පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථානවලට නොලැබීමට හේතුව හෙළිවෙයි
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත නොලැබුණේ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බව ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවුණා.

ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අදත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පත් කළ ජනාධිපති කොමිසමේදී හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙලි නොවූ කරුණු රැසක් මෙම ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වීමද විශේෂත්වයක්.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඊයේ කැඳවා තිබූ අතර ඉන් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබුණා.

එක් නිලධාරියෙකුගෙන් සාක්ෂි විමසීම අදට කල් තැබුණේ කාල වේලාව ඉක්මවා යෑම හේතුවෙන්.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ලේඛන භාර නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතාගෙන් කොමිසම ඊයේ සාක්ෂි විමසා සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය ලැබුණේ ද යන්නයි.

තමන්ට ප්‍රහාරයට පෙර එවැනි ලිපියක් නොලැබුණු බව පොලිස් කොස්තාපල්වරයා සඳහන් කළා.

නීතිඥවරයා පෙරලා විමසුවේ එවැනි ලිපියක් කිසියම් හෝ අවස්ථාවක දැක ඇත්ද යන්නයි.

එහිදී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින පස්වරුවේ එවක කොටහේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට එම ලිපිය ලබා දුන් බවයි.

එමෙන්ම එම ලිපිය පාස්කු ප්‍රහාරයට පෙර දිනයක ලැබුණු ලෙස ගොනු ගත කරන ලෙසත් ගොනු ගත කළ යුත්තේ කුමන දිනයක් යටතේදැයි පසුව දැනුම් දෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට පැවසූ බවද පොලිස් කොස්තාපල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව එවක කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි සංජීව බණ්ඩාර මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තා අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට ගොනු ගත කරන ලෙස දින කිහිපයක් පුරා තමන්ට බලපෑම් කළ බව ද පොලිස්  කොස්තාපල්වරයා කොමිසම ඉදිරියේ කියා සිටියා.

පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා දින කිහිපයකින් අනතුරුව තමන් අමතාල පෙර ලබා දුන් ලිපිය අප්‍රේල් මස 19 වැනි දිනය යටතේ ගොනුගත කරන ලෙස දැනුම් දුන් අතරල ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත තමන් එලෙස සිදුකළ බවයි.

අදාළ ලිපි ගොනුව ද ඔහු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිෂන් සභාව අනතුරුව සාක්ෂි විමසුවේ කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන්.

කෙසේ වෙතත් සාක්ෂි විමසීම සඳහා තිබූ කාලය අවසන් විම හේතුවෙන් ඔහුගෙන් සාක්ෂි විමසීම අදට කල් තැබුණා.

ඒ අනුව කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි මහින්ද කරුණාරත්න යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අදත් ජනාධිපති කොමිසම හමුවට කැඳවූවා.

සාක්ෂි විමසීම ආරම්භ වුණේ පස්වරු 2 ට පමණ.

ඒ අනුව ප්‍රථමයෙන් සාක්ෂි විමසීම සිදුකළේල කොටහේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන්.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා ඔහුගෙන් විමසා සිටියේ කොටහේන පොලිස් ස්ථානයේ ලිපි සහ දත්ත ගොනුකොට තබන සී. 108 නමැති ලේඛනයක් සම්බන්ධවයි.

එහි 371, 372, 373 සහ 374 යන අංක දරණ පිටු පසුව අලවා එක්තු කළ පිටුදැයි නීතිඥවරයා ප්‍රශ්න කළා.

අදාළ පිටු පසුව අලවා එක් කළ බවට පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා එහිදී පිළිගත්තා.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ද අදාළ ලිපිගොනුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සඳහන් කළේ,  අදාළ පිටු පසුව අලවා ඇතැයි පෙනීයන බවයි.

සී 108 ලිපි ගොනුවට පසුව එක් කළ පිටු වල සඳහන්ව ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වෙත දැනුම් දීම සඳහා යැවූ ලිපි බවත්, ඒවා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ ලිපිගොනුවට එක් කර ඇති බවත් කොමිසඉ හමුවේ අනාවරණ වුණා.

>

අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ අදාළ පිටු ලිපිගොනුවට එක් කළේ කවුරුන්ද යන්නයි.

පිටු එක් කළේ කවුරුන්ද යන්න නිශ්චිත දැනීමක් නොමැති බවත්, එවක පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාට ඉහල නිලධාරීන්ගෙන් ලැබුණු බලපෑම මත එසේ සිදු කරන්නට ඇති බවත් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

තවද කොටහේන පොලිසියේ නියෝග සටහන් කර තබන සී 107 නමැති ලේඛනය සම්බන්ධයෙන්ද රජයේ අධිනීතිඥවරයා පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන් විමසුවා.

එහි 2019-04-21 දිනැති අංක 787/ 19 නියෝගය පසුව අලවා එක් කළ එකක් දැයි ඔහු ප්‍රශ්න කළා.

අදාළ නියෝගය  “උප සේවකල පහත නිලධාරීන්ට දැනුම් දෙන්න 2019-04-21 දින පැය 6 සිට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා රාජකාරියට වාර්තා කරන්න” යනුවෙන් සටහන්ව තිබූ බවත් එය ප්‍රහාරයෙන් පසුව ලේඛනයට එක් කොට ඇති බවත් කොමිසම ඉදිරියේ හෙළිවුණා.

අදාළ නියෝගය ලබා දී තිබුණේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් 9 දෙනෙකු සඳහායි.

ඒ අනුව අදාළ නිලධාරීන් 2019-04-21 වන දින හයේ පැයට රාජකාරී සඳහා පිටත්ව ගිය බවට සටහන් කර ඇතත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත්තේද පෙරවරු 6.31ට බවයි.

අනතුරු ජනාධිපති කොමිසම එවක කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකළා.

රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා ඔහුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ සී 4 සහ සී 9 ලේඛන තමන් වෙත ප්‍රහාරයට පෙර ලැබුණේද යන්නයි.

තමන්ට එවැනි ලේඛන නොලැබුණු බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේල තමාට එම ලේඛනය ලැබුණේ පාස්කු ප්‍රහාරය දින සවස බවත් තමාට එය ලැබෙන විට එහි ඇතැම් පිටු අඩු බවයි.

එදින සවස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමන් හමුවීමට පැමිණි බවත්ල අදාළ පූර්ව දැනුම්දීමේ ලිපි ප්‍රහාරයට පෙර එවීමට නොහැකි වූයේ තමාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බවත් සඳහන් කළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාකොමිසම ඉදිරියේ සඳහන් කළා.

එම නිසා එම ලේඛන ප්‍රහාරයට පෙර ලැබුණු සේ ගොනු ගත කරන ලෙස සංජීව බණ්ඩාර මහතා තමාට දැනුම්දුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ වන විට කොටහේන පොලිස් ස්ථානයේ ගොනුගත කර තිබුණේ 2019-04-13 වන දින දක්වා ලැබුණු ලේඛන පමණක් වන බැවින් තමන් අදාළ සී 4 සහ සී 9 ලේඛද අදින ලැබුණු ලේඛන ලෙස ගොනු ගත කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා කොමිසම හමුවේ අනාවරණ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress