වදකහ සුදිය
Posted on June 17th, 2016

ධර්මන් වික්‍රමරත්න රිවිර සිකුරාදා පුවත්පත සදහා ධර්මන් වික්‍රමරත්න ලියනමුරගල තීරු ලිපිය – 154

අවසර! ඒ මෙරට වාමාංශික සහ ප්‍රගතිශීලි ව්‍යාපාර වෙනුවෙන් සිය මුළු ජීවිත කාලයම කැපකරමින් දිවියෙන් සමුගත් ජනතා විමුක්ති පෙරමුණේ 4වැනි නායකයාවූ සෝමවංශ අමරසිංහ සහ ශ්‍රිලනිප වෘත්තීය සමිති නායක අළෙවි මව්ලානාටද සුවහසක් ජනතාව වෙනුවෙන් කරන ලද මෙහෙවරට මුරගලේද ආචාරය පුද කිරීමටය. මේ දෙදෙනාම ජීවිතයෙන් සමුගන්නා විට මාතෘ භූමියේ ඒකීයභාවය සහ දෙමළ බෙදුම්වාදීන්ගේ හඬට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඒකායන අරමුණක් වෙනුවෙන් කටයුතු කල අය වෙති. ඉතිහාසයේ ඔවුහු අපට බොහෝ පාඩම් කියා දුන්හ. ආදර්ශ විදහාපෑය. කැපකිරීම් පෙන්වා දුන්හ. මෙසේ ආචාරය පුදකරන්නට හැකිවූයේ ඔබ දෙපලම ඇදුණේ, බැදුණේ පන්තියටම වීම නිසාය.

වදකහ සුදිය යනු සුක්ෂම සහ සටකපට ලෙස මහජනයා මුලාකොට නොමඟ යැවීමය. පත්තරයක්ද 1955 ජුනි 20වැනිදා ශ්‍රිලංකාවට පූර්ණ සූරග්‍රහණයක් දිස්වූ අවස්ථාවේදී ලස්සන වන්නටයැයි කියා ජනතාවට වදකහ පෙවූ අතර ඒවාබී පාඨකයෝ අවසානයේ රෝහල්ගත විය. මේවා ත්‍රාසජනක ප්‍රබන්ධයන්හි පිටපත්ය. යම් රටක අවිචාර අවධියක් පසු කරන විට බල්ලෝ සිනාසෙති. මී හරක් රජ වෙති. කොටියෝ සිල් ගනිති. සිංහයෝ සිඟා කති. බුරුවෝ රස්සාවල් කරති.

dharman17061601

ජාතික ඇදුම ඇන්ද එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ කටේ තිබ්බේ දුම්කොල පයිප්පයය. කිරිබත් කෑවේ ගෑරුප්පුවෙනි. දරුවන්වූ සුනේත්‍රා, චන්දිකා සහ අනුර වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ප්‍රංශයේ සෝබෝන් සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාල මගිනි. බණ්ඩාරනායකගේ එකම මුනුබුරා සහ මිණිබිරියද බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ අතර දැනටද ජීවත් වන්නේද බ්‍රිතාන්‍යයේය. මතුපිට පෙනෙන දෙය යථාර්තයනම් විද්‍යාවක් අවැසි නොවනු ඇත. මෙම සත්‍ය තේරුම් ගත යුතුය.

ආලපාලු මෙගා ප්‍රවෘත්තීන් යටතේ අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ රණවිරුවන්ට කියා බල්ලන් නෑවිම පිළිබඳවය. ඒ පිළිබඳවද පරික්ෂණ පැවැත්වෙන බවක්ද කියති. මේවා සිහිබුද්ධියක් නොමැති අයට ආතල් දෙන වැඩය. බිලියන ගණන් වටිනා රත්තරන් ටොන් 30ක් හොරකං කර ඇතැයි කියූ මාධ්‍ය සංදර්ශන දැන් බල්ලන් නෑවීමෙන් පල්ලං බසිනු පෙනේ. දේශපාලනයද බල්ලට යමින් පවතී. ‘යහපාලන’ ආණ්ඩුවේ වෙනුවෙන් පෙනි සිටින්නන්ට වර්තමානයේ ඇති දැවෙන ප්‍රශ්නය බල්ලන් නෑවිමය.

මෙයට පෙරද අරලිය ගහ මැදුරේ තිබූ ආනයනික සුපිරි වර්ගයේ බල්ලන් 43දෙනෙකට වායු සමීකරණය කල කූඩු තිබූ බවට ප්‍රචාරය කෙරිණි. එම සුනඛයින්ට සිදුවුයේ කුමක්දැයි අදටත් අභිරහසකි. බල්ලන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීමට ජනාධිපති කොමිසමක් වුවද පත්කලහොත් පවක් නැත.  ඒ බල්ලන් නෑවීම, කැවීම සහ සැලකීම පින්අතේ වැඩක් බැවිනි. අවශ්‍යනම් ඔඩෙල් නිර්මාතෘ ඔටාරා නෝනාගේ ස්වේච්ඡා සහාය වුවද ලබාගත හැකිය. මන්දිරයේ සිටි පෝනියන් අතුරුදහන් බව කීවද අවසානයේ සොයා ගත්තේ හෝමාගම පැත්තේ ගෙදරකිනි. එම පොනියන්ද පෞද්ගලිකව ඔහුට අයත්ය. නඩත්තු කිරීමේදී මහජන මුදල් කාබාසිනියා කළ බවට චෝදනා කරමින් අරලියගහ මැදුරේ තාප්පයේ තිබූ මල් පෝච්චි 45,000ක්ද ගලවා ඉවත්කර උද්භීද උද්‍යානයට යැවූ බව කීවේය. අවසානයේ මල්පැල මැරී පෝච්චි ටික අහකට විසිවිය. ඒවා දියත උයනේ තබා එක් රුපියල් 200ට හෝ අළෙවි කළේනම් එසේ ලැබෙන මිලියන 5ක පමණ මුදල මහා භාණ්ඩාගාරයට යොමුකර පසුව එම මුදලින් බල්ලන් නැවිමේ සෙන්ටර් එකක් වුවද ආරම්භ කිරිමට හැකියාව තිබිණි. ප්‍රතිඵල අත් දුටුවයි. සත්‍යයි.

‘යහපාලන’ ආණ්ඩුව වේදිකාවේ රඟ දැක්වෙන නාටකය නම් තමනට වාසි සහගත නොවන සියළු අවස්ථාවන්හීදි හුළු අත්ත වෙනත් දිසාවකට උපක්‍රමශීලීව තල්ලුකර ගිනි තැබීමය. කොලොන්නාව ඇතුළු ප්‍රදේශයන්හි මහා ගංවතුර, නැගෙනහිර මහ ඇමතිවරයා විසින් නැගෙනහිර සාම්පූර්හි නාවික ප්‍රධානියාට බැන වැදීමේ සිද්ධියෙන් යටපත් කළේය. ඇමතිවරුන් 30කට කෝටි 118ක ජනතා මුදලින් සැප වාහන ගැනීම යටපත් කලේ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගේ රිය අනතුරෙන් පසු කථාබහට ලක්වූ විජිතගේ කටෙන් වහනයවූ සුවඳට පින්සිදු වන්නටය. සාලාවේ අපරික්ෂාකාරි ලෙස ගොඩගසා තිබූ යුධ උපකරණ ගිනිගැනිමෙන් සිදුවූ බරපතල හානිය යටපත් කිරීමට පිටපොට ගසන්නේ රණවිරුවන් ලවා බල්ලන් නැහැවූ බව කියමිනි. මේවා හොරි කසන්නන්ට වර්තමානයේ ඇති දැවෙන ප්‍රශ්නයන්ය. කොහොමද ‘යහපාලනය’? කියා ප්‍රශ්ණයක් ඇසූ විට අති විශිෂ්ටයි සර් කියා රොත්ත පිටින් එක හඬින් කියන එහියන් සිටින ‘යහපාලනයකි’.

වසර ගණනාවකට පෙර විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බරපතල චෝදනාවක් ලැබුවේ බාල වයස්කාර මෙහෙකාරියක් දූෂණයකර ඇති බවය. අවසානයේ පොලිස් නිලධාරියාගේ මුළු දරු පවුලම සමාජයෙන් කොන්විය. ඔහුද රෝගාතුරව මිය ගියේය. සත්‍ය හෙළිවූයේ ඉනික්බිතිය. ඒ දැරියගේ පියා විසින්ම ඇය දූෂණය කර ඇති බවකි. පසුව සමාවද අයද සිටියේය. බොරුව සමාජ ගතකර තාවකාලික වින්දනයක් ලැබුවද අවසානයේ සියල්ල රටට පසක් විය. හිඟන්නාගේ තුවාලය කිසිදා සුව නොවන්නාක් මෙන් මෙගා හොරු නාටකය පුළුල් තිරමත වරින් වර රඟ දැක්වෙනුයේ ආණ්ඩුවේ වර්තමාන නොහැකියාව සහ අකාරක්ෂමතාවය වසාගැනීමටය. සියළු දෙනාම කැපකල යුත්තේ රටේ අනාගතය වෙනුවෙන් නොව ‘යහපාලන’ ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින්ගේ සැප විවරණය වෙනුවෙනි.

හමුදාව ලවා රේස් පැදීමට වැලි කොට්ට ගොඩගැසිම හෝ බල්ලන් නෑවීමෙන් රණවිරුවන්ගේ ගෞරවය නැතිවූ බවට ඇතමුන් චෝදනා කරති. විදේශීය නිරීක්ෂකයින් හමුදා කඳවුරුවලට පැමිණ සෝදිසි කිරීමද, විපක්ෂනායකවරයා කඳවුරුවලට පැමිණ ඩෙගා නැටීමද, ඇමරිකන් තානාපති ඉදිරියේ නැගෙනහිර මහඇමති වරයා විසින් නාවික ප්‍රධානියෙකුට ලුණු ඇඹුල් ඇතිව කථාකිරීම හමුවේ ඔවුන් සිටිනුයේ අඳ, ගොළු, බිහිරන් ලෙසය. බල්ලන් නෑවීම කෙසේවෙතත් සුනඛයින්ගේ සුභසාධනය සඳහා ආරක්ෂක අංශ මගින් වනාතමුල්ලේ ආරම්භකල සත්ව සායන මධ්‍යස්ථානයේ සේවයද අද අහිමි වෙමින් පවතී.

ඇමති 30කට කෝටි 118ක් වැය කරමින්  අරගෙන දෙන වාහන ගංවතුර සහ යුධ උපකරණ ගින්නෙන් හානිවු ජනයාට සහනදී නිමවන තෙක් හකුලා ගන්නා බව කීවද එය සිදුවී නැත. ඉකුත් ඉරිදා ආණ්ඩුවට සම්බන්ධ ඉංග්‍රීසි පුවත්පතක් කියා තිබුණේ ඇමති රොත්තට වාහන ගැනිමේ මුදල් භාණ්ඩාගාරයෙන් දැනටමත් නිදහස්කර ඇති බවකි. රජයේ ආයතන දේශපාලනීයකරණය විසින් මුළුමනින් බිලිගනිමින් පවතී. ‘යහපාලන’ ආණ්ඩුව යටතේ වනජීවි අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත්වූ තෙවැන්නා වන ආචාර්ය සුමිත් පිලපිටියද ඉකුත්දා ඉල්ලා අස් විය. ආචාර්ය පිලපිටිය යනු වනජීවි විෂය පිළිබඳව දැනුමක් ඇති විශේඥඥයෙකි. එවැනි අයෙකුට වුවද වැඩක් කරන්නට ඉඩ නොදේ. මහාමාර්ග අමාත්‍යාංශයට ඇමති උපදේශකයින් 94කි. වසරකට වැය වන මුදල කෝටි ගණනකි. යහපාලනය තිතට වැඩය.  තිත්ත වුනත් ඇත්ත ඒකය.

මුළු ශ්‍රිලනිපයම එරෙහි වූවද එජාපයට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙන විට විශ්වාස භංගයක් පරාජයවීම නොදන්නවා නොවේ. විශ්වාස භංගයේ අරමුණ ආණ්ඩුවට එරෙහිව මතයක් ගොඩනැගීමය. එමගින් වරදානවලට ගිජුව ශ්‍රිලනිප පාක්ෂිකයන්ගේ ප්‍රතිපත්ති පාවාදෙන ඔවුන්ගේ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයින් නිරාවරණය විය. විශ්වාසභංගයෙන් ජයගත් මුදල් ඇමති රවි කරුණානායක දැන් ෆුල් මාවලස්ය. මල් මාලය දමන්නේද රුපියල් 5,000 කොල වලිනි. ආයෙත් මිනිසුන් රවට්ටන්න බෑ අමතකද කියා මුදල් අමාත්‍යාංශය මගින් කෝටි ගණන් වැයකර දැන්වීම් දැමුවද ඒවායේ එදා 2014 මිල ගණන් සාවද්‍යය. පරිප්පු කිලෝ එකක් එදා තිබුණේ 140ටය. අද 160කි. හාල් කිලෝවක් එදා රුපියල් 55කි. අද 80කි. පොල්ගෙඩියක් එදා රුපියල් 45කි. අද 55කි. සීනි කිලෝවක් එදා රුපියල් 105කි. දැන් 125කි. එදා අර්තාපල් කිලෝවක් 90කි. මෙදා 120කි. එදා 160ක් වූ ටින්මාළු පමණක් මෙදා 135ක් පමණ සැබෑය. එහෙත් එම සැමන් මාළු කෑමට ප්‍රියක් උපදවනු නොලැබේ. හොද සැමන්ටින් එකක් නම් රුපියල් 200ක් පමණ වේ. එළවළු මිල හහුතෙට නැගලාය. බීට්රෑට් කිලෝව 200කි, කැරට් කිලෝව 300කි. සිමෙන්ති මිල රුපියල් 60කින් ඉහළටය. මේ විදිහට යනවිට උසුලාගෙන සිටීමේ බද්දක්ද ගහන්නට බැරි නැත.

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩාව පුපුරා යාමෙන් ආපදාවන්ට පත්වූවන්ට මසකට රුපියල් 50,000 බැගින් මාස 3ක් වන්දිය ලබාදෙන්නේ අදාල නිවස බිමට සමතලාවූවොත් පමණි. මේවා අර්ධ හානියට පත් නිවෙස්වලටද දිය යුතුය. එමෙන්ම ජීවනෝපාය අහිමිවූ රැකවරණය අහිමිවූ සියල්ලන්ටම වන්දි ලබාදීමේ වැඩසටහනක් සැකසිය යුතුය.

පාසැල් සිසුන්ට දශක දෙකක් තිස්සේ නොමිලේ දුන් සුදු රෙද්ද වෙනුවට මුදල් වවුචරයක් ආදේශ කළේය. ඔවුහු ඉන් ලඝු කළේ දැයේ දූ දරුවන්ට ඉගෙන ගැනීමට ධෛර්යය දුන් බලාපොරොත්තුවය. නැතිකළේ පාසැල් දරුවන්ගේ සිත්වල පිපුණු අහිංසක සතුටය. සැබෑ නිදහස් අධ්‍යාපනය උදෙසා අයවැයෙන් වෙන්කරන මුදලින් සියයට 6ක් ලබා ගැනීමේ ප්‍රයත්නය ගැන කිසිවෙකුත් කථා නැත. එය ඩේටා කාඩ් එකෙන් ඉතිරි රුපියල් 2 ලබාගැනීමේ අරගලය දක්වා දැන් පසුබැස ඇත.

ශිෂ්‍ය මර්ධනයද කිසිදා සිදු නොවූ අයුරින් උත්සන්න වෙමින් පවතී. එදා ගෝනවල සුනිල්ගේ මැර පාලනයට යටවූ කැලණි සරසවියෙන් වර්තමානයේද එවැනි තත්ත්වයක් දිස්වේ. මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට පැමිණි කැලණි සරසවි සිසුන්ගේ පා ගමනක් නතර කිරීමට අධිකරණ නියෝගයක් රැගෙන ආ පොලිසිය එයට සති දෙකකට පෙර ජවිපෙ පා ගමනක් එම ස්ථානයේම පවත්වන විට ඒ සඳහා කිසිදු අවහිරයක් කළේ නැත. කැලණි සරසවි සිසුන් 2ක් අත්අඩංගුවට ගෙන උසාවියටද ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය. අලි පැටවුන් හොරට තබාගෙන සිටි බවට මහේස්ත්‍රාත්වරුන්ට පවා නඩු දමන රටක කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චිගේ අලියාටනම් ‘යහපාලන’ සරණය. හිටපු ඇමති කෙහෙලිය රුපියල් කෝටි 2 මහජන 2013 සැප්තැම්බර් අවභාවිතා කර ඇති බවට චෝදනා කරන ආණ්ඩුව හිටපු අගමැති දි.මූ ජයරත්න එම කාලයේදී මහාභාරකාර දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ 220ක් සිංගප්පූරුවට ගොස් ප්‍රතිකාර ගැනීම සඳහා වැයකිරීම පිළිබඳව හාහූවක් නැත. එයට හේතුව දි.මු ජයරත්නගේ පුතා අනුරාධ ‘යහපාලන’ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු සහ දි.මු එම ආණ්ඩුවේම උපදේශකයෙකු වීමය. 

එක අතකින් ගංවතුර බියය. තවත් පසක ගිනි බියය. අනෙක් පස හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය බියය. දැන් දකිමින් පවතින්නේ මහල්ලෙක්, ලෙඩෙක් සහ මළ කඳක් යන පෙරනිමිතිය. කේතුමතී නුවරක සිරි අසිරිය වෙනුවට දක්නට ඇත්තේ විශාලා මහනුවරක පෙරනිමිතිය. වදකහ සුදිය එහිදි රටක් වටින්නේය.  

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

2 Responses to “වදකහ සුදිය”

  1. Neel Says:

    According to the information I have, Mr Hendry Wickramasinghe had arranged comrade Amarasinghe to be taken to India by boat. Mr Wickramasinghe had also arranged travel visas for his family members to be flown to Bombay, and personally accompanied them from Bombay to Kerala so that the Amarasinghe family could remain together.

    For this, 47 individuals including Mr Wickramasinghe had been held in custody for prolonged periods of time and interrogated. Without the assistance of Mr Wickramasinghe, comrade Amarasinghe would not have survived to see the day. Comrade Amarasinghe had been in exile, until he came back to visit the country in the mid-2000s. Yet after his coming back to Sri Lanka from exile, he had completely forgotten the services Mr Wickramasinghe had rendered to him and his family.

    – Lionel Bopage

  2. Christie Says:

    Well well well, JVP the Sinhala terrorist arm of the Indian Empire. JVP killed unarmed innocent Sinhalese. India helped the leaders and funds were provided from Indian colonial parasites in the island, mainly Colombo merchants.

    If Bopage is reading this he knows well that what Indian Empire means.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress