පළාත් සභා ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉල්ලා ප්‍රාදේශිය සභා, නගර සභා, මහ නගර සභාවන්හි යෝජනා සම්මත කර ගන්නා ලෙස කැෆේ සංවිධානය ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. 
Posted on October 24th, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය 

ආණ්ඩුකාරවරුන්ගේ පාලනයට යටතට පත් කොට ඇති ලංකාවේ පළාත් සභා 9 න් 6 ක හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ඉල්ලා යෝජනා සම්මත කොට ගන්නා ලෙස කැෆේ සංවිධානය අද සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍ය හා උතුරු පළාත් හි සියළුම පළාත් පාලන ආයතන නියෝජිතවරුන්ගෙන් විවෘත ඉල්ලීමක් සිදු කළේය. 

ආණ්ඩුකාර පාලනය යටතේ පළාත් සභා පැවතීම ඒකාධිපති ව්‍යවහාරයක් බවත්,  හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය පවත්වා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සභා ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස ත්, කැෆේ සංවිධානය යොමු කළ ලිපියේ දැක්වේ.  

එම ලිපිය මේ සමග අමුණා ඇත.>
2018.10.24     

ගරු සභාපතිතුමනි/සභාපතිතුමියනි,

ගරු විපක්ෂනායකවරුනි,

ගරු මන්ත්‍රීතුමනි/මන්ත්‍රීතුමියනි,

 පළාත් සභා ඡන්ද විමසීම පවත්වන ලෙස යෝජනාවක් සම්මත කර ගන්නා ලෙස ඉල්ලීමයි

ලංකාවේ පළාත් සභා 9 න් 6 ක් මේ වන විට මහජන නියෝජිතයින් නොමැතිව ආණ්ඩුකාර/නිලධාරි පාලනයට යටත් කොට ඇති අතර, ඔබගේ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණ කාර්යය ද පැවරී ඇත්තේ එවැනි  කාලය ඉකුත් වූ පළාත් සභාවකට බව ඔබ හොදින් දනී.  

මැතිවරණ කොමිෂන් සභාවේ ගරු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, ඉතා නිවැරදිව ප්‍ර‍කාශ කොට ඇති පරිදි ආණ්ඩුකාර/නිලධාරි පාලනය ඒකාධිපති පාලනයකි.  ඔබ ගේ පලාත් පාලනය ආයතනය ප්‍රජාතන්ත්‍ර‍වාදී නොවන ඒකාධිපති පාලනයක අධීක්ෂණය යටතේ පැවතීම කුමන අයුරකින් හෝ යහපත් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ව්‍යවහාරයක් වන්නේ නැත.

අනෙක් අතට, පළාත් පාලන නියෝජිතයින් ලෙස පුද්ගලිකව ඔබට දේශපාලන ඉනිමගෙහි ඉහළට නැග යාම සදහා වන අවස්ථාව පළාත් සභා ඡන්දය කල් දැමීම තුල ඔබ සියළු දෙනාට අහිමි කොට තිබේ.  පලාත් පාලන ආයතනයන්ට මෙන්ම අනාගත පළාත් සභා ඡන්දයක දී, නාම යෝජනා සැකසීමේ දී කාන්තා අපේක්ෂිකාවන් ගේ නියෝජනය අනිවාර්ය කර ඇත.  ඔබ පලාත් පාලන ආයතනයේ නියෝජිතවරින් ලෙස ප්‍ර‍ශස්ත ලෙස කටයුතු කරන  කරන ගරු මන්ත්‍රීවරියන්ට, පළාත් මට්ටමින් දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ද ඡන්ද කල් දැමීම තුල අහිමි කොට ඇත.

පළාත් සභාවේ  විෂය කේෂ්ත්‍ර‍ට පළාත් පාලන ඇතුලත් ය.  මහජන නියෝජිතයින් විසින් පාලනය වන පළාත් සභාව දී ඔබගේ පලාත් පාලන ආයතනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ක්‍ර‍මවේදය වඩා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වේ.  එහ සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ සාකච්ඡාවට බදුන් කොට, විවාද කර එකගතාවන් ඇති කර සිදු කරන කාර්යයකි.  මහජන නියෝජිතයින් නොමැති පළාත් සභාවක එවැනි සමබර, තීරණ ගැනීමේ ක්‍රිමවේදයක් නොවන අතර පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකුගේ අත්තනෝමතක තීරණයක් ගේ ගොදුරු බවට ඔබගේ ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහ නගර සභාව පත්විය හැකිය. විශේෂයෙන්ම ජාතික හෝ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ අවශ්‍යතාව මත පලාත් පාලන අයතනයන් හි නියෝජිතයින්, පළාත් පාලන ආයතනය පවා පීඩාවට ලක් විය හැකිය.  

ගරු මහජන නියෝජිතවරුනි,

නිදහස් හා සාධාරණ මැතිවරණ වෙනුවෙන් සක්‍රීය කාර්ය භාරයක් ඉටු කරන කැෆේ සංවිධානය ඔබතුමන්ලාගෙන්/ඔබතුමියලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ,

‘‘පළාත් සභා ඡන්ද විමසීම හැකි ඉක්මනින් පවත්වන ලෙසට ඔබගේ පලාත් පාලන ආයතනය විසින් ඉදිරි මහා සභා රැස්වීමේ දී යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසත්, ඒ බව, පළාත් ආණ්ඩුකාරවරුන්, ගරු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු ජනාධිපතිතුමා වෙත දැනුම්දීම සදහා සුදුසු පියවර ගන්නා ලෙසත්‘‘ ය.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙවැනි යෝජනාවක් ඒකච්ඡන්දයෙන් ඔබගේ පලාත් පාලනය ආයතනය තුල සම්මතවීමට ඇති ඉඩ කඩ පිළිබද කැෆේ සංවිධානය දැඩි විශ්වාසය පළ කරයි. එසේ නොවේ නම්, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට විරෝධය පළ කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙම යෝජනාව මගින් අනාවරණය කරනු ඇත. එම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී මහජන නියෝජනයක් සහිත පළාත් සභාවක් ස්ථාපනය කිරීම සදහා අතිශයින් වැදගත් වනු ඇත. 

එමෙන්ම මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සදහා අදහස් කරන ගරු මන්ත්‍රීතුමන්ලා, මන්ත්‍රීතුමියන්ලාට යම් තාක්ෂණික උපදේශයක්, සහායක් අවශ්‍ය නම් එය ලබා දීමට ද කැෆේ සංවිධානය ඉතාමත් කැමැත්තෙන් සිටින බව ද, එවැනි සහායක් අවශ්‍ය නම් පුද්ගලිකවම 0777791225 දුරකතන අංකයෙන් මා අමතන ලෙස ද ඉල්ලමි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් මගින් තෝරාපත් කර ගන්නා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පළාත් සභාවක් ස්ථාපනය කිරීම සදහා ඔබගෙන් ලැබෙන දිරිගැන්වීම, සහාය  ඉතාමත් අගය කොට සලකමි.

මෙයට විශ්වාසී,

   

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

 

  1. පළාත් පාලන ආයතනයන් හි ලේකම්වරුන් වෙත – කරුණාකර මෙම ලිපිය ඔබ පළාත් පාලන ආයතනයේ සියළුම මහජන නියෝජිතවරුන්/නියෝජිතවරින් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress