හමුදා රැග්
Posted on November 9th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

ලංකා -E නිවුස් වෙබ් අඩවිය විසින් කාලීන මාතෘකාවක් පිළිබඳව වාර්තා කරයි. එම වාර්තාව පදනම් වී තිබෙන්නේ යුද හමුදාවේ පවතින නවක වදය පිළිබඳවයි. (http://lankaenews.com/news/3002/si )

මම යුද හමුදා රෝහලේ සේවය කළ සමයේ හමුදා නවක වදය නිසා රෝගාතුර වූ සොල්දාදුවන් / නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කොට තිබේ. මේ රෝගීන් අතුරින් 2004 වසරේ එවකට කර්නල්වරියක වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය එන් කේ ආරියරත්න මිය විසින් මා වෙත යොමු කරන ලද දෙවන ලුතිනන්වරයෙකු මගේ මතකයට නැගේ.

hamuda  

 මෙම තරුණයා දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වීමේ ප්‍රීතිය  ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ( ලුතිනන්වරු) සමරා තිබුනේ උක්ත නිලධාරියා නවක වධයට පත් කිරීමෙනි. ඔහුට ඩිප්ස් ගැසීමට නියම කොට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නොකඩවා හිසට පයින් ගසන ලදින් ඔහුගේ මොලයේ රුධිර වහනයක් සිදුවී තිබුණි. එසේම TBI ( Traumatic Brain Injury) තත්වයට පත් වී තිබූ ඔහු ඉතා දිගු කාලයකට කායික මානසික  රෝගියෙකු බවට  පත් විය​. නවක වධය නිසා රෝගී වූ මෙම දෙවන ලුතිනන්වරයාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් යුද හමුදා රෝහලට විශාල මුදලක් වැයවී තිබුණි. අප විසින් මෙම සිදුවීම ගැන යුද හමුදා පොලිසිය (CCMP) දැණුවත් කලද පරීක්‍ෂණ ක්‍රමවත්ව සිදු  වූයේ නැත​.   

එසේම වරක් නවක වධය ලෙස තදබල පහරදීම් / ලිංගික හිංසන වලට ලක් කරන ලද නවක සොල්දාදුවෙකු අපගේ වාට්ටුවට යොමු කරන ලදි. මෙම සොල්දාදුවාට මුලින්ම ප්‍රතිකාර කර තිබුනේ  විශේෂඥ මනෝ වෛද්‍ය ඩී. වී ජේ. හරිස්චන්ද්‍ර මහතා විසිනි. (ඒ ඔහු නිවාඩුවට නිවසට ගිය විට හටගත් රෝගී තත්වයක් නිසාවෙනි ) එතුමා විසින් මෙම නවක සොල්දාදුවා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවට රෝග නිර්නය කරන ලදි.  මෙම සොල්දාදුවා වසරක් පමණ යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර ලබා පසුව හමුදා සේවයට කායික මානසික වශයෙන් අනුචිත නොවන බවට නිර්දේශ වී යුද හමුදාවෙන් ඉවත් කරන ලදි. ඒ මුළු කාලය පුරා ඔහුගෙන් හමුදාවට එලදායී සේවයක් නොලැබුණු අතර ඔහුට ප්‍රතිකාර සහ වැටුප් ලෙස විශාල මුදලක් ඒ වන විටත් යුද හමුදාව විසින් වියදම් කොට තිබුණි.    

NCO හෙවත් තනතුරක් නොමැති යුද නිලධාරියෙකු දෙවන ලුතිනන් නිලයට පත් වන විට ඔවුන්ට අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් බරපතල නවක වධයට ලක් වීමට සිදුවේ. හමුදාවේ ජ්‍යෙෂ්ඨ සොල්දාදුවන් (Warrant Officer) ලෙස සේවය කොට දෙවන ලුතිනන් නිලයට අවතීර්ණව නවක වධය නිසා සදාකාලිකව අබ්බගාතවූ පිරිසද හිඟ නැත​.   

යුද හමුදාවේ නවක වද  අතර ජ්‍යෙෂ්ඨයන් විසින් පහර දීම​, සිහිසන් නොමැති වන තුරු මත්පැන් බලෙන් පෙවීම​. හිස අසූචි පිරි කොමඩ් එකක ඔබා ෆ්ලශ් කිරීම​, හිසට හෙල්මටයක් පළඳා පොලු වලින් ගැසීම ( මෙමගින් මොලයේ රුධිර වහනය වීම් , දිගුකාලීන හිසරදය , පෞරුෂත්ව වෙනස්වීම් පවා සිදු විය හැකිය​) වැනි ක්‍රියා සිදුවීම රහසක් නොවේ.   

යුද හමුදාවේ නවක වදය නිසා අපතේ ගිය මිනිස් ශ්‍රමය , හමුදාවට අහිමි වූ මිනිස් සම්පත් , නවක වදය නිසා රෝගී වීම නිසා හමුදා රෝහල් වලට ප්‍රතිකාර සඳහා වියදම් වූ මුදල්  , වින්දිතයන් ගේ පවුල් වලට විඳින්නට සිදු වූ ගැහැට / වියදම් යනාදී වශයෙන් බොහෝ දුර්විපාක තිබේ. මේ නිසා යුද හමුදාවේ පරිපාලකයන්ට සහ  ආරක්‍ෂක අමාත්‍යවරයාට යුද හමුදාවේ පවතින නවක වදයට පූර්ණ ලෙස තිත තැබීමට කටයුතු කිරීමට ඥානය පහළ විය යුතුය​.   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress