රටේ තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හිතන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ.
Posted on May 6th, 2019

බැසිල් රාජපක්ෂ 

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරිමක් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදි දේශපාලන වාසිගන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 

ඒ මහතා මෙසේ පැවසුවේ මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (06) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළීතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මාධ්‍ය – මේ වෙද්දි රටේ තියෙන්නේ බැරෑරුම් තත්ත්වයක්. භයානක තත්ත්වයක්. මේ ගැන මොකද හිතන්නේ. 

බැසිල් රාජපක්ෂ මහතා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ කණගාටුදායක අවස්ථාවේදීත්, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදීත් වාසියක් ගන්න හෝ පූර්ව නිගමනවලට එන්න සූදානමක් නැහැ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්. දේශපාලන මඩ ගැහිමක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ගන්න හිතන්නේ නැහැ. දේශපාලන වාසි ගන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ. 

මාධ්‍ය – අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනේ කුමක් සම්බන්ධයෙන්ද?

දිනේෂ් ගුණවර්ධන මහතා – පක්ෂ දෙක අතර සාකච්ඡාවක් පැවැත්වුවා. පක්ෂය සම්මතකළ සම්මේලනයේ  යෝජනාව ගැනත් වත්මන් දේශපාලන තත්ත්වයත් ගැන සාකච්ඡා කලා.ඒ වගේම මේ වෙද්දි මහජනතාවගේ ඡන්දයෙන් තේරුණු ආයතන විදියට ක්‍රියාත්මක වෙන්නේ පළාත් පාලන ආයතන විතරයි. සියලු පලාත් සභා මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙනුත් සාකච්ඡා කළා. 

මාධ්‍ය – ඉදිරියේදි දිගටම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ සමග ඒකාබද්ධව දේශපාලනයේ නිතර වෙන්න අදහස් කරනවාද?

දිනේෂ් ගුණවර්ධන මහතා – ආණ්ඩුව එළවිය හැකි සියලු බලවේග ඒකාබද්ධ කිරීමයි අපේ අදහස. ජාතියම කළකිරිලා. ආන්ඩුව ගෙදර යවන්න දෙයක් නැහැ. අද ආන්ඩුවක් නැහැ. නමුත් සංඛ්‍යාත්මකව පාර්ලිමේන්තුවේ සංයුතිය තියෙන්නේ ඒ අයගේ පැත්තේ නිසයි මේ විදියේ අස්ථාවර තත්ත්වයක් ඇති වුනේ. 

මාධ්‍ය – ආර්ථිකය බරපතල තත්ත්වයකට මුහුණ දීලා. පක්ෂ දේශපාලනිකව ගොඩ යන්න හිතනවා මිස රටක් විදියට ගොඩ යන්න හිතන්නේ නැහැ. 

දිනේෂ් ගුණවර්ධන – විපක්ෂය වගකීමකින් කටයුතු කර තිබෙනවා. නමුත් ආන්ඩුව වගකීමෙන් කටයුතු නොකිරීම නිසයි මෙවැනි තත්ත්වයක් ඇති වුනේ. මේ තරම් ඛේදවාචකයකට මුහුණ දෙන්න වුනේ ඒ නිසා කියලා වගකීමක් සහිත ආණ්ඩුවක් නම් පිළීගන්න ඕනේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඡන්දයකින් තොරව සම්මත කර දුන්නෙත් රටේ ජනතාවත් ව්‍යාපාරිකයින් සහ ආර්ථිකය නංවාලීමට හදිසි නීතිය යොදාගන්න අවස්ථාව දෙන්නයි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා කරුණු දක්වා තිබෙනවා. විවිධ අංශ විපක්ෂ නායකතුමා හා ඒකාබද්ධ විපක්ෂය හමුවෙමින් සාකච්ඡා පවත්වමින් තිබෙනවා. 

මාධ්‍ය – මේ ත්‍රස්ත සංවිධානයට විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව කියනවා. ඇයි තහනම් කරන්නේ නැත්තේ. 

දිනේෂ් ගුණවර්ධන – ආරක්ෂාව දෙන්නේ හමුදාවයි. රජය යන්නේ හෙමින් ගමනක්. නීිතිය යටතේ මොවුන්ගේ දේපල රාජසන්තක කළ යුතුයි. විජේවීර සහෝදරයාගේ ගෙයි රත්තරන් තිබුණා කිව්වා. ඒවා රාජසන්තක කළා. මෙතැන රත්තරන් අවි ආයුධ දේපල හැමදේම තියෙනවා. ඕනෑම දේපලක් රාජසන්තක කරන්න හදිසි නීතියට පුලුවන්. නීතිය දන්න අය මේ බව දන්නවා. 

මාධ්‍ය – බුද්ධි අංශ නිලධාරීන් සාක්ෂි නැතිව රදවා තබා ගත්නවා.නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන අය රට යනවා. 

දිනේෂ් ගුණවර්ධන – මේ ආන්ඩුවේ පළීගැනීමේ ස්වභාවයක් තියෙන්නේ. වසර හතරහමාරක් කලේ පළිගැනීම් කරන එකයි. පළාත් පාලන මැතිවරණයේදී ආන්ඩුව ප්‍රතික්ෂේප කරලා පෙන්නුවා වගේ ඊළග මැතිවරණයේදී බලන්න පුලුවන් ආන්ඩුව ප්‍රතික්ෂේප වෙන හැටි. 

මාධ්‍ය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දින ගණන් බන්ධනාගාරගත වුනා. බරපතල චෝදනා එල්ල වෙන අයව නිකමට ගෙන්වලා කතාකරන්නේවත් නැහැ. 

දිනේෂ් ගුණවර්ධන – හෙට දවසේ පාර්ලිමේන්තුවේ විවාදයක් අපි ඉල්ලලයි තියෙන්නේ. ක්‍රියාත්මක වෙනවා නම් ඒ සදහා ඕනෑ තරම් නීති තියෙනවා. ඒ නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණු සාක්ෂාත් කර ගන්නේ නැති එකයි තියෙන්නේ. ආන්ඩුව ඇතුලේ කළඹලනේ. ඇමැතිකම් දෙන්නේ නැහැ කියලා ජනාධිපති කියද්දි ගිහින් ඇමැතිකම් ඉල්ලනවා.

මාධ්‍ය – චෝදනාවලට ලක්වුනු අය ඔබේ ආන්ඩුවකට එක්කරගන්නවාද?

දිනේෂ් ගුණවර්ධන මහතා – චෝදනාවලට ලක්වෙන අයව ජනතාව ගෙදර යවයි. මහජනයා ඡන්දය දිලා පාර්ලිමේන්තුවට එවනවා වෙනුවට ඔවුන්ව ගෙදර යැවිය යුතුයි. අපි ජනතාව අතරට ඒ මතය ගෙ යා යුතුයි. ඒ අයව අපේ ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වුනත් ගන්නේ නැහැ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress