ගරු රංජිත් ද සොයියා මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක පණිවුඩය
Posted on December 6th, 2019

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයියා මැතිතුමාගේ අනපේක්‍ෂිත අභාවය පිළිබඳව ඇසීමෙන් මම මහත් ලෙස කම්පාවටත් සංවේගයටත් පත් වුණෙමි. රංජිත් ද සොයිසා යනු 2015 ජනවාරියෙන් පසු, ඒකාබද්ධ විපක්‍ෂයත්, පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් නිර්මාණය කිරීමට එක් වූ විපාක්‍ෂික බලවේග වටා එක්වූ ජනතාව වීරයෙක් හැටියට පිළිගත් අයෙකි. අසාර්ථක හා මර්ධනකාරී ආණ්ඩුවකට එරෙහිව එඩිතරව නැගී සිටීමෙන් රංජිත් ද සොයිසා මැතිතුමා ජාතික තලයේ දේශපාලනඥයෙකු බවට පත්වි සිටියේය. කෘෂිකර්මාන්තය පිළිබද විශේෂඥයෙකු වූ සොයිසා මැතිතුමා, ගොවි ජනතාව සම්බන්ධ ගැටළු, විශේෂයෙන්ම සුළු අපනයන බෝග අංශය වෙනුවෙන් හඩ නැගූ දේශපාලනඥයෙකි. අපගේ ජයග්‍රාහී මොහොතේම ඔහුමේ ආකාරයෙන් අප අතරින් වෙන්ව යෑම ඔහු නියෝජනය කළ ජනතා ව්‍යාපාරයට මෙන්ම, පෞද්ගලිකවම මටද අති මහත් පාඩුවකි.

රංජිත් ද ද සොයියා මැතිතුමා ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබ, කෘෂිකර්මාන්තය පිළිබද උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා කෘෂිකාර්මික විශේෂඥයන්ගේ සංගමයේ සාමාජිකයෙකුද විය. එතුමා, 1997 දී දේශපාලනයට එක්වූයේ රක්වාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් වෙමිනි. 2002 දී ඔහු එම ප්‍රාදේශීය සභාවේම විපක්‍ෂ නායකවරයා විය. 2004 දී සබරගමුව පළාත් සභාවට තේරීපත් වූ ඔහු, පළාත් කෘෂිකාර්මික ඇමති හැටියටත්, පළාත් සෞඛ්‍ය ඇමති හැටියටත් කටයුතු කළේය. 2010 දී සොයියා මැතිතුමා පාර්ලිමේන්තුවට තේරීපත් විය. දේශපාලඥයෙකු හැටියට ඔහු බලය හෝ තනතුරු වලින් වැරදි මගට යොමු නොවන, ඉතා ඍජු ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ නායකයෙකු හැටියට ජනතාව ඔහුව හදුනාගෙන සිටයේය. ඔහු අප අතරින් වෙන්ව යන විට අවුරුදු 57 ක් පමණක් වුවත්, ඔහු ජනතා සේවකයෙකු හැටියට ආදර්ශමත් හා සාර්ථක ජීවිතයක් ගත කළ මන්ත්‍රීවරයෙකු විය.

රංජිත් ද සොයිසා මැතිතුමාගේ බිරිද වන මුදිතා ද සොයිසා මැතිනියටත්, පුත් ලකිතටත්, දුව මිහින්තාටත්,ඔහු නියෝජනය කළ රක්වාන මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවටත් මාගේ බලවත් සංවේගය මේ අස්ථාවේදී පුදකර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress