලවතුන් ඉදිරියේ දුන් ප්‍රතිඥා සමඟ මෙය ගැළපෙන්නේද, යන්න විමසා බැලිය යුතුය.

2. 2015 ඔක්තෝබර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව,
මෙම යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එය තමන්ගේද යෝජනාවක් හැටියට පිළිගෙන මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවල් එයට සහයෝගය දෙන මෙන්ද ඉල්ලා සිටියේය.

කිසිදු ස්වාධීන ස්වෛරී රාජ්‍යයකට මෙවන් යෝජනාවකට කිසිසේත්ම එකඟ විය නොහැකිය. ශ්‍රී ලංකාවේ ‘යුක්තිය සෙවීමේ’ ක්‍රියාදාමයන් තුළ එක්සත් ජාතීන්ගේ සහභාගිත්වය මෙමඟින්
පිළිගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ වෙනම අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවීමටත්, එම යාන්ත්‍රණය තුළ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් වන හා වෙනත් විදේශීය විනිශ්චයකාරවරුන්ට, නීතිඥයන්ට, පරිචෝදකයන්ට හා විමර්ශන නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩදීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇත. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත දැක්වෙන ක්‍රියාකාරකම්වලටද එකඟ වී ඇත.

• එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ලංකාවේ දේශීය නීති වෙනස් කිරීම.

• ශ්‍රී ලංකාවේ යුක්තිය පිළිබඳ ක්‍රියාදාමයේ කොටසක් ලෙස ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානය කිරීම.

• සිවිල් කටයුතුවලට හමුදා මැදිහත්වීම අවසන් කිරීම හා ඉඩම් අයිතිය හා භාවිතය පිළිබඳ ගැටලුව විසඳීම.

• මහජන ආරක්‍ෂණ පනත ප්‍රතිසංස්කරණය කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට මානව හිමිකම් කාර්යාලයට පිළිගත හැකි වෙනත් පනතක් ගෙන ඒම.

• ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් තුළින් බලතල බෙදීම සම්බන්ධයෙන් ආණ්ඩුව දී ඇති ප්‍රතිඥා ඉටු කිරීම.

• එක්සත් ජාතීන්ගේ සංවිධානයක් මානව හිමිකම් කවුන්සිලයක් විවිධ අංශවල විමර්ශන නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

තමාගේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය ගැන කතා කරන ආණ්ඩුවක් ඉහත දැක්වෙන ආකාරයේ ප්‍රතිඥා විදේශීය රටවලට ලබා දුන්නේ කෙසේද යන්න අපට වටහා ගත නොහැකිය. 2015 30/1 යෝජනාවෙන් සිදුවී ඇත්තේ ලංකාවේ ආණ්ඩුව විදේශීය පාලනයට එකඟ වීමකි.

3. 2017 මාර්තු 23 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අංක 34/1 යෝජනාව
මෙකී යෝජනාවෙන් ලංකාවේ ආණ්ඩුව කර ඇත්තේ 2015 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් අවුරුදු දෙකක් ඉල්ලා සිටීමය. 30/1 යෝජනාවේ අඩංගු කරුණු කිසිවක් වෙනස් කරන මෙන් ඉල්ලා නැත. මේ දෙන යෝජනාවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලංකාවේ ක්‍රියාදාමයන් අධීක්‍ෂණය කිරීමට පුළුල් බලතලද පවරා ඇත.

4. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති තමුන්ගේ කාර්ය භාරය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට තිබූ ආකල්පය
2016 පෙබරවාරි 09 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුකළ ප්‍රකාශයට අනුව ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රණය තුළ ‘ජාත්‍යන්තර සහභාගිත්වය’ තිබිය යුතු බවටත් ඒ සම්බන්ධයෙන් තමන්ට ලංකාවේ අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් එකඟත්වය පළකළ බවත් ප්‍රකාශ කළේය.

2016 ජුනි 29 වැනිදා ඔහු කළ ප්‍රකාශයකින් කියවුණේ ලංකාවේ වගකීම් ක්‍රියාවලියේ ස්වාධීනත්වය හා විශ්වසනීය බව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි.

2017 මාර්තු 22 වැනිදා ඔහු මේ අදහස තවත් ඉදිරියට ගෙන යමින් පැවැසුවේ, ආණ්ඩුව තුළ සන්නද්ධ අංශවල සාමාජිකයන්ට එරෙහිව පියවර ගැනීමට ඇති අකැමැත්ත හෝ බිය නිසාත්, ලංකාවේ උසාවි පද්ධතිය මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාතීව කටයුතු කරාවීද යන්න ගැන ඇති සැකය නිසාත් වගවීම් ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර සහභාගිත්වයේ අවශ්‍යතාව තවත් තීව්‍ර කරන බවත්, විදේශීය විනිසුරුවන්, පරිචෝදකයන්, නීතිඥයන් හා විමර්ශකයන් මේ ක්‍රියාදාමයට හවුල් විය යුතු බවත්ය.

2016 පෙබරවාරි 09 වැනිදා මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශයේදී ඔහු අවධාරණය කළ කාරණයක් වූයේ, ලංකාවට අසාර්ථක වූ අධිකරණයක් ඇති බවත් ලංකාවේ අගමැතිවරයාත් 2016 ජනවාරි 27 වැනිදා පාර්ලිමේන්තුවේ කතා කරමින් ඒ බව අවංකව පිළිගෙන තිබුණු බවයි.

5. ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී කළ කතාව
2015දී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ යෝජනා ගෙන ආ ඇමෙරිකාවේ ආණ්ඩු පෙරළියක් ඇති වී අද වන විට එම රට මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වී තිබේ. ඉන් ඉවත්වීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරිය මානව හිමිකම් කවුන්සිලය හැඳින්වූයේද දේශපාලන පක්‍ෂග්‍රාහී බවින් පිරි ‘අශූචි වළක්’ ලෙසය. ඇමෙරිකාව ඒ ආකාරයට මානව හිමිකම් කවුන්සිලය හැර ගොස් තිබුණද 30/1 හා 34/1 යන යෝජනා තවමත් වලංගුව පවතී. ලංකාවේ ආණ්ඩුව මේ යෝජනාවලට එකඟවීම නිසා අපගේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය වෙනුවෙන් හඬ නැඟූ රටවල් විශාල ගණනකට අද මුනිවත රැකීමට සිදුවී ඇත.

අංක 30/1 හා 34/1 යන යෝජනාවලට ලංකාව විසින්ම සම අනුග්‍රාහකත්වය ලබාදී තිබෙන නිසා විදේශීය රටක් විසින් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවකට වඩා ඒවා වෙනස් වේ. එමඟින් ලංකාවේ ආණ්ඩුවේ අභිමානය පිළිබිඹු වන බවත් ගම්‍ය වේ.

දේශීය ක්‍රියාදාමයන් ප්‍රකාශිතවම අතහැර පශ්චාත් යුද සමයේ ලංකාවේ නැවත ගොඩනැඟීම හා සංහිඳියාව සම්බන්ධයෙන් විදේශීය හවුල්වීම පිළිගෙන ඇත. ඒ අනුව රාජ්‍ය ඉඩම් පරිහරණය, ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානය, බලය බෙදීම, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යන සියලුම අංශවල විදේශීය මැදිහත්වීම් පිළිගෙන ඇත. මේ නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කළ කතාව ගැන මම මවිත වුණෙමි.

එම කතාව ඇසූ විට මගේ සිත තුළ ඇති වූ ප්‍රශ්නය වූයේ එසේ නම් 30/1 හා 34/1 යන යෝජනාවලට එකඟත්වය පළ කරනු ලැබුවේ ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුවද නැති නම් වෙනත් ආණ්ඩුවක්ද යන්නයි.

ජනාධිපතිතුමා නිව්යෝර්ක් නුවර මහ මණ්ඩලයේ කරන කතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට කිසිසේත්ම බලපාන්නේ නැත. ලංකාව විසින්ම 30/1, 34/1 යන යෝජනාවලට වෙනත් රටවල්ද සහයෝගය දිය යුතු යැයි ඉල්ලා සිට ඇති වාතාවරණයක ජනාධිපතිවරයාගේ වදන්වල කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නැත. මෙහි වෙනස්කමක් කිරීමට නම් ආණ්ඩුව 30/1 හා 34/1 යන යෝජනා මානව හිමිකම් කවුන්සිලය තුළ නිෂ්ප්‍රභ කිරීමට යම් ප්‍රායෝගික ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතුමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress