වඳුරන්ට දැළිපිහි දීම නොහොත් චන්දය දෙන්නේ මොකාටද‌? වඳුරෝ කවුද?
Posted on November 7th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, B.A. (Hons.), LL,B., M.A., Ph.D.

ලංකාවාසීන්ට සර්‌ව ජන චන්දබලය දීමට 1928 දී ඩොනමෝර් කොමිෂම යෝජනා කලවිට ඊට විරුද්ද්ධ නොවූයේ කම්කරු පක්‍ෂ නායක ඒ.ඊ. ගුණසිංහ මහතා පමණය. එවකට දේශපාලනයේ සිටි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, අර්‌ධ බෞද්ද්ධ, බෞද්ද්ධ යන අනිත් හැමෝම උපහාසයෙන් කියා සිටියේ එය හරියට වඳුරන්ට දැලිපිහි දෙනවා වගේ වැඩක් වැනිය කියාය. 1931 චන්දයේදී අනුරාධපුර චන්ද කොට්ඨාශයට ඉල්ලා දිනුවේ ෆ්රීමන් නම් විශ්‍රාමලත් සුදු ඒජන්තවරයාය. 1936 දීද ඔහු නිතරඟයෙන් පත්‌විය. සිංහල මිනිහෙක් වෙනුවට ගැමි ජනයා ඔහුට චන්දය දීමෙන් ගැමි බෞද්ධ විඥානය එලිවිය. සෙසු ප්‍රදේශවල චන්දය ඉල්ලුවේ සුද්දන් යටතේ ධනවත්‌වූ ඉඩම් හිමියන්‌ය. ඇමෙරිකාවේ වහළුන් හිමි වතුකාරයින් මෙන් මේ අය බොහෝදෙනා රබර්, පොල් වතුවල හොර ගෑණුන් තබාගෙන ජොලියෙන් සිටි පවුල්වල අය විය. 1931 න් පසු මන්ත්‍රීන්‌වූ අයගේ නම් ලැයිස්තුව බලන්න. මා දන්නා එක් අයෙක් නම් පානදුරේ සුසන්තා ෆොන්සේකාය. කටකතාව නම්, ඔහු මගේ ස්වාමිපුරුෂයා වන්නේ මා සමඟ ගෙදර ඉන්නාවිට යයි ඔහුගේ ආර්‌යාව කීවාය කියාය. මොලමුරේ තවත් එවැනි නමකි.

ඩොනමෝර් බෞද්ද්ධයින්

ඩොනමෝර් චන්ද ක්‍රමය යටතේ ඩොනමෝර් බෞද්ධයින් බිහිවිය. කතෝලික (පෘතුගීසි කාලයේ), රෙපරමාදු ක්‍රිස්තියානි (ලන්දේසි), ඇන්ග්ලිකන් (ඉංග්‍රීසි) යනුවෙන් ආගම් මාරුකරමින් සිටි මේ කළුසුද්දෝ, දේපල හෝ අධ්‍යාපන සුදුසුකම් නොබලා සාමාන්‍ය ජනයාට චන්දබලය දීමත් සමඟ නැවත බුද්ද්ධාගමට බොරුවට හෝ සේන්දු විය. හරියට සිංහල කතාකරන්නට වත් නොදත් මොවුන් ගැමි චන්ද ලබාගන්නට යොදවා ගත්තේ ගම්වල පන්සල්වල හාමුදුරුවරුන්‌ව‌ය. එතැන් සිට අද දක්වාම පක්‍ෂ දේශපාලකයින් ගෙනයන මේ උපක්‍රමය එල්ලේ ගුණවංශ හාමුදුරුවන් විග්‍රහ කලේ, අපි මුන්ට කොඩි උස්සාගෙන ගියා, අන්තිමේ අපිට ඉතුරුවුනේ කොඩිවල පොලු පමණයි යනුවෙනි. බොදු බල සේනාව මේ හැසිරීම සමානකලේ සමහර පිරිමි හිතහොඳ ගෑණුන්ට සළකණවා වගේ කියාය!

දෙමළ අධිමානය හා හීනමානය

1832 සිටම ජාතිය අනුව, සිංහල-දෙමළ කියා බෙදා පාලන ක්‍රමයක් අනුගමණය කල සුද්දා
1931 දී භාෂාව වෙනුවට භූමි ප්‍රදේශය (චන්ද කොට්ට්ඨාශය) අනුව නියෝජිතයින් තෝරණ රාජ්‍ය මන්ත්‍රණ සභාවක් පිහිටුවා ඒ මඟින් දේශපාලකයින් අතර සමඟිය බිහිවෙතැයි සිතීම හාස්‍යජනකය. විශේෂයෙන්ම, 1921-24 කාලය සිංහල-දෙමළ වශයෙන් කළුසුද්දන්ගේ පැවති බෙදීමේ උග්‍රම අවධියක් විය. බෞද්ධ රාජ්‍ය සාරධර්‍ම අනුව යෑමට ධර්‌මපාලතුමා 1911 පමණ සිට ගත් වෑයම ප්‍රතික්‍ෂේප කල මේ සිංහල කළුසුද්දන් (ඩී. බී. ජයතිලක/ඩී. ඇස්. සේනානායක ඇතුළු), දැන් 2019 වනවිටත් සුමන්තිරන්/විග්නේශ්වරන් හා සහරාන්/හිස්බුල්ලා කොටිවල්ග අල්ලාගෙන ලිඳක වැටී ගොඩaේමට නොහැකිව සිටී. ඩොනමෝර් යුගය ජී. ජී.පොන්නම්බලම්ලා පනහට පනහ ඉල්ලා පිස්සු බල්ලන් මෙන් ගෙවූ කාලයක් විය. ඩී. බී. ලා කලේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඔවුන් දමණය කිරීම නොව ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමය. අනුරාධපුර නටබුන් සංරක්‍ෂණය කිරීමට මුදලක් වෙන්කිරීම දෙමළ ජනායට වෙනස්කම් කිරීමක් යයි කියමින් කිසිදු ලැජ්ජාවක් නැතිව සෝල්බරි කොමිෂම ඉදිරියේ නහයෙන් ඇඬීමට තරම් පොන්නම්බලම් දීන විය. ඩී.බී‌ලා ඩී.එස්‌ලා කලේ තනිකර සිංහල අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවී වැනි දේය. පුදුමය නම් ඒ සඳහා ඔවුන්ට සූත්‍රයක් සදා දුන්නේ මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් වීමය.

ගම-වැව-දාගැබ යන සමාජ, ආර්ථික, පරිසර ත්‍රිත්‌වය (මොඩලය) අනාදිමත් කාලයක සිට එක්සේසත් ලංකාවක් පණ්ඩුකාභය-දුටුගැමුණු සමයේ සිට 1815 දක්‌වාම පවත්‌වා ගෙන ගියත් දැන් ඇත්තේ දේශපාලකයා-නිලධාරියා-එන්. ජී. ඕ‌කාරයා යන අයගෙන් සැදුන දුෂ්ඨ ත්‍රිකෝණයක්‌ය. එය ග්‍රාම සේවා නිලධාරියාගේ සිට ජනාධිපති/අගමැති දක්‌වාම දුවයි. 1948 දී නිදහස ලැබෙනවිට සිදුවිය යුතුව තිබුණේ 1815 දී අහිමිවුන සිංහලෙ රාජ්‍යයේ අයිතිවාසිකම්, සුද්දන් විසින් කල යළි ආපස්සට හැරවිය නොහැකි වෙනස්කම් භාර ගන්නා ගමන්ම, සිංහල බෞද්ධ ජනයාට ලබාදීමය. එහෙත් ඩී. එස්. විසින් කලේ 29 වගන්තියක් අටවා ගෙන ආණ්ඩුව සරණං ගච්චාමි යයි පදයක් නැතැයි උපහාසයෙන් කීමය. මෙසේ අතරමංවූ සිංහල බෞද්ද්ධ යයි කියාගත් කළුසුද්දන්ගේ පටිපාටිය බොදු බල සේනාව දැක්කේ ඔවුන් සිංහලයාට සැළකුවේ හරියට සමහර පිරිමි හිත හොඳ ගෑණුන්ට සළකණවා වගේය කියාය.
සිංහල ජනයාට කල අසාධාරණකම්, හිරිහැර, නීති නිවැරදි කිරීම සෙසු ජන වර්‌ග වලට කරණ වෙනස්කමක් නොවේ. මේ ගැන ලංකා සිවිල් සේවයේ සිටි නේසයියා දේවනේසන් විසින් ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන් (1997) යනුවෙන් ආචාර්ය උපාධියක්ද (හාර්‍වඩ් සරසවියේ) ලියා ඇත.

කිසාගෝතමී ටෙස්ට් එක

2019 ජනාධිපති චන්දය ලංකාවේ ඉරණම විසඳනු ඇත. අවුරුදු 71 ක්‌ම මුන් පක්‍ෂ දෙක රට කෑවා, මුන් 225 ම එලවන්න ඕනෑ යන කතා වලින් දෙවැනි කතාව, යහපාලන හොරු විසින් ඔවුන්ගේ හෙළුව වසාගන්නට ඒකාබද්ද්ධ විපක්‍ෂයද ඊට පටලවා ගන්නට (දෙගොල්ලොම හොරු) කල උප්පරවැට්ටියක් යයි සමහරු සිතයි. දෙපැත්තටම අශූචි ගාවා ගැනීමයි. සුද්දන් ගෙන් සර්‍වජන චන්දබලය නමැති දැලිපිහිය ගත් වඳුරන්‌ වුයේ සාමන්‍ය ජනයා නොව 1911 සිට දේශපාලනය කල කළුසුද්දන් බව ඉහත කියමන් වලින් ශාක්‍ෂාත්වේ. චන්දය දෙන්නේ කාටද යන්න කිසාගෝතමී අබ මිටක් හොයා ගියා වගේ වැඩක්‌ය. ජේසුතුමා නම් කිව්වේ ස්ත්‍රියට ප්‍රථම ගල ගසන්නට සුදුසුකම ඇති නොකිලිටි පිරිමියාට ඉදිරිපත්‌වන ලෙසය. ලංකාවේ චන්ද දායකයාට දැනට ඇති ටෙස්ට් එක නම් නුසුදුස්සන් අතරින් අඩුම නුසුදුසු තැනැත්තා තෝරා ගැනීමය. ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ අතරේ, මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත යන සුභාෂිතයේ කවියට අනුව යමින් වැඩියෙන්ම හිරි ඔතප්ප (ලැජ්ජා-බය) ඇති පුද්ගලයා කවුරුන්දැයි සොයා ගැනීමය. පුද්ගලයා උසද, මිටිද, තරුණද, නහය දිගද යන බාහිර කරුණු නොව, ඒ පුද්ගලයාගේ චරිතය, සදාචාරය, අවංකකම, නිර්භීතකම, රටට ඇති කැපවීම යනාදියට අමතරව ඔහුට මුහුණදීමට ඇති බාහිර, දේශීය හා විදේශීය බලපෑම් ඉදිරියේ ඔහු දරණ ස්ථාවරය මෙහිදී ඉතාමත් තීරණාත්මක සාධක වේ.
ලංකාවේ අගමැතිලා හා ජනාධිපතිලා හැමදෙනාම පුද්ගලික වාසිය මිස රට ගැන සිතූ අයද යන ප්‍රශ්ණය මෙහිදී අමතක නොකල යුතුය.

බුදු පිළිම අරහං රෝසිලා

රටේ පවතින දූෂිත ක්‍රමය (සිස්ටම්) වෙනස් කිරීමට කතාකරණ, නාගානන්ද, රොහාන් පල්ලෙවත්ත, මහේෂ් සේනානායක, හිටපු ඔඩිටර් ජෙනරාල් ගාමිනී විජේසිංහ ප්‍රමුඛ නා නා ආකාරයේ වෘත්තිකයින් හා උගතුන් යයි සිතන පිරිස් හා, ජේවීපී ප්‍රමුඛ ජන බලවේග බල කට්ටල විසින් අමතක කරණ කාරණයක් නම් මේ දිවයිනේ සභ්‍යත්‌වයේ ඓතිහාසික ඔක්‍ෂිජන් නාලය වූයේ පන්සල බවය. හාමුදුරුවරුන්ට මුරදේවතාවා කියන්නේ ඔවුන් සෝවාන්‌වූ, සියළු ක්ලේෂයන්ගෙන් මිදුණු පිරිසක් නිසා නොව, පෘතග්ජන, දුර්‍වලකම් සහිත අය වුවත්, මේ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රැකගත් මුරකාරයින්‌වූ නිසාය. වෙන රටවල හාමුදුරුවරු මෙවැනි වගකීමක් දැරුවේ නැත. මඩකලපුවේ මංගලාරාමය රැක ගැනීමට දුක්‌විඳින්නේ, මුලතිව් නයාරු ගුරුකන්ද විහාරය රකින්නේ, ඉස්ලාම් වහාබ්-ශාරියා උවඳුර පෙන්නා දෙන්නේ හාමුදුරුවරුය. 1940 ස් ගණන් වලදී ඩී.එස්. සේනානායකට ප්‍රසිද්ධියේ අභියෝග කලේ යක්කඩුවේ ප්‍රඥාරාම හිමිදුන්‌ය.

රෝසි සේනානායකලා, චන්ද්‍රිකාලා, මංගල සමරවීරලා ලංකාවේ සිංහල බෞද්ධ පදනම විනාශකල යුතුයයි කියන විට, නිර්‍වස්ත්‍රම් පරමං සුඛම් කියන විට, ක්‍රමය බිඳදමන්නට කතාකරණ විකල්ප බලවේග වල උගතුන්-වියතුන් පන්සල අමතක කර ශ්‍රී සද්ද්ධර්‍මයට, ත්‍රිපිටකයට (පොතට) සීමාවී සිටීම දැන් දක්නට ලැබෙන ජේවීපී ක්‍රමය හෝ 1935-1964 කාලයේ සමසමාජකාරයින්ගේ මුලාව හෝ වැනිය. ලන්ඩන්, නිව්‍යෝර්ක් පුසතකාලවල සීඩී තැටිවල ත්‍රිපිටකය තැන්පත්‌ව තිබීමත් (පොත,භාවනාව හා සෝවාන්‌වීම) ලංකාවේ පන්සල හා බෝගහ රැක ගැනීමත් (ප්‍රායෝගික පොලොව මත බුද්ද්ධාගම හතුරන්ගෙන් රැක ගැනීම) කාරණා දෙකක් බව තේරුම් ගත යුතුය. මෙසේ නොසිතීමෙන් මේ විකල්පකාරයින් රංජන් රාමනායකගේ සංඝ විරෝධී ගොඩට තමන් නොදැනම වැටෙන්නේය. යුද හමුදාපති මහේෂ් සේනානායක යුදහමුදාභටයින් උතුරේ පන්සල් වලට දුන් රැකවරණය නතර කලා යයි යන කතාව මෙහිදී වැදගත්‌ය. 1551 න් පසු 2019 දී කාදිනල්තුමා සිංහල බෞද්ධ වෘක්‍ෂය පිලිගත්තේය. වාසුදේව සහෝදරයාත් දැන් එය පිලිගෙන ඇත. මා දන්නා මාක්ස්වාදි නීතීඥයෙක් වයසට ගියවිට, මාවද මවිත කරවමින් දඹදිව වන්දනාවේ ගියේය. මේ නිසා මේ විකල්ප පිරිසට චන්දය නොදීම සිංහල බෞද්ධයින්ගේ වගකීමය. ආරියවංශ දිසානායක (හරිත නගර සංකල්පය), රජීව විජේසිංහ වැනි චන්ද අපේක්‍ෂකයින් මීට වෙනස්‌ය.
අනුරකුමාරට චන්දය නොදිය යුතු වන්නේ ඔවුන් යහපාලන මරාලයට එකතුව රටට කල හානිය නිසා පමණක් නොවේ. රට බෙදීමේ න්‍යායයට ජේ.වී.පී. රහසින් එකඟවන නිසාය. මෙය එලිවූයේ ලයනල් බෝපගෙන් අහම්බෙනි. වීඩියෝ සාකච්චාවකදී ඔහු කියා සිටියේ තමන් දෙමළ ජනයාට ස්වයංනිර්‌ණ අයිතිය දිය යුතුය යන මතයේ විජේවීර මෙන්ම මුලසිටම පෙනී සිටියත් පසුව විජේවීර එය අත්‌හැර දැමූ නිසා තමන් පක්‍ෂයෙන් ඉවත්‌වූ බවය. ඕස්ට්‍රේලියාවේ සිට ඊළමට පන්දම් අල්ලන ඔහු දැන් ජේවීපී චන්ද වැඩ සඳහා එකතුවී සිටී. යම් අවස්ථාවල ජේවීපී එක ඥානාන්‌විත තීරණ ගෙන ඇතත්, යහපාලන කාලය තුල ඔවුන් කරගත් පව් සම්භාරය අතිවිශාලය. විමල් වීරවංශ පක්‍ෂයෙන් කැඩීයාම හා සෝමවංශ අමරසිංහ කලකිරීමෙන් ඉන් ඉවත්‌වීම මේ පක්‍ෂයේ සිංහල බෞද්ද්ධ තෙතමනයක් නැති බවට ශාක්‍ෂිය. ධර්‍මසේකර දැන් මහණවී සිටී. ඔවුන් කරන්නේ සරසවි වල තරුණ හාමුදුරුවරුන්ව පාරේ පෙලපාලි වලට දක්කා ගෙන ගොස් ඔවුන්‌ව අශීලාචාර කිරීමය. ගංගොඩවිල සෝම හාමුදුරුවන් නැතිවූ කාලයේ හාමුදුරුවරු පාරේ රැක සිට මොවුන්ට බලෙන් පිරිත්නූල් බැන්ඳවූවත් එය තාවකාලික සිදුවීමක් පමණය.

සජිත් ප්‍රේමදාස පුදුම විධියට අනාථව සිටී. යහපාලන බරවා කකුල එක පැත්තකින්‌ය. එය වසාගන්නට දෙන්න බැරි පොරොන්‌දු කියන්නට ඔහුට සිදුවී ඇත. මේ වැඩේ කෙතරම් දුරට ගොස් ඇද්දයත්, ගෝඨභය පවා නොයෙක් නොදියහැකි පොරොන්‌දු දෙමින් සිටී. ජනාධිපති තියා ගම්සභා වන්දයකදීවත් නොකලයුතු විහිළු කතා කීමෙන් වලකීමට සජිත්ගේ ශ්‍රී මුඛයට නොහැකිය. ඔහු ඔහුගේ පියාට මළවුන්ගෙන් නැගිටීමක් දෙන්නේ, මහජනයා පියා මළ විට රතිඤ්ඤා පත්තුකල බව අමතක කරමිනි. ආර්‌යාවගේ කිරුළපනේ බයිබල් පල්ලියට යන ගමන් විහාර දාහක් හදනබව රටට හඬගා කියයි. පියා යම් මානසික ආතතියකින් පෙළුනා මෙන් පුතාද යම් අභාධයකින් පෙලේද යන සැකයක් මතුවේ. මේ සියල්ලටම වඩා ඔහුගේ නුසුදුසුකම වෙන්නේ ඔහු රනිල් අටවාගත් යහපාලන මගඩිය ඉදිරියට ගෙනයන හිරකරුවෙක්‌ වීමය. ඔහු රනිල්-චන්ද්‍රිකා රට බෙදීමේ ආකෘතිය පිටුපස එකපයින්මය. ඔහු ඇමෙරිකාවට රටෙන් පටියක්දී රට කැබලිකර විනාශ කිරීමේ මිලේනියම් කුමණ්ත්‍රනයට එක්‌වී සිටී.

මේ නිසා චන්දය දියයුතු ඉතිරිව සිටිනා පුද්ගලයා ගෝඨාභයය. දේශපාලන කයිරාටිකයෙක් නොවූ ඔහු වටේ ඉන්නා දේශපාලන කේවට්ටයින්ගේ බලපෑමට ලක්ව සජිත් මෙන් නොයෙක් පොරොන්දු දෙමින් සිටී. ඔහු කලයුතුව තිබුනේ ඔහුගේ සැලැස්ම ඉදිරිපත්කර, එය ක්‍රමයෙන් ක්‍රියාත්මක කරණ ආකාරය පැහැදිලි කරදීමය. 2009 මැයි 19, යුද්ද්ධය දිනූදාට පසුදා යුද ආඥාවක් මඟින් මහින්ද රාජපක්‍ෂ විසින් 13-ඒ සංශොධනය අහෝසි කල යුතුව තිබුණි. නාගානන්ද වැනි අය 19 සංශොධනයට පසු ජනාධිපතිට කිසි බලයක් නැතැයි කියන්නේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ගැන ඔවුන්ට කිසි ප්‍රායෝගික දැනුමක් නැති නිසාය. මේ චන්දය දිනූවිට යුුෙන්පී මන්ත්‍රීන් ඕනෑවටත් වැඩි ගානක් ගෝඨාභයට එක්වනු නිසැකය. රටට අළුත් ගමනක් යා හැකිය. එහෙත් මිලේනියම් හුටපටය ගැන මේ අවස්ථාවේ කෙළින් කතා නොකිරීම කණගාටුවට කරුණකි. පාස්කු ප්‍රහාරය මෙන් මේ මිලේනියම් මරගාතයද ගෝඨාභයට ලැබුණු කදිම ආයුධ දෙකක් නොවේද? සිංහල දෙමළ භාෂා 5 වෙනි පන්තියේ සිට අනිවාර්ය කිරීම වගේම රට බේරා ගැනීමේ සඳහා ඔහුට ගතහැකි සරල මඟක් මීලඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.
චන්ද්‍රසිරි විජයවික්‍රම, B.A. (Hons.), LL,B., M.A., Ph.D.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress