පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට, විදෙස් ගමන් තහනමක්
Posted on December 23rd, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

සුදු වෑන් මාධ්‍ය හමුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පූර්ණ දායකත්වය යටතේ සිදුව ඇති හෙයින් ඊට අදාළ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ සංශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පත ලබන 30 වන දා විමසා බැලීමට අධිකරණය අද දින නියම කළා.

ඒ, අදාළ ඇප අයදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා, වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කරනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ අදාළ විමර්ශනය සිදුකරන ස්ථානාධිපතිවරයා නම් කර තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය 10 වනදා ගොනුකළ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

ඒ අනුව, ඔහු විසින් දෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුමක් පසුගිය 20 වනදා ඉදිරිපත් කළ අතර ඊට සංශෝධන කිහිපයක් ද අද එක් කරනු ලැබුවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 192 සහ 485 යන ඇප ලබාදිය නොහැකි වරදවල් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇති බවට සාධාරණ බියක් ඇති බවට පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, සිය අපේක්ෂිත ඇප අයදුම්පත මගින් කරුණු දක්වා තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු විසින් මාධ්‍ය සාකච්ඡාවකට ඉදිරිපත් කළ පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ ප්‍රකාශ මත තම සේවාදායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේ යැයි බියක් මතුව ඇති බවයි.

තම සේවාදායකයා හෘද රෝගියෙකු බවත්, ඔහු නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක්විය යුතු පුද්ගලයෙකු බවත් එහිදී ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියා.

ඒ අනුව, මෙම අපේක්ෂිත ඇප අයදුම විමසීම සදහා දිනයක් නියම කර වගඋත්තරකාර පාර්ශව වෙත නොතීසි නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ නොතීසි නිකුත් කිරීමට පෙර පෙත්සම්කරු විසින් මීට පෙර ගොනුකළ අපේක්ෂිත ඇප අයදුම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය පිළිබදව අවධානය යොමුකරන ලෙසයි.

අපේක්ෂිත ඇප අයදුමට අදාළ වගන්ති පෙත්සම්කරු විසින් සදහන් කරන බී – වාර්තාවේ නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, පෙත්සම්කරු විසින් උපකල්පනය කළ කරුණු මත පිළිගත හැකි මූලාශ්‍ර නොමැතිව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ගොනුකර ඇති බවයි.

අපේක්ෂිත ඇප, පුද්ගල නිදහස ආරක්ෂා කරනු ලබන මෙවලමක් මිස යම් යම් අපරාධකරුවන්ට නීතියෙන් ගැලවීයාමට ඇති මාර්ගයක් හෝ එල්ල වී ඇති චෝදනාවලින් ආරක්ෂාවීමේ පළිහක් නොවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේදී කියා සිටියා.

එබැවින් නොතීසි නිකුත් කිරීමකින් තොරව පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අපේක්ෂිත ඇප අයදුමක් බී වාර්තාවක් නොමැති අවස්ථාවක දී වුව ද ඉදිරිපත් කළ හැකි බවයි.

එසේම එම අයදුම ඉදිරිපත් කරන්නේ අනුමිතීන් සහ යම් විශ්වාස මත බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ විශ්වාස කිරීමට හේතු පෙත්සම්කරු විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇති බැවින් පෙත්සම්කාර පාර්ශවය ඇප පනතේ 21 වන වගන්තියේ කරුණු සංතෘප්ත කර ඇති බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

ඒ අනුව ලබන 30 වනදා මෙම අපේක්ෂිත ඇප අයදුම විමසීම සදහා දින නියම කළ අධිකරණය එහි වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress