මාර්තු මස 17 වෙනිදා හයිඩ් පිටියට පැමිණි ජනතාව දේශයට හඩ නගා කීවේ කුමක්ද?
Posted on March 20th, 2016

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

මෙවර ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට‌, පැමිණි අති විශාල ජනතාව, පවතින සමාජය විශාල දෙදරවීමකට ලක් කලහ. මේ රට පාලනය කරන, හා නොකරන බලවේගයන් දෙකම කම්පනය කල මෙම දෝංකාරය කුමක්දැයි, මෙරට දේශපාලකයා නිවැරදිව හදුනා ගත්තේද යන්න තවමත් පැහැදිලි නැත. මෙවන් තත්වයක් තුල, මේ පැමිණි ජනතාවගේ අභිලාෂයන් කුමක්දැයි සොයා යෑම සියලුම දේශපාලකයින් විසින්ම සිදුකල කටයුත්තකි. අප ඒ සම්බන්ධව අපේ දැක්ම කුමක්දැයි විමසා බලමු

වර්ෂ 2015 ජනවාරි මස 8 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පරාජය ලද මෙරට ජාතික බලවේගය, සිය සටන ආරම්භ කරන ලද්දේ, පරාජය ප්රකාශයට පත් කරන ලද මොහොතේ සිටය. මෙරට සිටින කෘතගුණ දත් ජනතාව වන්දනා ගමනක් යන ආකාරයට පෙල ගැසී සැදී පැහැදී මැදමුලන පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගියේ,

1.මහින්ද රාජපක්ෂ මහතා ලද පරාජය, එතුමාගේ පෞද්ගලික පරාජයක් නොව තමන්ගේද පරාජයක් ලෙස සලකා, පරාජයේ අමිහිරිකමේ තමන්ගේ කොටසට උරුම කම් කීමටය .

2.මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙරට ජනතාවට හා රටට සිදුකරන ලද එෙතිහාසික මෙහෙවර සම්බන්ධව තමන්ගේ කෘතගුණ සැලකීමටය.

3.පරාජය ප්රකාශ කල දවසේ සිට යලි සටන් කිරීම සදහා තමන් තුල ඇති අභිලාෂය හඩගා කීමටය.

  1. ඒ සදහා මහින‌්ද රාජපක්ෂ මහතාට නායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටීමටය.

මේ අනුව, මෙරට කෘතවේදී ජනතාව නොබියව ඔවුනට කල හැකි 1, 2, 3 යන කරුණු ඉටු කලද ,ඒ ජනතාව, මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කරන ලද 4 වෙන කරුණ සදහා ධනාත්මක ප්රතිචාරයක්, මහින්ද රාජපක්ෂ මහතාගෙන් නොලැබිණි. ඒ වනවිට මහින්ද රාජපක්ස මහතා දැඩිලෙස විශ්වාස කරන ලද්දේ, මෙරට ජනතාව චන්දයෙන් තමන්ව බලයෙන් පහකල බවත් එවන් සමාජයකට තවත් සේවය කිරීම තුලින් අත්වන්නේද එවන් කටුක අත්දැකීම්ය යන්නය. එම සිතුවිල්ල විසින් එතුමාව ජාතික සමාජ බලවේගයෙන් ඈත්කර දේශපාලනිකව දුර්වල කොට අනාරක්ෂිත තත්වයට පත්කිරීමට වෙර දැරුවද, ස්වභාවය විසින් ඊට ඉඩ දුන්නේ නැත.

මෙහිදී වඩාත්ම සැලකිල්ලට භාජනය කල යුතු කරුණ නම්, කිසිදු සංවිධානයකින් තොරව, පරාජිත ජනාධිපති අපේක්ෂකයකුගේ ගෙදරට මහා පෙරහැරකින් ගලා යන ජන ගගක් නිර්මාණය වීමය. මෙය සිදුකලේ කවුරුන්ද? කෙසේද? යන්න අවබෝධ කරගැනීම තරමක් අසීරුය. නමුත් නිවරදිව වටහා ගතයුතු ඉතාම වැදගත් සිද්ධියද මෙයයි. ජයග්රහකයා හඹාගොස් ලාභ අපේක්ෂාවෙන් ඔහු පසු පස යන සමාජයක්, ඒ තත්වයෙන් වෙනස්කර, පරාජිත අපේක්ෂකයා සොයා ගොස් ඔහු සමග කණගාටුව බුක්ති විදීමට තරම් උතුම් මිනිසුන් නිර්මාණය කලේ කවුද?. මේවා අහඹු සිදුවීම් නොවන අතර, ඒ “ධර්මය” විසින් ධර්මය රකින්නාව ආරක්ෂා කිරීමට නිර්මාණය කල සුවිශේෂී වටපිටාවන්ය. මේ ගොඩනැංවුන ජනතා බලවේගය විසින් මෙරට සතුරු බලවේග විසින් සැලසුම් කර තිබූ, ජාතික ඛේදවාචකයන් ගනනාවක්ම නවතාලන ලද්දේය. මහින්ද රාජපක්සයන්ට ලේ පිපාසිත සතුරා විසින් උරුම කිරීමට අපේක්ෂාකල ලිබියානු නායකයාට උරුම කල ආකාරයේ මරණය නවතාලන ලද්දේ මේ ජනතා බලවේගයන් විසින් සංවිධානය කරන ලද ඒ මහා ජන ගංගාව හේතුවෙණි.

මේ යුගයේ ශ්රී ලංකාව තුල ඇති බලවත්ම දේශපාලන චණ්ඩ මාරුතය මේ අප දකින මහජන ගංගාවන්ය. එය පවතින යහපාලනය කඩා සුනුවිසුනු කිරීම ඉලක්ක කරගත් ප්රවාහයකි. එයට අවශ්යවන්නේ, නිවැරදි දේශපාලන කළමනාකරණයයි. හැකි ඉක්මනින් විනාශ කලයුතු මේ රාජ්ය පාලනය, සැබෑ ලෙසම විනාශ කිරීමට උවමනාවක් මහින්ද රාජපක්ෂයන් තුලින් විද්යාමාන නොවිණි. ඔහු තුලින් අප දුටුවේ “අනේ මට දැන් පැත්තකට වෙලා ඉන්න ඉඩ දෙන්න” යන ඉල්ලීම වන අතර, ජාත්යන්තර හා ජාතික ප්රතිගාමිත්වයට ඔහුගේ ජීවිතය සමග සෙල්ලම් කිරීමේ දැඩි අවශ්යතාවයක් ඇත. ඔවුන් අපේක්ෂා කලේ,”ඇහැට ඇහක්, දතට දතක්” යන නීතිමය සංකල්පයට අනුබද්ධ වූ “මලකදකට මලකදක්” ය. ඔවුන් ඉල්ලා සිටින මේ මලකද ලබාගැනීමට ඇති එකම බාදකය වූ මේ ජන ප්රවාහය, පසුව “මහින්ද සුළග”නමින් නුගේගොඩින් නව ගමනක ආරම්භයක් සනිටුුහන් කලේය. මේ මහා ජන ප්රවාහය, එක හඩින් ඉල්ලා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාවය. මෙය ලෝකයේ පරාජිත නායකයකු ඉල්ලා උස් හඩින් පැන නැගුණ එකම, ජනඝෝෂාව වීම වැදගත්ය. ජනතාවට ශ්රී ලංකා නිදහස් පක්ෂයවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයවත් වැදගත් සාධකයක් නොවුන අතර, ඔවුන් ඉල්ලා සිටියේ තම සටනට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම පමණි. ජනතාව ඉල්ලා සිටි ආකාරට, මහා මැතිවරය සදහා වූ සටන ඉලක්ක කරගෙන මහින්ද රාජපක්ෂ මහතා සටන ආරම්භ කලහ. ඒ තමන්ගේ‌ අංක එකේ දේශපාලන සතුරාවූ, සන්ධානයේ නායකත්වය දරණ මෙෙත්රීපාල සිරිසේන මහතා යටතේය.  මේ සංසිද්ධිය කුමණ තර්කනයකට අනුව උචිතද මේ අවස්ථාවේදී සාකච්ඡා කලයුතුමය.

මහින්ද රාජපක්ෂ සුරැකීම හා එතුමාව යලි බලයෙහි පිහිටුවීම අරමුණු කරගෙන ආරම්භ කරපු “මහින්ද සුලග” මුලු රට පුරාම හමාගොස්, පසුව, මහින්ද රාජපක්ෂ මහතාව පසෙකලා, දේශපාලන අනාතයෙක් බවට පත්වීමට ආසන්නව සිටි ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතාව සවිබල ගන්වන ලද ප්රවාහයක් බවට නිර්මාණය වූයේ කෙසේද? යන්න අප පලමුව අධ්යනය කල යුතු දේශපාලන කර්තව්යයි.

ඇයි අපි මහින්ද සුලග මෙෙත්රීපාල ජනාධිපතිවරයාව ශක්තිමත් කලායයි කියන්නේ?

“මහින්ද සුළග” නියෝජනය කරන ලද්දේ, 2015 ජනවාරි මස 8 වෙනිදා මෙෙත්රීපාල සිරිසේන මහතාට එරෙහිව චන්දය පාවිච්චි කල ජනතාවගෙණි. මේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා වශයෙන් පත්කර යලි දේශපාලන වශයෙන් බලගැන්වීමේ අරමුණ සහිතව ගොඩනැංවුණ “මහින්ද සුලග”, කුමන ආකාරයකින් හෝ වැරදි උපදේශණයන් විසින් මෙෙත්රීපාල සිරිසේන මහතා නායකත්වය දරණ සන්ධානයේ ජයග්රහණය වෙනුවෙන්‌ මෙහෙයවන ලදී. “මහින්ද සුලග” පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාවද, මෙෙත්රීපාල සිරිසේන මහතාගේ සන්ධානය බලවත් කරලීම සදහා පාවිච්චි කල ආකාරය, එෙතිහාසික වශයෙන් සිදුවූ ඉතාම සැලසුම් සහගත කපටි දේශපාලන ක්රියාවලියයි. මේ ක්රියාවලිය විසින්,

1 මෙෙත්රීපාල සිරිසේන විරෝධී චන්ද මගින් මෙෙත්රීපාල සිරිසේන මහතාට පක්ෂ මන්ත්රීවරු පනස් ගනනක් නිර්මාණය කර දෙන ලදී.

2. තවද එය එතකින් නිමා නොවිණි. “මහින්ද සුලග” විසින් මැතිවරණයේදී, පරාජය කර, පලවා හරින ලද, මන්ත්රීවරුන්ව, මහින්ද සුලග නිසා ශක්තිමත් වූ ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවේ යලි පිහිටුවන ලදී.

තව කරුණු කාරණා ගනනාවක් තිබුණද මේ දෙකරුණ මත හිද ඔබට සිතීමට දහසක් දේ උපදී. මහින්ද සුලගේ නිමාව, 2015 අගෝස්තු මස 17 වෙනිදායින් නිමාවූ අතර, එතෙක් සිට හරියටම මාස 7 කට පසු එනම් 2016 මාර්තු මස 7 වෙනිදා යලිත් ජාතික බලවේගය එකමුතුව  යහපාලන රජයට එරෙහිව සිය තුන්වන දේශපාලන චාරිකාව අරඹා ඇත. මෙය යහපාලන දේශපාලකයින්ගේ විඩාව හා කාන්සිය නිවන තවත් “මහින්ද සුලගක්” විය යුතු නැත. එය මෙවර, “මහින්ද චණ්ඩමාරුතය”ක් විය යුතුය. එම චණ්ඩමාරුතයට අසුව ශ්රී ලංකා නිදහස් පක්ෂය විනාශවී ගොස්, රට, ජාතිය හා ආගම නම්වූ මාණික්යන් ඉස්මතු වන්නේ නම් “මහින්ද චණ්ඩමාරුතයේ” අරුත බල ගැන්වුවා වෙයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress