දේශපාලන බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීම.
Posted on February 23rd, 2021

ජනමාධ්‍ය නිවේදනයයි.සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමය.

දේශපාලන බලහත්කාරයෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අවලංගු කිරීම.

මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අනුයුක්තව තම මාසික ජීවන වියදම පිරිමසා ගැනීමටවත් නොසරිලන මූලික වැටුපකට පමණක් හිමිකම් කියමින් අවම පහසුකම් යටතේ තම සේවාව ඉටු කරන 300 කට ආසන්න රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් සාධාරණ පදනමකින් තොරව දේශපාළන බලහත්කාරය යොදවා කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්තනෝමතික ලෙස ස්ථානමාරු අවලංගු කර ඇත.

විධිමත් ස්ථානමාරු පටිපාටිය පවා නොසලකා හරිමින් වාර්ෂික ස්ථාන මාරු මණ්ඩලයේ තීන්දු අත්හිටුවමින් සිය ගෝල බාලයන්ගේ මඟ පෙන්වීම මත හිතුවක්කාර ලෙස සිදුකරන මෙම ස්ථාන මාරු හේතුවෙන් සමස්ත වෛද්‍ය සේවාවම අවුල් සහගත තත්ත්වයකට ලක් කර ඇත.

එක් අතකින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව අකර්මණ්‍ය කිරීම තුළ මෙම බලහත්කාරයට මඟ පාදා ඇති අතර, නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව උපාය මාර්ග තෝරමින් සුබසාධන සේවාවක් ලෙස පවතින සෞඛ්‍ය සේවයේ කොටසක් වන ආයුර්වේද සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමේ වග වීමෙන් නිදහස් වීමට පවතින බාධා අවම කර ගැනීමට ද රජය මේ හරහා උත්සාහ දරා ඇත.

* #කොරෝනා ගෝලීය වසංගතය තුල පවා රජය, දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් #කොරෝනා මර්දන කමිටු වාර්ථා පවා හමස් පෙට්ටියට යොදමින් රටේ ජනතාවට මිථ්‍යාව පතුරවමින් රාජ්‍ය ආයුර්වේද සේවාව දියකර හැරීමේ වැඩ පිළිවෙලකට එරෙහිව කටයුතු කළ වෘත්තීය සමිති දුර්වල කිරීමට ගත් උත්සාහයන් ද මේ මගින් සැළසුම් කර ඇත.

* 2019 සැප්තැම්බර් මස 2020 වර්ෂය සඳහා පටන් ගත් මෙම ස්ථාන මාරු මණ්ඩල ක්‍රියාවලිය 2021. 02. 12 දින නිකුත් කරනු ලැබීමෙන් පසු සමස්ත වෛද්‍ය කාර්ය මණ්ඩලය බලවත් නොසන්සුන්තාවයකට පත් වී ඇති අතර සේවාවේ ගරුත්වයට, සමරූපී බවට බරපතල ලෙස හානි සිදුවී ඇති බව පෙන්වා දෙන අතර මෙවැනි අක්‍රමිකතා සිදුවීම පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියළු නිළධාරීන් වගකිව යුතු බවද පෙන්වා දෙමි.

* සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩල මෙම බලහත්කාරයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත හා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සැළසුම් කර ඇති බව දන්වා සිටින අතර මෙම වාතාවරණය මත ඉදිරියේදී ආයුර්වේද සෞඛ්‍ය සේවාව අකර්මණ්‍යවීමේ අවදානමේ වගකීම රජය භාරගත යුතු බවද වැඩි දුරටත් දන්වා සිට්මු.

ස්තුතියි.

මෙයට,
වෛද්‍ය කේ. පී. ආර්. එස්. ගුණරත්න.
(ප්‍රධාන ලේකම්),
සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress