පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන්නැයි මන්ත්‍රී ලන්සා ජනපතිගෙන් ඉල්ලයි
Posted on November 20th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ස්වාධීන සහ අපක්ෂපාතී විශේෂ පූර්ණ බලය සහිත කොමිෂන් සභාවක් පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ සහ දරුණු ලෙස තුවාල සිදුවූ අයගේ වැඩිම පිරිස කතෝලික සහ කිතුණු බැතිමතුන් බවයි.

එම නිසා කතෝලික ජනතාවගේ පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව සහ ඉල්ලීම මෙම ප්‍රහාරය පිළිබඳව සැබෑ තතු හෙළිදරව් කරගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ අබාධිත වූ පිරිස් සඳහා සාධාරණ වන්දියක් සහ සොයාබැලීමක් පසුගිය රජය මගින් සිදුකර නොමැති බවයි. එම ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමඟ සබඳතා පවත්වා ඇති බවට සැකයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවත් එහි සඳහන්.

පසුගිය රජයෙන් මේ පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කාදිනල් හිමිපාණන් පවා සෑහීමකට පත් නොවූ බව මන්ත්‍රීවරයා ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress