පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ දී තවත් කරුණු රැසක් හෙළිවේ
Posted on December 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය තමන් වෙත නොලැබුණු බව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද සඳහන් කළා.

මේ අතර උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ, අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට සාක්ෂි දෙන මෙන් තමන්ට විවිධ බලපෑම් එල්ල වූ බවයි.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු කැඳවා තිබුණා.

පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය පිළිබඳ දැනුවත් කරමින් පසුගිය අප්‍රේල් මස 11 වැනිදා උසස් පොලිස් නිලධාරීන්ට අදාළ ලේඛනය යොමුකර තිබූ බවට පෙර සාක්ෂි විමසීම්වලදී සඳහන්ව තිබුණා.

අදාළ ලේඛනය ජනක කුමාර මහතා වෙත ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ අදාළ ලේඛනය පාස්කු ප්‍රහාරයට පෙර තමන් වෙත ලැබුණේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර තමන්ට එවැනි ලේඛනයක් නොලැබුණු අතර එවැනි ලේඛනයක් දැක හෝ නොතිබූ බවයි.

නමුත් පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව එදිනම පස්වරු 12.56 ට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී සංජීව බණ්ඩාර විසින් වී.පී.එන්. මාර්ගයෙන් එම ලේඛනය තමන්ට යොමුකළ බව ඔහු සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress