විපතට පත්ව තිබූ රට කඩිනමින් ගොඩනගන්න – මහ නාහිමිවරුන් ජනපතිගෙන් ඉල්ලයි
Posted on November 20th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

ඒ, රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් අනතුරුව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබාගැනීමේ සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුවයි.

පෙරවරු 10.20 ට පමණ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගනු ලැබුවේ මහනුවර නගරාධිපති කේසර සේනානායක විසින්.

එහිදී ජනාධිපතිවරයා දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට එක්රැස්වී සිටියා.

රතු පළස මතින්  ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පැමිණි ජනාධිපතිවරයා, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ සතර මහා දේවාලවල නිලමේවරුන් විසින් සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබුවා.

දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දළදා සමිඳුන් වැඩ සිටින මාලය වෙත කැඳවාගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

දළදා සමිඳුන් වැඳ පුදාගෙන පිටතට පැමිණි ජනාධිපතිවරයා එම ස්ථානයේ රැස්ව සිටි ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ සුහද පිළිසඳරක යෙදීමටද අමතක කළේ නැහැ.

අනතුරුව ජනාධිපතිවරයා දළදා මැදුරේ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබුවා.

මෙහිදි ජනාධිපතිවරයා වෙත දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සමරු තිළිණයක්ද පිළිගන්වනු ලැබුවා.

අනතුරුව ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනුවර – මල්වතු මහා විහාරයට පැමිණියා.

එහිදී මහා සංඝ රත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළා.

එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් අනුශාසනාවක් සිදුකරනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහා විහාර මංගල උපෝසථාගාරයට ද පැමිණි අතර, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.  

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මැණික්හින්න – හූරිකඩුව – ශ්‍රී විද්‍යා සාගර පිරිවෙණට පැමිණ රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගෙන් ආශිර්වාද ලබාගත්තා.

පසුව ජනාධිපතිවරයා ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමයට ගොස් රාමඤ්ඤ නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress