රාජ්‍ය සේවයේ ‘‘විශේෂ දීමනාව’’ ආශ‍්‍රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
Posted on December 23rd, 2019

චන්දන සූරියආරච්චි සංවර්ධන නිලධාරී සේවා සංගමය.

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01

ගරු ජනාධිපති තුමනි,

රාජ්‍ය සේවයේ ‘‘විශේෂ දීමනාව’’ ආශ‍්‍රිත සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධරයන්ට රු. 15 000/- ක දීමනාවක් 2020 ජනවාරී 01 දින සිට ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝග කරමින් 18/2015 (iii) අංක සහිත චක‍්‍රලේඛය 2019.12.07 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

පසුගිය රජය ද රු.15 000/- ක දීමනාවක් විධායක සේවා ගණයේ නිලධාරීන්ට පමණක් ලබාදීම සඳහා කටයුතු සිදුකිරීමට සූදානම් වුණි. නමුත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් වල පැවති ඉල්ලීම් හා 2019.09.23 දින දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනය ඇතුළු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවක ඉල්ලීම් හමුවේ එක් සේවාවකට පමණක් දීමනාවක් ලබාදීම වෙනුවට සියලූු රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ දීමනාවක් ලබා දීමට 2019.09.23 දින රජය සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය වුණි.

නමුත් සියලූ රාජ්‍ය සේවකයින් සඳහා අදාළ නොවන පරිදි පැවති රජය ක‍්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ විශේෂ දීමනා චක‍්‍රලේකය ඒ ආකාරයෙන්ම 2019.12.07 දිනැති ව නිකුත් කර ඇත.

රාජ්‍ය සේවයේ විධායක සේවාවන්හි සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා රු.15 000/- හෝ ඊට වැඩි දීමනාවක් හෝ ලබාදීම සම්බන්ධයෙන් අප වෘත්තීය සමිතියේ කිසිදු විරෝධතාවයක් කිසිදු මොහොතක නොමැති බවද වගකීමෙන් දන්වා සිටිමු.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ඵභ04 වැටුප් තලයට අයත් ආශ‍්‍රිත සේවාව නියෝජනය කරන සියලූම දෙනා උපාධිධාරීන් ය. සංවර්ධන සහකාර ඇතුළු සහකාර තනතුරු යටතේ මෙන්ම සංවර්ධන නිලධාරී තනතුරු යටතේ ඔවුන් ක්ෂේත‍්‍රගත හා කාර්යාලගත විශාල රාජකාරී ප‍්‍රමාණයක් ඉටු කරනු ලබන බවද දන්වා සිටිමු.

රජයේ සියලූ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සියලූ ව්‍යාපෘති ග‍්‍රාමීය මට්ටමින් ක‍්‍රියාවට නැංවීම, රජයට අවශ්‍ය සියලූම දත්ත හා තොරතුරු ලබාදීම, රජයට අවශ්‍ය සියලූම වාර්ථා සකස් කිරීම, සියලූ හදිසි හා ආපදා තත්වයන් වලදී අනෙකුත් සේවාවන්ට අයත් නිලධාරීන් සමඟ එක්ව උපරිම අයුරින් ඒ සඳහා රජයේ වගකීම ඉටු කිරීම ආදී සුවිශේෂී කාර්යභාර්යයක් ඔවුහූ උසුලන බවද වැඩිදුරටත් සිහිපත් කරමු.

ආශ‍්‍රිත සේවයේ මෙන්ම සංවර්ධන නිලධාරී සේවය, රාජ්‍ය කළමනාකරණ නිලධාරී සේවය, තාක්ෂණ සේවය, ග‍්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවාවන් හා ශ්‍රේණීන් ගණනාවක රාජ්‍ය සේවකයින් විසින් ඉටු කරනු ලබන රාජකාරී පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් විශේෂ දීමනාවක් ලබා දීම සාධාරණ බව අප විසින් පෙන්වා දෙන්නෙමු.

2020.01.01 දින සිට විධායක සේවයේ නිලධාරීන් සඳහා රු.15 000/- ක විශේෂ දීමනාව ලබා දීමට කිසිදු බාධාවක් නොවන අයුරින් ඵභ04 ආශ‍්‍රිත සේවාවට අයත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරීන් ඇතුළු ද්විතීය හා තෘතීය මට්ටමේ රාජ්‍ය සේවකයින් සඳහා ද පිළිගත හැකි සාධාරණ විශේෂ දීමනාවක් ලබා දීමට පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි

සම්බන්ධීකරණය – 071 8178268
Coordinating –  9471 8178268

පිටපත් –
1. ගරු අග‍්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා (දැ.ගැ.පි./අ.ක.ස.)
2. ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා (දැ.ගැ.පි./අ.ක.ස.)
3. ගරු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා(දැ.ගැ.පි./අ.ක.ස.)
4. ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා -රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය(දැ.ගැ.පි./අ.ක.ස.)
5. ලේකම් – මුදල් අමාත්‍යාංශය (දැ.ගැ.පි./අ.ක.ස.)
6. සභාපති – රාජ්‍ය සේවා කොමිෂන් සභාව (දැ.ගැ.පි./අ.ක.ස.)
7. සභාපති – වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව (දැ.ගැ.පි./අ.ක.ස.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress