බෞද්ධ ජනරජ ප්‍රවාදය – 6 වැනි කොටස- ශාසනික උරුමයේ පරම බලය
Posted on February 19th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජනරජයක පරමාධිපත්‍යය හිමිවන්නේ ජනතාවට ය. ජනතා පරමාධිපත්‍යය බලය ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ එය හඳුන්වා දී තිබේ. දැනට අප රටෙහි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියැවෙන පරිදි පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය අයත් වන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් ගණනාවක් වෙයි. එවායින් සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස; වධ හිංසාවලින් නිදහස; සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම; අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම; භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස; සහ තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම ආවරණය වෙයි. මේ සියල්ල ම ශ්‍රී ලාංකික පුරවැසියන් සතු පුද්ගලික මූලික අයිතිවාසිකම් ය. මෙකී පුද්ගලික මූලික අයිතිවාසිකම් ජනතා පරමාධිපත්‍යය තුළට අයත් කර තිබේ.

කෙසේ වුව ද, ජනතාව සතුවන්නේ තනි තනිව උක්ත මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඒ ඒ පුද්ගලයාට ඇති හිමිකම පමණක් නොවේ. ජනතාවට හිමි පොදු අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් ද වෙයි. සංස්කෘතික හිමිකම් ඒ අතරින් මූලික වෙයි. දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඊ) ඡේදයෙන් දක්වා ඇත්තේ එවැනි හිමිකමකි. සෑම පුරවැසියකුට ම, එකලාව හෝ අන් අය හා සමග හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහසට හිමිකමක් ඇති” බව එයින් කියැවෙයි.

සංස්කෘතිය භුක්ති විඳීම, වැඩි දියුණු කිරීම සහ භාෂාව භාවිතා කිරීම යනු බොහෝ විට පුරවැසියන් විසින් සාමූහිකව කරනු ලබන පොදු කටයුතු වෙයි. උක්ත අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් කියැවෙන ආගම ඇදහීමේ, පිළිපැදීමේ, ප්‍රගුණ කිරීමේ සහ ඉගැන්වීමේ නිදහස ද එ වැනි ම සාමූහික කාර්යයකි. හුදු පුද්ගලික ආශාවක් මුල් කරගෙන කෙරෙන දිනපොත් ලිවීමක් වැනි කටයුත්තක් හැරෙන්නට භාෂාව භාවිතා කෙරෙන්නේ සාමූහිකව ය. සංස්කෘතික සේවනය සහ එහි පෝෂණය වෙනුවෙන් දායකවීම ද එ බඳු ය. යම් යම් විශේෂිත පසුබිම් තුළ ආගමක් පුද්ගලික ව ඇදැහිය හැකි වුව ද බොහෝ විට ඒ ආශ්‍රිත කටයුතු ද සාමූහිකව සිදු කෙරෙයි. ආගමක් ඉගැන්වීම පමණක් නොව අනෙකුත් සියළු ඉගැන්වීම් කටයුතු තනි පුද්ගල සීමාව ඉක්මවා කෙරෙන කාර්යයන් වේ.

කෙසේ වුව ද, සංස්කෘතික සහ ආගමික කාර්යයන්ට අදාළ උක්ත සාමූහික හිමිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අර්ථ දක්වා ඇත්තේ පුද්ගලික මානව හිමිකම් වශයෙනි. මෙය ඉතාමත් පැහැදිළිව ම උක්ත හිමිකම්වල සාමූහික ස්වභාවය නො සළකා හැර කළ කාර්යයකි.

එහෙයින් මෙම අඩුව සම්පූර්ණ කර ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්විය යුත්තේ ය. පරමාධිපත්‍යයට ජනතාවගේ පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්,, මූලික පුද්ගලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ ය” යනුවෙන් මෙයට අදාළ ව්‍යවස්ථාව සංශෝධනය විය යුත්තේ ය.

අවුරුදු දහස් ගණනක් තුළ කළ කැපවීම්වල ප්‍රතිඵලයක් ලෙසින් හොඳින් සුරක්‍ෂිත කොට, පෝෂණ කළ ශාසනික උරුමයක් අප සතුව තිබේ. මෙම ශාසනික උරුමය අපගේ සාමූහික අයිතිවාසිකමකි. නිරන්තරයෙන් ම අප කරා එන සතුරු උපද්‍රව, අභ්‍යන්තරික පිරිහීම්, සහ ඒ හේතුවෙන් සිදු ව තිබෙන නො සළකා හැරීම් නිසා ශාසනයෙහි සුරක්‍ෂිත බව අභියෝගයට ලක්වෙයි. එ කී අභියෝග මධ්‍යයෙහි ම අපි අපේ ශාසනික උරුමය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමට සාමුහික ව කැපැ වී සිටිමු.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය” යන වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ එයින් ජනතාවගේ සාමූහික අවශ්‍යතාවක් නිරූපණය වන බැවිනි. මෙහි රජය” වශයෙන් දක්වා ඇත්තේ ජනරජය ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1 වැනි ව්‍යවස්ථාවෙන් ම ඒ බව දක්වා තිබේ. ජනරජයේ වගකීමක් යනු ජනතාවගේ සාමූහික වගකීමකි. ජනරජයේ ආණ්ඩුව යනු උක්ත වගකීමේ යම් ප්‍රමාණයක් නියෝජනය කරවීම උදෙසා ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන පාලන ආයතනයයි.

රාජ්‍යයක් බිහිවන්නේ සාමූහික සංස්කෘතික අරමුණු මුල් කරගෙන ය. මෙම ලිපි මාලාව තුළ ඒ බැව් නිරන්තරයෙන් අවධාරණය කර තිබේ. බුද්ධ ශාසනය සුරක්‍ෂිත කර පෝෂණය කිරීම අපගේ මූලික ම සාමූහික සංස්කෘතික අරමුණයි. එහෙයින්, ඒ මත පදනම් වී ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වීමේ හැකියාවක් අපට තිබිය යුතු ය. බෞද්ධ ජනරජ ප්‍රවාදය” නම් මෙම ලිපි පෙළ ලියන්නේ ඒ සඳහා කෙරෙන මුල පිරීමක් වශයෙනි. මෙම මූලික හඳුනාගැනීම් මත පදනම් වීමෙන් සහ ජනරංජනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් ද, අදාළ බෞද්ධ ඇගැයීම් ද ඇසුරු කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩ නැංවිය යුතු ආකාරය අපි ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress