දහනවය හා විස්ස
Posted on June 22nd, 2015

නලින් ද සිල්වා

ඊනියා සාධාරණ සමාජ උද්ඝෝෂකයෝ ද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට දැක්වූ උනන්දුච විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට නො දක්වති. දහනවය හා විස්ස අතර ඇති ප්‍රධාන වෙනස දහනවයෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට උත්සාහ කිරීමත් විස්සෙන් මනාප ක්‍රමය නැති කිරීමට කටයුතු කිරීමත් ය. විධායක ජනාධිපති බලතල කපා දැමීම සිංහල ජනතාවගේ ඉල්ලීමක් නො වී ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක බලතල සහිත ජනාධිපති කෙනකු සිටි බැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි ද තවමත් දෙමළ ජාතිවාදය පවතියි. එය ජනවාරි 8 වැනි දා තෙක් පැවතුණේ බටහිර රටවල හා ඉන්දියාවේ ය. එහෙත් ජනවාරි 8 වැනි දාට පසුව දෙමළ ජාතිවාදය නැවතත් ලංකාවේ ද ක්‍රියාත්මක වෙයි.

දෙමළ බෙදුම්වාදය ගලා එන්නේ ද දෙමළ ජාතිවාදයෙනි. දෙමළ ජාතිවාදය බටහිර රටවල හා ඉන්දියාවේ ක්‍රියත්මක වන්නේ ඒ රටවල අනුග්‍රහයෙනි. එහි දී බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජාතිවාදීහු ද ආධාරයට ගැනෙති. බටහිර රටවලට අවශ්‍ය නම් තම රටවල ඇති විසුරුණු දෙමළ ජාතිවාදීන්ගේ සංවිධාන නැති කළ හැකි ය. එහෙත් ඔවුහු එසේ නො කරති. බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගනියි. එයට විරුද්ධ ව ක්‍රියා කළ හැක්කේ ශක්තිමත් විධායක ජනාධිපති කෙනකුට මිස ඊනියා සාමූහික වගකීමක් ඇතැයි කියන කැබිනට්ටුවකට හා පාර්ලිමේන්තුවකට නො වේ.

ලංකාවේ කැබිනට්ටුවේ සාමූහික වගකීම ඇත්තේ නමට පමණකි. මෙහි ඇමතිවරු තම තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වති. එවැනි කැබිනට්ටුවක් සමග බටහිර බලවේගවලට එරෙහිව ගොස් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නො හැකි ය. එබැවින් දෙමළ ජාතිවාදය පරාජය කරනතුරු ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය වෙයි. මේ දේශපාලනය වැසූ බටහිරයෝ ඊනියා සාධාරණ සමාජ, පිවීිතුරු හෙට වැනි සංවිධාන මගින් ව්‍යාජ යහපාලනයක් හා ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට බොරු චෝදනා ගෙතූහ. 

මෛත්‍රිපාල සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව  අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි. 

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනතාවගේ ඉල්ලීමක් නො තිබුණ ද, මනාප ක්‍රමය වෙනස් කරන ලෙසට ඉල්ලීමක් විය. අපි දහනවයට කලින් විස්ස ගත යුතු යැයි කීවෙමු. එහෙත් සෝභිත හිමියන්ටවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තිබූ වුවමනාව විස්ස වෙනුවෙන් නො වී ය. මනාප ක්‍රමය වෙනස් කිරීම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට ප්‍රශ්නයක් වෙයි. එ ජා පක්‍ෂය ද මනාප ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධ ය. ඔවුන්ට කේවල ක්‍රමයට වඩා සමානුපාතික ක්‍රමය වාසි සහගත වෙයි. අනෙක් අතට එ ජා ප සිංහල විරෝධී ජාතිවාදී පක්‍ෂවලට ආධාර කරයි.

ඉතා කෙටියෙන් කියන්නේ නම් දහනවය සිංහල විරෝධී දෙමළ හා මුස්ලිම් ජාතිවාදවලට පක්‍ෂපාති වන අතර, විස්ස සිංහලයන්ට පක්‍ෂව දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට අවාසි තත්තාවයක් උදා කරයි. දහනවයෙන් විධායක බලතල රාශීයක් නොකැපී ඉතිරි වුනු බැවින් සිංහල විරෝධීන්ගේ අරමුණු ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් ම ඉටු නො විණි. එහෙත් ඔවුහු විස්ස සම්මත කර ගැනීමට ඉඩ නොදීමෙන් තම අවශ්‍යතා ඉටු කර ගනිති. සිංහල ජාතිකත්වයේ මිතුරන් ලෙස පෙනී සිටින බොහෝ දෙනකුගේ වෙස් මුහුණු දැන් ගිළිහී ඇත. සිංහල විරෝධී මෛත්‍රිපාල  හා රනිල් හැකි ඉක්මණින් ඉවත් කළ යුතු ය.    

නලින් ද සිල්වා

2015 ජූනි 22 

One Response to “දහනවය හා විස්ස”

  1. Independent Says:

    දෙමල ජාතිවාදය පරාද වුනේ 2009 දීය​. මෙයට 2010 සිටම අපේම එවුන් පණ දුන්නාහ​. කල යුත්තේ රටේ නීතිය ක්‍රියාත්මක වීමයි. හැම වාදයක්ම නීතියට යටවෙනු ඇත​.
    තමන් ගේ වාසියට නීතිය හසුරුවන දේසපාලුවන් නිසා තිබිය යුතු නැති ප්‍රශ්න මවා තිබේ. මේ කාලකන්නියන්ගේ පුකට ගසා එලවා නොදමා එකෙක් ඇරෙන්න තවකෙක් බදාගෙන නහින බූරුවන් නිසා රට පල්ලමටම යයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress