නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව හින්දු කෝවිල් 40 කට අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් මූල්‍යාධාර ප්‍රදානය කරයි
Posted on October 15th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්‍රදානය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මුළු ලෝකයම විශාල තර්ජන හා අර්බුධවලට මුහුණ පා ඇති අවස්ථාවක වුවත්, රජයක් ලෙස හින්දු ආගමික සාරධර්ම ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බව අග්‍රමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

මුදල් ආධාර ප්‍රදානය සංකේතවත් කරමින් කෝවිල් භාරකාර මණ්ඩලවල සභාපතිවරු පැමිණ අග්‍රාමාත්‍යතුමා අතින් මුල්‍ය ආධාර චෙක්පත් ලබා ගත්හ.

අග්‍රාමාත්‍යතුමා හින්දු කෝවිල් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයේදී මෙසේ ද කීවේය.

මෙවැනි දුෂ්කර අවස්ථාවක හින්දු කෝවිල් සඳහා රුපියල් 50000 ක අධාර මුදලක් ලබා දීමෙන් ආගමික සාරධර්ම ආරක්ෂා කිරීමට සහ රටට සෙතක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

ආගමික කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් හින්දු ධර්මය හා හින්දු ආගමේ සාරධර්ම ආරක්ෂා කිරීම අපගේ වගකීමක්. මෙම ආගමික සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් 50000 ක දායක මුදලක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ආරම්භ කරන සෑම දෙයක්ම සාර්ථකව අවසන් වේ යැයි බලාපොරොත්තුවෙන්, යහපත් ක්‍රියාවන් ආරම්භ කරන මෙම නවරාත්‍රී උත්සව කාලයේ අප මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. කෝවිඩ් – 19 ආසාදන තර්ජනය මධ්‍යයේ කෝවිල්වල පවත්වනු ලබන උත්සවවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට කටයුතු කරයි කියලා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.රාමේෂ්වරන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බදුල්ල දිස්ත්‍රික් අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් සෙන්දිල් තොන්ඩමන් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress