බොරුව මත ගොඩනැගූ දින 100 යහපාලන සිහින මන්දිරය
Posted on June 4th, 2015

– කුමාර ලියනගේ යුතුකම සංවාද කවය www.yuthukama.com

මේ කතාව මා මුල් වරට සදහන් කරන්නේ අද ය.පසුගිය ජනවාරි 09වැනි දා මම මේ රටේ එක්තර‍ා සුවිශේෂ පුද්ගලයකුට කතා කළෙමි.ජනවාරි 09වැනි දා යනු, ජනාධිපතිවරණයට පසු දිනයයි. කවුරුත් විවිධ අදහස් දක්වමින්, රටේ හෙට දවසත්, දේශපාලනයේ අනාගතයත් පිළිබද මත පළ කරන්නට පටන් ගත් දිනයයි.

මා විසින් දුරකථනයෙන් අමතනු ලැබූ පුද්ගලයා ‍ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥයෙකි. ඒවා ඉදිකිරීම්, වනජීවී, පශ්චාත් යුද සංවර්ධන, කාබනික ගොවිතැන ආදිය ය.උක්ත ක්ෂේත්‍රයන්හි විශේෂඥයකු වන ඔහු සමග මම ඉතා සමීප ව කටයුතු කර ඇත්තෙමි. රටේ තත්ත්වය පිළිබද ප්‍රායෝගික දැනීමක් තිබෙන ඔහු ගෙන් මා විමසා සිටියේ 2015 පශ්චාත් ජනාධිපතිවරණ යුගය පිළිබද අදහස ය.
මේ ඔහු එක්වර කී දේ ය.
‘අලුත් ආණ්ඩුවට කරදර කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව මාස 6ක් වැඩ කරන්න දෙන්න ඕන.’
‘මොකටද?’ මම ඇසුවෙමි.
‘මොකටද නෙවෙයි, අනිවාර්යයෙන් අර්බුදයට යනවා.’
එසේ කියූ ඔහු ඊට හේතු ඉදිරිපත් ක‍ළේ ය. ඔහු කී ප්‍රධාන හේතුවක් වූයේ, නොගැලපෙන කණ්ඩායම් සහ පුද්ගලයන් රාශියක් එක් මතයකට ගොනු කිරීමට තිබෙන අපහසුතාව ය.දැන් ඔහු පැවසූ කාල වකවානුව ආසන්න වෙමින් තිබේ. ආණ්ඩුව ද අර්බුදයේ ය. එදා ඔහු අදහස් දක්වන අතරේ තවත් දේ කීවේ ය.
‘ඔය පාඨලී කියන තරම් අඩු ගණන්වලට, අධිවේගී මාර්ග හදන්න බැහැ. ලෝකයේ මේ වගේ වැඩ කරද්දි කොයි රටේත් මුදල් ගසාකෑමක් සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් පාඨලී කියන තරම් සල්ලි ගහලා ඔය අධිවේගී මාර්ග හදන්න බැහැ.’
එසේ කියූ ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.
‘වල ගොඩැලි නැති සාමාන්‍ය තැනිතලා පාරක, ගල්දාලා කි.මී.1ක් කාපට් කරන්න කොච්චර විතර යනවා කියලද හිතන්නේ?’
‘ලක්ෂ 20ක් විතර’ මම සාමාන්‍ය අනුමාන ගණනක් කීවෙමි.
‘එ් ගාණට පුඵවන් ගල් විතරක් අතුරන්න. කාපට් දාන්න හිතන්නවත් බැහැ.’
‘සාමාන්‍ය පාරක, කි‍.මී.1ක ගල් අතුරලා කාපට් දාන්න මිලියන 70-140 අතර වෙනස් වෙන ගණනක් වියදම් වෙනවා.’
‘ඔය අධිවේගී මාර්ග හදලා තියෙන්නේ, තව අවුරුදු 50කට එහා ගැන හිතලා. ෆයිල් බස්සලා තියෙන්නේ ලයින් 6කට. හරියට තට්ටු 3කට ලෝන් එකක් දාලා, ෆයිල් බස්සලා තනි තට්ටුවේ ගෙදරක් හදලා වගේ. උඩින් පේන්නෙ තනි තට්ටුවයි. තට්ටු 3 තියෙන්නේ පොළොවේ යට. පොළොවෙන් උඩ විතරක් බලලා, කෝ තට්ටු 3 කිව්වට වැඩක් නෑ.’
දැන් ඔහු පැවසූ ඒ කතාවත් ඇත්ත වී තිබේ.
කඩවත-කෙරවලපිටිය මාර්ගය ඊට උදාහරණයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී පිල, මේ ම‍ාර්ගය පිළිබද ව කී දේ, මාස 6ක් යන්නට ප්‍රථම ආපසු කැරකී ආවේ ය.වර්තමාන ආණ්ඩුව චීන රජයට කතා කර, එහි මිල ගණන් නැවත සකස් කරන්නට මාන බැලුවේ ය. කොමිස් දී ඇද්දැයි විමසුවේ ය. සියල්ල ව්‍යර්ථ වූ පසු අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ ය.එනම් එකී ඉදිකිරීම ‘ඌන සැලසුම්’ (under design) පදනම මත සිදු කිරීම ය.
‘ඌන සැලසුම්’ යනු, මුල් සැලසුම ලයින් 6ක් නම්, එය ලයින් 4ක් කිරීම ය. තාප්පයක පළල අඩි 6ක් නම්, එය අඩි 4ක් දක්වා අඩු කිරීම ය. පාලම අඩි 1000ක් නම්, එය 800 දක්වා අඩු කිරීම ය.
වර්තමාන අාණ්ඩුව, දැන් කඩවත-කෙරවලපිටිය මාර්ගය ඉදි කිරීමට අර අදින්නේ ඒ ආකාරයට ය. ඒ අනෙකක් නිසා නො වේ. පසුගිය ආණ්ඩුව ‍කඩවත-කෙරවලපිටිය මාර්ගයෙන් මුදල් ගසා කා ඇතැයි කියමින් ප්‍රචාරය කළ කතාව අැත්ත කිරීමට ය. මෙලෙස ඌන සැලසුමෙන් ඉතුරු කර ගැනෙන මුදල්, ගසා කෑ මුදල් ලෙස පෙන්වීමට අපේක්ෂා කර තිබේ.
මා, මේ අදහස් පළ කිරීම මේ තාක් ප්‍රමාද කළේ, කොයි දේටත් කාලයක් තිබෙන හෙයිනි.
අනෙක් අත‍ට, එක් ආණ්ඩුවක් මෝඩකම් කළ පළියට ඊළගට පත් වන ආණ්ඩුවත් ඒ ආකාරයේම මෝඩකම් කළ යුතුයයි, න්‍යායක් නොමැති බව පැවසීමට ය‍.ආණ්ඩුව, රජය, පවුල, ජනතාව යනු ‍වෙන් වෙන් වශයෙන් සැලකිය යුතු පාලන ඒකක බව කාටත් අවබෝධ විය යුතු ය. කවර දේ සිදු වුව ද, අවසානයේදී ආණ්ඩුවක් සහ රාජ්‍යයක් තිබිය යුතු ය. පසුගිය ආණ්ඩුව වැරැදි කර ඇතැයි පවසමින් ‘රාජ්‍යය බිද වැට්ටවීම’ යනු, පට්ට මී හරකුන් ගේ වැඩක් මිස, රාජ්‍යතාන්ත්‍රිකයන් ගේ කාර්යභාරය ‍නොවේ.
(ඉහත නම් සදහන් කර තිබෙන විශේෂඥයා ගේ නම සදහන් නො කරන ලද්දේ, එය අවශ්‍ය නැතැයි මා සිතන නිසා ය. ඔහු FB අවකාශයේ ද සිටින්නෙකි.)
[කාටූනය :ජනරල]

– කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress