බෞද්ධ ජනරජ ප්‍රවාදය – 7 වැනි කොටස-ජනතාවගේ උපදේශන බලතල
Posted on February 24th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජනතා පරමාධිපත්‍යය යන්නට ජනතාවගේ පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය හැරුණු විට ජනතාවගේ සාමූහික අයිතිවාසිකම් ද අයත් විය යුතු බව අපි පසුගිය ලිපියෙන් පෙන්වා දුන්නෙමු. ඒ අනුව පරමාධිපත්‍යයට ජනතාවගේ පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්,, මූලික පුද්ගලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ ය” යන අයුරින් එම පරම බලය ප්‍රකාශ විය යුතු බව ද අපි නිගමනය කළෙමු. එ නමුදු මෙම පරමාධිපත්‍යය බලය අංගසම්පූර්ණ වීමට නම් ජනතාවගේ තවත් බලයක් මෙයට එක් කළ යුතු වේ.

ඒ, ජනතාවගේ උපදේශන බලය යි.

අප රටෙහි ජාතික ප්‍රතිපත්තියක් නැති බවට අපි නිතර ම මැසිවිලි නඟන්නෙමු. මෙය මෙසේ වී ඇත්තේ ප්‍රතිපත්ති සම්පාදනයට මග පෙන්වන ස්ථීර ජනතා ආයතනයක් ක්‍රියාත්මක නොවීම නිසා ය. විධායකයේ හෝ ව්‍යවස්ථාදයකයේ හෝ සිදුවන තාවකාලික පෙරැළි අනුව ජාතික ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවකාශය සළසා තිබීම විශාල වරදකි. විධායකය සහ ව්‍යවස්ථාදායකය කටයුතු කළ යුත්තේ කිසියම් නිශ්චිත උපදේශන වැඩපිළිවෙළකට අනුගතව ය.

රාජ්‍ය පාලනය සඳහා අදාළ කරගත හැකි උපදේශන ලැබිය යුත්තේ ජනතාවගෙනි. සියළු රටවැසියන්ගෙන් උපදේශනයක් ලබාගත නො හැකි හෙයින් මේ වෙනුවෙන් ක්‍රියා කළ හැකි නියෝජිත ආයතනයක් පිහිටුවිය යුතු වේ. රාජ්‍යයේ පොදු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපදේශන ජනරජයේ විධායකය සහ ව්‍යවස්ථාදායකය වෙත ලබාදෙන මෙම ආයතනයට අපි උත්තරීතර අනුශාසක සභාව” යැයි කියමු.

මෙම අවශ්‍යතාව ඉටු කරගැනීම වෙනුවෙන් කළ යුතු මූලික ම කාර්යය වනුයේ ජනතාවගේ උපදේශන බලය ද අන්තර්ගත වන අයුරින් පරමාධිපත්‍ය බලය අර්ථ දැක්වීම ය. ඒ අනුව පරමාධිපත්‍යයට ජනතාවගේ උපදේශන බලතල, පාලන බලතල, සාමූහික අයිතිවාසිකම්, මූලික පුද්ගලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් වන්නේ ය” යන අයුරින් එම පරම බලය අර්ථ දැක්විය හැකි ය.

උත්තරීතර අනුශාසක සභාව” යනු පරමාධිපත්‍ය බලය යටතේ අර්ථ දැක්වෙන ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන නියෝජිත ආයතනය යි. ජනතාවගේ උපදේශක බලය ජනතාව විසින් අනුමත කර පිහිටුවන ලබන එකී උත්තරීතර අනුශාසක සභාව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය. මෙම සභාව විසින් ලබාදෙනු ලබන සෑම උපදේශනයක් ම රාජ්‍යයේ පොදු අරමුණු සාක්‍ෂාත් කරගැනීම සහ එම අරමුණු උල්ලංඝනය නොකිරීම යන සීමාවලට අනුගතව සම්පාදනය කළ යුත්තේ ය.

බෞද්ධ ජනරජයේ අරමුණු අතර ඉදිරියෙන් ම ඇත්තේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම” බව අපි මෙයින් නැවත වතාවක් අවධාරණය කරමු. එයට අමතරව ජාතික උරුමයක් ලෙස සළකා සිංහල භාෂාවට විශේෂ තැනක් ලබාදීම, සිංහල භාෂාව සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම, නිශ්චිතව හඳුනාගත් දේශීය දැනුම (ශිල්ප සහ ශාස්ත්‍ර) සුරක්‍ෂිත කොට වර්ධනය කිරීම, නියම කරගත් නිශ්චිත කාල සීමාවක් ඇතුළත දේශීය නීති ක්‍රමයක් සම්පාදනය කිරීම වැනි කාර්යයන් ද ඒ තුළට අන්තර්ගත කළ යුතු වේ.

උක්ත පොදු අරමුණුවලට අනුරූප වන පරිදි සහ බෞද්ධ ඇගැයීම්වලට අනුගත වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පාදනය කිරීම ද උත්තරීතර අනුශාසක සභාවේ වගකීම්වලට අයත් වෙයි. සතර සංග්‍රහ වස්තු, දසරාජ ධර්මය වැනි බෞද්ධ ඉගැන්වීම් මේ සඳහා අදාළ කරගත යුතු වෙයි. ශ්‍රී ලංකා ජනරජයේ සියළු සමාජ – ආර්ථික කටයුතු මෙම බෞද්ධ ඉගැන්වීම් අනුව ක්‍රියාත්මක කිරීම අපහසු කාර්යයක් නොවේ.

නිදසුනක් ලෙස, ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේ දී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානිකර අයුරින් කිහිප දෙනකු වෙත ඒකරාශි නොවන ලෙසින් ද ප්‍රාග්ධනයේ හිමිකම නිසි පරිදි ජනතාවට පැවරෙන ලෙසින් ද කටයුතු කිරීමෙන් අර්ථ චර්යාවේ සහ සමානාත්මතාවේ අවශ්‍යතාව ඉටු කළ හැකි ය. (මෙය සිදු කළ හැකි ආකාරය ඉදිරි ලිපිවලින් විස්තරාත්මකව පැහැදිළි කෙරෙයි).

උක්ත අරමුණු සහ ඒ අනුව සම්පාදනය කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම ද ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු වෙයි. එ මෙන් ම, ඒ අනුව කටයුතු කර අදාළ කාර්යසාධනය නිසි පරිදි වාර්ෂිකව වාර්තා කිරීමේ විධිවිධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු වෙයි. එ ලෙසින් ප්‍රකාශිත කාර්යය වෙනුවෙන් යම් වර්ෂයක් තුළ ඉටු කරන ලද කටයුතු පිළිබඳ වාර්තාවක් එයින් ඉක්බිතිව එළැඹෙන වසරෙහි අප්‍රේල් 30 වැනි දිනට ප්‍රථම ජාතික ව්‍යවස්ථාදායක සභාව සහ ජාතික විධායක සභාව විසින් උත්තරීතර උපදේශක සභාව වෙත ඉදිරිපත් කළ යුත්තේ ය” වැනි විධානයකින් එය සිදු කළ හැකි ය.

මෙම ජනතා උපදේශන කාර්යයෙහි වගකීම් පැවරෙන උත්තරීතර උපදේශක සභාව” පිහිටුවිය යුත්තේ කෙ ලෙසින් ද? ඒ සඳහා තෝරා පත් කරගත යුත්තේ කවුරුන් ද? අපි මෙම කරුණු පිළිබඳව මී ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress