සාමූහිකත්ව මන්තරය
Posted on December 13th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මිනිසා ස්වභාවයෙන් ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කියලා තියෙනවා. අපි නිතර ම වගේ මේ කියමන පාවිච්චි කරනවා. ඉවරයක් නැති නීති රීති, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් ගොඩක් මැද්දේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙලා තියෙන හින්දා තමයි ඒ කියමනට වටිනාකමක් ලැබිලා තියෙන්නේ. මට හිතෙන විදිහට මේ කතාව වෙන විදිහකට කියන්න පුළුවන්. ඒ, මිනිසා ස්වභාවයෙන් ම සංස්කෘතික සත්ත්වයෙක්” කියලා.

තමන්ට ඕන ඕන විදිහට ජීවත්වෙන්න පුළුවන්කමක් මිනිස්සුන්ට නෑ. අපි ජීවත්වෙන සමාජයේ සංස්කෘතිය විසින් අපේ හැසිරීම් පාලනය කරනවා. අපි අඳින පළඳින එක, කන බොන එක, කැමැති අකැමැති දේවල් තීරණය කරන එක වගේ හැම දෙයක් ම සංස්කෘතිය විසින් පාලනය කරනවා. මිනිස්සු දුවන්නේ සංස්කෘතික පීලි උඩ. මේ පීලිවලින් පිට පනින මිනිස්සු හුඟක් වෙලාවට එක එක අර්බුදවලට මුහුණ පානවා. මේ පීලි පැනිල්ල සීමාව ඉක්මවා සිද්ද වෙන සමාජ අවුලෙන් අවුලට පත්වෙනවා.

මේ ලෝකයේ තියෙන සංස්කෘතින් එකකට එකක් වෙනස්. සමහර සංස්කෘතීන්වල පොදු ලක්‍ෂණ සැළකිල්ලට ඇරගෙන ඒවා කලාපවලට වෙන් කරලා දක්වන්නත් පුළුවන්. කොහොම වුනත් එකකට එකක් හාත්පසින් ම වෙනස් සංස්කෘතීන් එක ගොඩේ දාලා සළකන්න බෑ. ඒ හින්දා එකකට එකක් වෙනස් සංස්කෘතික කලාප තියෙන බවත් සමාජ පර්යේෂකයෝ හඳුනාගෙන තියෙනවා.

මේ හඳුනාගැනීමට මූලික වෙච්ච නිර්ණායකයක් තමයි ඒ ඒ සංස්කෘතීන්වල තියෙන අගය පද්ධතිවල (Cultural value systems) තියෙන වෙනස්කම්. යමක් හොඳයි, නරකයි, ගැලපෙනවා, ගැලපෙන්නේ නෑ කියලා අපි තීරණය කරන්නේ මේ අගය පද්ධතිවලින් අපිට ලබාදෙන මිනුම් දඬුවලින් මැනලා. කිසිම දේක අගය තීරණය කරන්න වෙනත් ක්‍රමයක් අපිට නෑ.

සංස්කෘතික අගය පද්ධති ගැන අධ්‍යයන කටයුතු සෑහෙන ප්‍රමාණයක් කෙරිලා තියෙනවා. අපේ ගොඩක් අයට මේවා ආගන්තුකයි කියලා හිතෙන හින්දා ඒවා ගැනත් වචනයක් දෙකක් කියන්නම්. Geert Hofstede, Shalom H. Schwartz, Ronald Inglehart, Christian Welzel, Fons Trompenaars සහ Charles Hampden-Turner වගේ පර්යේෂකයෝ සෑහෙන ප්‍රමාණයක් ලෝකය පුරා විසිරිච්ච සංස්කෘතික අගය පද්ධති ගැන හොයලා ඒවා වර්ග කරන්න, ඒවා පිළිබඳ න්‍යාය හදන්න උත්සාහ කරලා තියෙනවා. මේ අයගේ හඳුනා ගැනීම් සහ න්‍යාය අංග සම්පූර්ණ ඒවා කියලා කියන්න බෑ. ඒ කොහොම වුනත්, මේ හැම පර්යේෂකයෙක් ම නිරීක්‍ෂණය කරපු පොදු කාරණා කීපයකුත් තියෙනවා.

ඒ හැම දෙනා ම කියන මූලික ම කාරණය තමයි සංස්කෘතියෙන් සංස්කෘතියට අගය පද්ධතින් වෙනස් වෙනවා කියන එක. දෙවැනි කාරණය තමයි යම් යම් පොදු ලක්‍ෂණ සළකලා ඒවා ගොනුවලට එකතු කරන්න පුළුවන් කියන එක.

අද ලෝකයේ තියෙන මහා බහුජාතික සමාගම් මේ හඳුනා ගැනීම් තමන්ගේ ව්‍යාපාර වැඩටත් පාවිච්චි කරනවා. මිනිස්සු අගය කරන්නේ නැති දේවල් විකුණන්න අමාරුයි කියන මූලික සත්‍යය ඒ සමාගම් තේරුම් ඇරගෙන ඉන්නවා. ඒ හින්දා වෙළෙඳ අංශවලට අමතරව නිෂ්පාදන අංශවලටත් සංස්කෘතික අධ්‍යයනවල කෙළ පැමිණිච්ච අයව බඳවාගෙන ඉන්නවා. Business anthropology (ව්‍යාපාර මානව අධ්‍යයනය), inter-cultural communication (අන්තර්-සංස්කෘතික සන්නිවේදනය) වගේ දැනුමට ඇමෙරිකානු ජනපද සංගමයේ වගේ ම චීනයේ සමාගම්වලත් තැනක් තියෙනවා.

මේ පර්යේෂකයන් විසින් තමන් කරපු අධ්‍යයනවලින් හඳුනා ගෙන තියෙන මූලික සංස්කෘතික අගය මාන (Cultural value dimensions), සංස්කෘතික අගය දිශානති (Cultural value orientations) එකක් දෙකක් ගැන අපි සළකලා බලමු.

පුද්ගලවාදය (Individualism) සහ සමූහවාදය (collectivism) කියලා කියන්නේ මේ සෑම පර්යේෂකයෙක් ම යම් යම් ආකාරවලින් නිරීක්‍ෂණය කරපු මාන (දිශානති) දෙකක්. මේ මාන (දිශානති) සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්. ලිබරල් අදහස්වලට මුල් තැනක් දෙන සංස්කෘතින්වල පුද්ගලවාදයට (Individualism) ලොකු ඉඩක් ලැබෙනවා. ඒත් අපි වගේ රටවල්වල පුද්ගලවාදය අගය කෙරෙන්නේ නෑ. සමූහාන්තික අගය මානයට වැඩි තැනක් දෙන රටවල්වල මිනිස්සු තමන්ගේ පුද්ගලික අවශ්‍යතා පොදු දේවල් වෙනුවෙන් කැප කරනවා. ඒ මිනිස්සු තමන් තනි තනි පුද්ගලයෝ කියලා හිතන්නේ නෑ. තමන් යම් කිසි කණ්ඩායමකට අයිති සාමාජිකයෝ විදිහට තමයි ඒ අය නිතර ම හිතන්නේ.

පුද්ගලවාදී අගය පද්ධතියට ඔළුව හුරු කරගෙන ඉන්න කෙනෙක්ට සමූහවාදී අගයකිරීම් මත හැසිරෙන අයව පේන්නේ පසුගාමි, ගෝත්‍රික පිරිසක් විදිහට වෙන්න පුළුවන්. සමූහවාදී විදිහට හිතන අයට පුද්ගලවාදී හැසිරීම් පේන්නේ ආත්මාර්ථකාමි, වල් බූරු වැඩ විදිහට වෙන්නත් පුළුවන්. මේ හැම එකක් ම අගය කිරීම්වල වෙනස්කම් කියන එක තේරුම් ගත්තාම මෙහෙම අවුල් ඇතිවෙන්නේ නෑ.

සමාජයක් ඇතුළේ ජීවත්වෙන ඒ ඒ පුද්ගලයාට සමාජය තුළ හිමි බලය තීරණය කෙරෙන්නෙත් සංස්කෘතික අගය කිරීම්වලින්. මේ කාරණය බල සීමා දර්ශකය (Power distance index), එහෙමත් නැතිනම් ධූරාවලි (Hierarchy) පිළිගැනුම කියන ක්‍රම අනුව මනිනවා. බල සීමා ඉහළ, ධූරාවලියට තැනක් දෙන සංස්කෘතින්වල මිනිස්සු තමන්ගේ අම්මාට, තාත්තාට, ගුරුවරුන්ට, අනෙකුත් වැඩිහිටියන්ට, පූජ්‍ය පක්‍ෂයේ අයට නම කියලා කතා කරන්නේ නෑ. ඒ අයත් එක්ක ගනුදෙනු කරද්දි යම් දුරක් පවත්වා ගැනීමටත් ඒ අය කටයුතු කරනවා. ඒත් බල සීමා අඩු සමාජවල එහෙම නෑ.

ධූරාවලියට එච්චර තැනක් නැති සංස්කෘතින්වල පහළ සේවකයෝ තමන්ගේ ආයතන ප්‍රධානියාට නම කියනවා අහලා තියෙන අපේ සමහර අය හිතන්නේ ඒ ලොක්කෝ හරිම නිහතමානියි කියලා. ඇත්තෙන් ම මේක සංස්කෘතික ඇගැයීම්වල වෙනසට අදාළ කාරණයක් මිසක් නිහතමානිකමකට අදාළ කාරණයක් නෙවෙයි.

සිංහල සංස්කෘතියේ දී ආයතන ප්‍රධානීන්ට, ස්වාමීන්ට අදාළ ගරුත්වය තීරණය වෙන්නේ තරමක් අමුතු විදිහට. අපි ඒ අයට ගරුසරු දීලා කතා කරන්නේ ඒ අයගේ අභිමුඛයේ දී විතරයි. මේකත් සංස්කෘතික පුරුද්දක් මිසක් කුහකකමක් නෙවෙයි. ස්වාමියකුගේ අණ යටතේ වැඩ කරන පුරුද්දක් සිංහලයන්ට නෑ. කවුරු හරි ලොක්කෙක් නියෝගයක් දීලා මොකක් වැඩක් පැවරුවාම ඒක කරන්න අපි අදිමදි කරනවා. සිංහල මිනිස්සුන්ව නියෝගවලින් මෙහෙයවන්න අමාරුයි. අපි මේක කරමු” වගේ හිතවත් යාප්පු කතාවලින් තමයි අපේ සිංහල මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන්.

සිංහලයන්ගේ මේ ගුණය ඉංග්‍රීසි පාලකයෝ මුලින් ම තේරුම් ගත්තා. ඒ හින්දා තමයි ඒ අය තමන්ගේ වැඩට දෙමළ මිනිස්සු ඇරගෙන ආවේ. අපි වුනත් අපේ ගෙදරක වැඩට මනුස්සයෙක් හොයනවා නම් දෙමළ කෙනක් හොයා ගන්න තමයි වැඩියෙන් ම කැමැති. සිංහල මනුස්සයෙක් වැඩට ගත්තොත් අපිට සිද්ද වෙන්නේ ඒ මනුස්සයාගේ වැඩ කරන්න!

දිගු කල් සැලකුම (Long-term orientation) සහ එදිනෙදා සැලකුම (Short-term orientation) කියලා නම් කරලා තියෙන්නේ සංස්කෘතික අධ්‍යයනවල දී හොයා ගෙන තියෙන තවත් අගය මානයක්. මේක මුලින් ම නම් කරලා තිබුණේ කොන්ෆියුසියානු ගතිකත්වය (Confucian Dynamism) කියලා. මේ සංස්කෘතික අගය මානය හඳුනා ගන්න මූලික වුනේ චීනය වගේ ඈත පෙරදිග රටවල්වල ආර්ථික සංවර්ධනයට අදාළ සංස්කෘතික අධ්‍යයන.

දිගු කල් සැලකුමට බර සංස්කෘතීන්වල මිනිස්සු තමන් උරුම කරගෙන තියෙන සම්ප්‍රදායයන් ගැන සෑහෙන්න හිතනවා. ඒ සම්ප්‍රදායයන් රැකගන්න උත්සාහ කරනවා. වර්තමානය කැප කරලා අනාගතය හොඳ කරගන්න උත්සාහ කරනවා. දරුවන්ගේ අනාගත ජීවිතය සහ යහපත වෙනුවෙන් තමන්ගේ වර්තමාන ජීවිතය සහ යහපත කැප කරනවා. ඒත් එදිනෙදා සැලකුමට බර මිනිස්සු අතීතය සහ අනාගතය ගැන ඒ විදිහට වද වෙන්නේ නෑ. ඒ අය තමන් උරුම කරගත්ත සම්ප්‍රදායයන් ගැන ලොකුවට හිතන්නේ නෑ. එහෙම සංස්කෘතීන්වලින් පෝෂණය වෙච්ච මිනිස්සු ඉක්මන් ප්‍රතිඵල වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කිරීමේ උවමනාවක් එහෙම අයට නෑ.

මෑත කාලයේ දී බටහිර ලිබරල් අගය පද්ධතියේ රස බලලා ඒවාට වසඟ වෙලා ඉන්න අපේ සමහර අය හිතන්නේ මේ විදිහේ සමූහාන්තික (Collectivistic), ධූරාවලියට තැනක් දෙන (Hierarchical), දිගු කල බලන (Long-term oriented) ඇගැයීම් හරිම ගතානුගතික, ගෝත්‍රික හැසිරීම් කියලා. ඒත් ලෝකයේ විවිධ සංස්කෘතීන් ගැන හොයන, සමාජ පර්යේෂණ කරන බටහිර මිනිස්සු එහෙම හිතන්නේ නෑ. ඒ අය මේ හැසිරීම් ගැන හොයලා ඒ අනුව මිනිස්සු හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ දැනුම තමන්ගේ ආර්ථික – දේශපාලන කටයුතුවලට යොදා ගන්නවා.

සංස්කෘතික ඇගැයීම් ගැන හිතන්නේ නැතුව රටක් හොඳින් පාලනය කරන්න, ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්න බෑ. බටහිර තියෙන රාජ්‍ය පාලන ක්‍රම, ආර්ථික කළමනාකරණ ක්‍රම ඒ විදිහට ම වෙනත් සංස්කෘතීන්වල වැඩ කරන්නේ නෑ. මේ ලිපියේ මුලින් ම කියපු විදිහට මිනිස්සු යන්නේ සංස්කෘතික පීලි උඩ. ඒ පීලි උඩ යන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට වෙනත් පාරවල්වල යන්න අමාරුයි.

චීන ලක්‍ෂණ සහිත සමාජවාදය” (Socialism with Chinese characteristics) වගේ යෙදුම්වල අර්ථය සහ භාවිතය තේරුම් ගන්න පුළුවන් මේ සංස්කෘතික අවබෝධය ඇතුළේ. ඒක ධනවාදයට අලවපු බොරු ලේබලයක් නෙවෙයි. ආර්ථික කටයුතුවල සහ සංස්කෘතික හැසිරීම්වල සම්බන්ධයක් තියෙන බව චීන උගත්තු සහ නායකයෝ දන්නවා. ඉතින් තමන්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ඒ අනුව මෙහෙයවන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. ඒ වැඩේ ප්‍රතිඵලය අපි හැමෝට ම පේනවා.

ඒත් අපේ උගත්තු එහෙම හිතන්නේ නෑ. අපේ සංස්කෘතියේ හැදිච්ච වැඩිච්ච මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුළුවන් වෙන්නේ, ඒ මාර්ගයෙන් රට හදන්න පුළුවන් වෙන්නේ අපේ අයට පුරුදු සංස්කෘතික පීලි උඩ ඒ අයව තියනවා නම් විතරයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

2 Responses to “සාමූහිකත්ව මන්තරය”

  1. aloy Says:

    Food for thought for the ‘Multipurpose Task Force’ which the GOSL is planning to put up.

  2. aloy Says:

    In 1805 a British governor wrote to his colonial office in London saying that a not a single inhabitant in this island would like to do a useful work and earn something than to sit under a tree and while away the time. Perhaps he was writing about the nature of Sinhalese who have realized the impermanence of everything in this world and therefore would not like to work hard. It is not true. Today I hear the enthusiastic voices of Sinhala employees calling the female counterparts in office as Akka and the suppliers over the phone as Ayya and trying to bring a higher income to the company . They may be having the ‘thun sinhalaya nedeyo’ idea in their minds which to my mind no other country has.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress