සංවර්ධන නිලධාරීන්ගේ සේවය සාධාරණව ඇගයෙන පරිදි විශේෂ දීමනාවක් ලබාදීම හා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල හා උපකරණ ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු
Posted on April 26th, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

#Covid-19  වසංගත තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන සංවර්ධන නිලධාරීන්ගේ සේවය සාධාරණව ඇගයෙන පරිදි විශේෂ දීමනාවක් ලබාදීම හා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල හා උපකරණ ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.


#Covid-19 වසංගත තත්වය හමුවේ දිස්ත‍්‍රික් පාලනය හා ප‍්‍රාදේශීය පාලනය අත්‍යවශ්‍ය සේවාවක් කළ දින සිට සංවර්ධන නිලධාරී සේවයට අයත් නිලධාරී මහත්ම මහත්මීන් මේ දක්වා විශේෂ කාර්ය භාරයක් ඉටු කරන බව පළමුව සඳහන් කරමු.

දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ නියමයන් පරිදි සෑම රාජකාරියක්ම මේ දක්වා සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් ඉටු කරන අතර එම කාර්යන් මේ මොහොතේ විශේෂ කාර්යක් සේ සලකමින් ඉටු කරමින් සිටිමු. ප‍්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම, ඖෂධ සම්පාදනය කිරීම, ප‍්‍රතිලාභී නාම ලේඛන සකස් කිරීම, එම ලේඛන පරිඝණකගත කිරීම, ප‍්‍රතිලාභ බෙදාහැරීම, පැය 24 ම රාජකාරියේ යෙදීම, රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු හා සති අන්ත නිවාඩුවල බොහෝ දේ කැප කරමින් අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදී සිටිති.

එවැනි මට්ටමක රාජකාරී ඉටු කළ ද මේ දක්වා ප‍්‍රාදේශීය පාලනය සඳහා නිකුත් වූ බොහෝ චක‍්‍රලේඛ තුළ සංවර්ධන නිලධාරී සේවය හා එහි නිලධාරීන් පිළිබඳ කිසිඳු සඳහනක් නොවීම පිළිබඳව ඔබතුමාගේ අවධානයට යොමු කරමු.

විවිධ දුෂ්කරතා මෙන්ම ප‍්‍රායෝගික ගැටළු පැවතිය ද මෙම වසංගත තත්වය හමුවේ. ග‍්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සේවාවන්ට අයත් සියලූ නිලධාරීන් සාමූහිකව වසම තුළ කටයුතු කරමින් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක‍්‍රියා කිරීම සතුටුදායක මට්ටමක පවතී.

#Covid-19 වෛරසය පැතිරීම, ආසාධනයට ලක්වීම, ප‍්‍රතිකාර කිරීම, නිරෝධායනය මේ සියලූ කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අංශ, ආරක්ෂක අංශ, මූලිකත්වය ගෙන ඇති අතර තවත් රාජ්‍ය අංශයේ සේවාවන් කීපයක රාජ්‍ය සේවකයින් විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටී. මෙම කටයුතුවල ඔවුන්ගේ දායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහාත්, ඔවුන්ව දිරිගැන්වීම සඳහාත් පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු.

02. 2020. 04. 23 දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලූ නිලධාරීන් සඳහා විශේෂ දීමනා ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ පිළිබඳව ස්තූතිවන්ත වෙමු. එමෙන්ම සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් සඳහා ද ඊට සමාන ආකාරයකින් ඉන්දන දීමනා සඳහා රු.1000/- ක් ද දුරකතන දීමනා සඳහා රු.2000/- ක් ද දින 5 ක නිවාඩු දින වැටුප් ඇතුළු අදාළ දීමනා සමානව හා සාධාරණව ලබා දීම.

03. 2020. 04. 04 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය තුළ සඳහන් දීමනා අදාළ නිලධාරීන්ට විධිමත්ව නොලැබෙන බව වාර්තාවන අතර එම චක‍්‍රලේකයේ සඳහන් දීමනා විධිමත්ව සියලූ දෙනාට ලබා දීමට අවශ්‍ය උපදෙස් හා වසුවිපරම් ක‍්‍රියාවලියක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා හරහා දිස්ත‍්‍රික් ලේකම්වරුවන්ට උපදෙස් ලබා දීම.

04. සෞඛ්‍ය හා පළාත් සෞඛ්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය සේවාවන්වල රාජකාරියේ නියුතු සංවර්ධන නිලධාරීන් සඳහා දීමනා සම්බන්ධයෙන් මේ වන විට නිකුත් කර ඇති කිසිඳු චක‍්‍රලේඛයක් බල නොපැවැත්වෙන අතර එම නිලධාරීන් සඳහා ද සාධාරණ හා පිළිගත හැකි දීමනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම.

05. #Covid-19 වෛරසය ආසාධිත පුද්ගලයින් ප‍්‍රදේශ මට්ටමින් මතුවීමේ ප‍්‍රවණතාවක් මේ වන විට දක්නට ඇත. එම ප‍්‍රදේශවල ජනතාවට සෘජුවම නිරාවරණය වෙමින් වසම් මට්ටමෙන් රාජකාරී කරන සියලූ ක්‍ෂේත‍්‍ර නිලධාරීන්ට රාජකාරී කිරීමට සිදුව ඇත. යම් හෙයකින් එම නිලධාරීන් අවධානමකට මුහුණ දීමට සිදුවුවහොත් ප‍්‍රාදේශීය පාලනය බිඳවැටීමේ අවධානමක් මතුවිය හැකි බැවින් සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත මුව ආවරණ, අත් ආවරණ, විෂබීජ නාශක දියර හා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දීමට කඩිනමින් පියවර ගැනීම.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි සම්බන්ධීකරණය
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress