පාර්ලිමේන්තු සභාවක් මොකට ද?
Posted on September 7th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අපේ රටේ විධායකයට අදාළ විධිවිධාන පනවලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7, 8 සහ 9 කියන පරිච්ඡේද තුනේ. 7 වැනි පරිච්ඡේදයෙන් කියන්නේ ජනතාව විසින් තෝරා පත් කරගන්නා විධායක ජනාධිපතිවරයා ගැන. 8 වැනි පරිච්ඡේදයෙන් කියන්නේ ඒ ජනාධිපතිවරයා විසින් පත් කරන අමාත්‍ය මණ්ඩලය ගැන. 9 වැනි පරිච්ඡේදයෙන් කියන්නේ රාජ්‍ය සේවය ගැන. ඉතින් මේ බෙදීම ඉතාමත් පැහැදිළි එකක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7, 8 සහ 9 කියන පරිච්ඡේද විධායකය” කියලා නම් කරලා තියෙන එකෙනුත් ඒවායේ අන්තර්ගත විධිවිධානවල ස්වභාවය පැහැදිළි වෙනවා. ජනරජයේ විධායකයට අදාළ විධිවිධාන ඒ පරිච්ඡේදවල තියෙනවා කියලා ඒකෙන් අපි තේරුම් ගන්නවා.

හැබැයි එහෙම කියපු පමණින් ජනරජයේ විධායකයට අයිති හැම විධිවිධානයක් ම ඒ පරිච්ඡේද තුනට සීමා වෙලා නෑ. විධායකයට අයිති විධිවිධාන සෑහෙන ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිත් පරිච්ඡේදවලත් සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට 11 වැනි පරිච්ඡේදය අපිට සළකා බලන්න පුළුවන්. ඒ පරිච්ඡේදයෙන් පොදුවේ කියැවෙන්නේ පාර්ලිමේන්තුව ගැන. ඒත් පාර්ලිමේන්තුව රැස්කිරීමට, වාරාවසාන කිරීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පුළුවන් කියලා ඒ පරිච්ඡේදය පටන් ගන්න තැන ම කියනවා. ඒකට අදාළ 70 වැනි ව්‍යවස්ථාව තරම් සාකච්ඡාවට ලක්වෙච්ච වෙනත් විධිවිධානයක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා කියන්න බෑ. ජනමත විචාරණවලට අදාළ විධිවිධානත් එහෙමයි.

අධිකරණයේ පත්කිරීම්වලට ජනාධිපතිවරයා සම්බන්ධ වෙන විදිහ කියන්නේ ඒකට අදාළ 15 වැනි පරිච්ඡේදයෙන්. 129 (1) අනුව්‍යවස්ථාවේ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශක බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරයා මැදිහත් වුනොත් විතරයි. මේ විධිවිධානය තියෙන්නේ 16 වැනි පරිච්ඡේදයේ. ඒ කොහොම වුනත් 15 වැනි පරිච්ඡේදය අධිකරණය” කියලාත් 16 වැනි පරිච්ඡේදය ජ්‍යෙෂ්ඨ අධිකරණ” කියලාත් නම් කරලා තියෙනවා. මේ නම් කිරීම්වලට අදාළ වෙන්නේ ඒවායින් ආවරණය වෙන විධිවිධානවල මූලික ස්වභාවය.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2001 අවුරුද්දේ හඳුන්වලා දීපු සංශෝධනත් එක්ක කොමිෂන් සභා වගයක් පිහිටෙව්වා. ඒ කොමිෂන් සභාවලට සභාපතිවරු හරි සාමාජිකයෝ හරි පත් කරනවා නම් ඒ විදිහට පත් කරන්න ඕන අයව ජනාධිපතිවරයාට නිර්දේශ කිරීම” සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා එකකුත් හැදුවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ විධිවිධාන හඳුන්වලා දුන්නේ 7 සහ 8 පරිච්ඡේද අතරට එකතු කරපු අලුත් පරිච්ඡේදයක් මාර්ගයෙන්. ඒ අලුත් පරිච්ඡේදය 7අ කියලා නම් කරන්නත් කටයුතු කළා.

7, 8 සහ 9 කියන පරිච්ඡේද තුන විධායකය” කියලා නම් කළත් 2001 අවුරුද්දේ එකතු කරපු මේ පරිච්ඡේදයට එහෙම නමක් දුන්නේ නෑ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකය ගැන සඳහන් පරිච්ඡේද ගොනුව ඇතුළට ඒ පරිච්ඡේදය ඇතුළත් කිරීමෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” ජනරජයේ විධායකයට අයිති එකක් කියලා ගම්‍ය කෙරුනා.

2010 අවුරුද්දේ දී සම්මත කරගත්ත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී ඊට කලින් වතාවේ එකතු කරලා තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” කියන ආයතනයේ නම පාර්ලිමේන්තු සභාව” කියලා වෙනස් කළා. ඇති කරලා තිබුණු කොමිෂන් සභාවලට සභාපතිවරු හරි සාමාජිකයන් හරි පත් කරද්දි මේ පාර්ලිමේන්තු සභාවෙන් නිරීක්‍ෂණ” ඉල්ලන්න පුළුවන් විධිවිධානයක් ඒ වතාවේ ව්‍යවස්ථාවට ඇතුළත් කළා.

මේ සංශෝධනයේ දී අදාළ 7අ පරිච්ඡේදය විධායකය” කියලා නම් කරන්නත් කටයුතු කළා. 2001 ඉදිරිපත් කරපු සංශෝධනයේ දී ගම්‍ය කරපු කාරණය ඒ මාර්ගයෙන් තහවුරු කළා. ඒ කියන්නේ 7අ පරිච්ඡේදයත් ජනරජයේ විධායකයට අයිති එකක්.

2015 දී 19 වැනි සංශෝධනය” කියන ව්‍යවස්ථා මංකොල්ලය සිද්ද වුනා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු සභාව” වෙනුවට නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” කියන ආයතනය බලාත්මක කළා. ඒ වතාවේ දී මේ සභාවට පවරපු බලය තවත් වැඩි කළා අදාළ 41ආ (1) සහ (2) විධිවිධානයෙන් කියැවුනේ කොමිෂන් සභාවල සභාපති හරි සාමාජිකයන් හරි ඒවායේ වැඩ බලන්නෙකු හරි පත් කරද්දි සභාවේ නිර්දේශය” නොසළකා ජනාධිපතිවරයාට ඒක කරන්න බැරි බවක්.

ඊට අමතරව අදාළ විධිවිධාන ඇතුළත් පරිච්ඡේදය (7අ) තවදුරටත් විධායකයට අදාළ පරිච්ඡේද ගොනුවේ ම තියා ගන්න එකත් 19 වැනි සංශෝධනය” කියන ව්‍යවස්ථා මංකොල්ලයේ දී සිද්ද වුනා.

මේ වෙද්දි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ගැසට් මාර්ගයෙන් ප්‍රසිද්ධ කරලා. 2010 දී වගේ ම මේ වතාවේදීත් පාර්ලිමේන්තු සභාව” හඳුන්වලා දීලා. ඒකට අදාළ විධිවිධාන 2010 අවුරුද්දේ පනවපු ඒවාට සමානයි. කොමිෂන් සභාවල සභාපතිවරු හරි සාමාජිකයන් හරි පත් කරද්දි මේ පාර්ලිමේන්තු සභාවේ නිරීක්‍ෂණ” ඉල්ලන්න ජනාධිපතිවරයාට පුළුවන්.

ඒ වගේ ම, මේ වතාවේත් ඒ 7අ පරිච්ඡේදය විධායකය” කියලා නම් කරලා. ඒ හින්දා මේ වතාවේ ඉදිරිපත් කරන සංශෝධනයෙනුත් අමුතු වෙනසක් සිද්ද නොවෙන බව පැහැදිළියි. 2001 දී සංශෝධනය 2010 දී වෙනස් කරපු විදිහට ම, 2015 දී කරපු වංචාව 2020 දී වෙනස් කරලා.

මේ පසුබිමේ ඉඳගෙන අපිට විධායක ජනාධිපති ධූරය ගැනත් මේ විදිහට පත් කරන පාර්ලිමේන්තු සභාව” (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව) ගැනත් කරුණු විමසා බලන්න පුළුවන්. ඒත් ඊට කලින් මේ සභාව ඇති කරන්න හේතු වෙච්ච දේශපාලන කරුණු අපි තේරුම් ගන්න ඕන. ඒ හින්දා අපි මුලින් ම ඒකට අදාළ ඉතිහාසය ගැන කතා කරමු.

1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධූරය හඳුන්වලා දුන්නාම ඒකට විරුද්ධ වෙච්ච පාර්ශ්ව දෙකක් හිටියා. ජාතිකවාදී කඳවුර සහ වාමවාදී කඳවුර නියෝජනය කරපු අය තමයි ඒ විරෝධය ඉස්මතු කළේ. විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ඒකාධිපති ලක්‍ෂණ ගැන කියමින් තමයි ඒ විරෝධය මතු කළේ. ඒත් එක්සත් ජාතික පක්‍ෂය මුල් කරගත්ත දක්‍ෂිණාංශික ලිබරල්වාදී කඳවුර විධායක ජනාධිපති ක්‍රමය වෙනුවෙන් පෙනී හිටියා. කොහොම වුනත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව විශාල ජනමතයක් හදන්න ඒකට විරුද්ධ වෙච්ච පාර්ශ්ව දෙකට පුළුවන් වුනා. ඒ ජනමතය හින්දා ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසී කරනවා” කියන පොරොන්දුව දේශපාලන වේදිකාවේ ප්‍රධාන තේමාව බවටත් පත් වුනා.

1987 දී පළාත් සභා හඳුන්වාදීමත්, 1988 දී 15 වැනි සංශෝධනයෙන් සමානුපාතික නියෝජන ක්‍රමයේ සීමාව අටෙන් එකේ සිට විස්සෙන් එක දක්වා අඩු කිරීමත් හින්දා දේශපාලනයේ අලුත් වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. මේ ව්‍යවස්ථා සංශෝධන කරපු ගමන් ම මිනිස්සු ඒ වෙනස අවබෝධ කරගත්තේ නැති බවත් කියන්න ඕන.

පළාත් සභා ක්‍රමය හින්දා රටේ ඒකීයභාවයේ යම් වෙනසක් සිද්ද වුනා. 154උ ව්‍යවස්ථාවේ විධිවිධාන හින්දා පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය සීමා වීමෙන් තමයි ඒ තත්ත්වය ඉස්මතු වුනේ. ඊට අමතරව 15 වැනි සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩු ඇති වුනා.

මේ වාතාවරණය තුළ රටේ දේශපාලන ස්ථාවරභාවය බරපතල විදිහට අනතුරට ලක්වෙලා තියෙන බව දැන ගත්ත ජාතිකවාදී කඳවුරේ අය විධායක ජනාධිපති ක්‍රමයට කැමැති වෙන්න පටන් ගත්තා. මේ අය විධායක ජනාධිපති ක්‍රමයට කැමැති වුනේ දේශපාලන ස්ථාවරභාවය සඳහා ඒක අවශ්‍ය නිසා මිසක් ඒ ක්‍රමය තුළ තියෙනවා කියලා හඳුනා ගත්ත ඒකාධිපති ලක්‍ෂණ” හිටපු ගමන් නැති වෙච්ච හින්දා නෙවෙයි. එහෙම වුනත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා” කියන පොරොන්දුව නම් නැති වුනේ නෑ.

ජාතිකවාදී කඳවුර නියෝජනය කරන අය විධායක ජනාධිපති ක්‍රමයට පක්‍ෂ වෙද්දි දේශපාලන සමීකරණයේ අලුත් වෙනසක් ඇති වෙන්න පටන් ගත්තා. මේකට මූලික විදිහට බලපෑවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන අසාර්ථක භාවය. 1999 සහ 2005 ජනාධිපතිවරණවලට තරග කරපු රනිල් මහත්තයා ඉතා වැදගත් සත්‍යයක් අවබෝධ කරගත්තා. ඒ තමයි තමන්ට කවදාවත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන්න බෑ කියන සත්‍යය. ඒත් එක්කම එතුමාත් විධායක ජනාධිපති ක්‍රමය අඩපණ කරන සටනට අවතීර්ණ වුනා.

ජාත්‍යන්තර වශයෙන් වාමවාදී කඳවුර බිඳ වැටී තිබීමත් දේශීය වශයෙන් පණ අදිමින් සිටීමත් නිසා අපේ රටේ වාමාංශිකයෝ ලිබරල්වාදයට එළිපිට ම කත් අදින පිරිසක් බවටත් පත්වුනා. මේ ප්‍රවනතාව පරිපූර්ණත්වයට පත් වුනේ රනිල් මහත්තයා ඇතුළු ලිබරල් අන්තවාදීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සහවාසයෙන්. ඒත් එක්කම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරනවා” කියන පොරොන්දුව මේ අලුත් ප්‍රේමවන්තයන්ගේ ප්‍රධාන ම දේශපාලන සටන් පාඨය බවටත් පත්වුනා.

ඉතින් ජාතිකවාදී කඳවුරේ අය සහ වාමවාදී කඳවුරේ අය එකතු වෙලා වර්ධනය කරපු, ඒ වගේ ම ලිබරල් ප්‍රේමවන්තයන් විසින් දඩමීමා කරගත්ත ප්‍රධාන දේශපාලන අදහසක් විදිහට විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ මතවාදය” අදටත් අපේ මිනිස්සුන්ගේ හිත්වල රජ කරනවා. ජාතිකවාදී – වාමවාදී සහ වාමවාදී – ලිබරල් දෙපාර්ශ්වයේ ම දායකත්වය හින්දා මේක රටේ හැම කෙනෙක්ගේ ම අවධානයට ලක්වෙච්ච මාතෘකාවක් කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව” එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු සභාව” කියන ආයතනය උපදින්නේ මේ මනස උඩ කියලා අපි අමතක කරන්න හොඳ නෑ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඒකාධිපති ලක්‍ෂණ තියෙනවා කියන එක හැම පාර්ශ්වයක් විසින් ම පිළිගත්ත කාරණයක්. ඒත් රටේ දේශපාලන ස්ථාවරභාවය සළකලා ජාතිකවාදී කඳවුර මේ ක්‍රමයට පක්‍ෂ වෙලා ඉන්නවා. ජාතිකවාදීන් මේ ඇත්ත අමතක කළ යුතු නෑ.

ඒ ස්ථාවරයේ ඉන්න කෙනෙක් විදිහට මේ ලිපිය ලියන මමත් දැන් තියෙන මේ විධායක ජනාධිපති ක්‍රමයට කැමැතියි. ඒත් එක්කම ජාතිකවාදීන්ට අලුත් වගකීමක් පැවරිලා තියෙන බවකුත් මම හිතනවා. රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කරන ගමන් ම මේ ජනාධිපති ක්‍රමය ජාතිකවාදයේ අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගන්නේ කොහොම ද කියන එක තමයි ඒ වගකීම. දැනට මේ වැඩේ සිද්ද වෙන්නේ සමාජ – සංස්කෘතික පෙළැඹවීම්වලට ජනාධිපතිවරයා අවනත වීම මත මිසක් ව්‍යවස්ථාපිත බැඳීම් මත නෙවෙයි.

සමාජ – සංස්කෘතික පෙළැඹවීම්වලට අවනත නැති කෙනෙක් ජනාධිපති ධූරයට පත් වුනොත් අපිට මොකක් වෙයි ද? මේ අවදානම නැති කරගන්න පුළුවන් මොන විදිහට ද?

අපි මිලින්ද මොරගොඩ මහත්තයාගේ කාරණය ගැන හිතලා බලමු. මිලින්ද මොරගොඩ මහත්තයා ඉන්දියාවේ මහ කොමසාරිස් තනතුරට පත් කරද්දි ඒ සඳහා බලපාපු නිර්ණායක මොනවා ද කියලා අපි දැනගෙන හිටියේ නෑ. ඒවා ගැන අපි අදටත් දන්නේ නෑ. අපිට තියෙන ඇගැයීම්වල හැටියට මොරගොඩ මහත්තයා ඒ තනතුරට සුදුසු නෑ. ඉතින් මෙතැන ආරවුලක් ඇතිවෙලා තියෙනවා.

ඉදිරියටත් මේ වගේ ආරවුල් ඇතිවෙන එක වළක්වන්න පුළුවන් වෙන්නේ මොන විදිහට ද? පාර්ලිමේන්තු සභාව” (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව”) මාර්ගයෙන් මේකට අදාළ මාර්ගයක් පාදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. මේක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරයාගේ සමහර තීරණ සඳහා නිර්ණායක සපයන ආයතනයක් විදිහට මේ පාර්ලිමේන්තු සභාව” පිහිටුවීමෙන්.

ජනාධිපතිවරයාගේ තීරණ සඳහා නිර්ණායක සපයන ආයතනයක් විදිහට මේ සභාව පිහිටවපු ගමන් ම ඔක්කොම ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ. ඒත් ඒ හරහා එහෙම විසඳුමක් වෙනුවෙන් ඉදිරි පියවරක් තියන බව අපි තේරුම් ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති ස්වරූපය” පිළිබඳව ඇතිවෙලා තියෙන විරෝධාකල්පය දුරු කරන්නත් ඒ හරහා අපිට පුළුවන් වෙනවා.

අදාළ නිර්ණායක සපයන මේ සභාව පිහිටුවන්න ඕන ව්‍යවස්ථාදායකයට අයත් ආයතනයක් විදිහට මිසක් විධායකයට අයත් ආයතනයක් විදිහට නෙවෙයි. මේ සභාවට නියෝජිතයන් පත් වෙන්න ඕන පාර්ලිමේන්තුවෙන් විතරයි. කිසිම ජනමතයක් නැති මිනිස්සු මේකට පත් කරන එකේ තේරුමක් නෑ. ඒ වගේ ම, මේ සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් පත් කරන්න ඕන බවක් මට නම් හිතෙන්නේ නෑ. විශේෂ හඳුනාගැනීමක් හරහා උපලේඛනයකට ඇතුළත් කරපු තනතුරුවලට මිනිස්සු පත් කරද්දි ජනාධිපතිවරයා විසින් සළකා බලන්න ඕන නිර්ණායක සම්පාදනය කරන වැඩේ මේ සභාවට කරන්න පුළුවන්.

ඒ කොහොම වුනත් අවශ්‍ය අවස්ථාවල දී තම අභිමතය පරිදි ක්‍රියා කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තියෙන්න ඕන. ඒ වගේ ම, ඒ ආකාරයේ විශේෂ අවස්ථා හැම වෙලාවේ ම ඇති වෙන්නේ නැති බවත් අපි දැන ගන්න ඕන.

පාර්ලිමේන්තු සභාව” (එහෙම නැති නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව”) කියන්නේ අපි තවත් පුළුල් විදිහට ගැඹුරින් කතා කරන්න ඕන මාතෘකාවක්. එහෙම නැතුව 20 වැනි සංශෝධන යෝජනාවේ අඩංගු කරුණුවලින් විතරක් සෑහීමකට පත් වෙලා ඒක සම්මත කරගන්න කල් අපි බලාගෙන ඉඳීමෙන් රටට වැඩක් වෙන එකක් නෑ. මේ වගකීම අපි අතපසු කළොත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි ජනමතය තව තවත් වර්ධනය වෙලා රට ආයෙත් අස්ථාවර තත්ත්වයකට පත් වීමේ ලොකු ඉඩකුත් තියෙනවා.

ඉතින් මේ ගැන අපි තව තවත් කතා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress