මැලේවරුන්ගේ වතගොත ප්‍රථමවරට ගෙනාආ ‘මැලේවරුන්ගේ අභිමානය’
Posted on July 7th, 2016

ධර්මන් වික්‍රමරත්න

ග්‍රන්ථය : මැලේවරුන්ගේ අභිමානය

කෘර්තෘ : එඩ්වඩ් චන්ද්‍රසිරි

සිංහල රජ දවස දක්වා ඉතිහාසය දික්වන ශ්‍රී ලංකීය මැලේවරුන් 75,000කගේ අභිමානය ගෙන එන ග්‍රන්ථයක් ඉකුත්දා නිකුත් කෙරිණි. නාට්‍යවේදී එච්වඩ් චන්ද්‍රසිරි විසින් ප්‍රශස්ත මට්ටමින් රචනා කරන ලද මැලේවරුන්ගේ අභිමානය පිළිබඳ කෘතිය ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් රචනාවූ ප්‍රථම ග්‍රන්ථයද වේ.

මැලේ හෙවත් ජා ජාතිකයන් ඔවුන්ගේ භාෂාව සහ සංස්කෘතිය ලාංකීය ජන ජීවිතය වෙත කාන්දුවූ ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක්ද පෙර රජ දවස පටන් වත්මන දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ මැලේවරුන්ගේ පුරාවෘත්තියද එඩ්වඩ් චන්ද්‍රසිරි මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත්කර තිබේ. රබාන වැනි තූර්ය වාදන භාණ්ඩද, ඔරුව, පාරුව වැනි යත්‍රා නාමද රඹුටන්, දූරියන් වැනි පළතුරුද බාබත්, මනිපිට්ටු, වටලප්පන්, නාසිගෝරෙං, මැලේ පිකල් වැනි ආහාරද හම්බන්තොට, ජාවත්ත, ජාඇල වැනි ප්‍රදේශ නාමවලද පාරම්පරික උරුමක්කාරයෝ මැලේවරුන්ය. නිදසුනක් ලෙස නාසිගෝරෙං යන්නෙහි නාසි වචනයේ මැලේ අර්ථය බත්ය. ගෝරෙං යනු බදින ලද අර්ථයයි. ඒ අනුව නාසිගෝරෙං යන්නෙහි අර්ථය ‘ෆ්‍රයිඩ් රයිස්ය’. නාසිගුරාං ලෙස ජනවහරයේ පවතින්නේ එයට හදුන්වන සාවද්‍ය යෙදුමකි. මෙවැනි නිදසුන් රැසක් මෙහි දැක්වේ.

Edwardjayasiri

වසර 30ක ලේඛන දිවියේ සිනහ කථා සංග්‍රහ සහ චරිත කථා කිහිපයක් පමණක් ලියා ඇති එඩ්වඩ් චන්ද්‍රසිරිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ මැලේවරුන්ගේ ඉතිහාසය සිංහල ග්‍රන්ථයකට ගොනු කිරීමේ යෝජනාව බලපෑමට එක් හේතුවක් වූයේ 2006 පැවති ‘’රස සායං’’ නැමති මැලේ සංස්කෘතික උළෙලට සහභාගිවීම හේතුවෙනි. පෙර රජ දවස යුධ පිණිස පැමිණි මැලේ රජවරුන් ගෙන් ඇරඹි ශ්‍රී ලංකික මැලේවරුන්ට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර උසස් සංස්කෘතියකටද හිමිකම් කියනු ලබයි. මැලේ යනු මුස්ලීම් ජාතිකයින් නොවන බවද මුස්ලිම්වරුන් ලෙස හදුන්වන්නේ යෝනකවරුන් බවද මෙම ග්‍රන්ථය කියාපායි. කාලිංග මාඝ මැලේ කුමාරයෙක් වන අතර චන්ද්‍රානුනම් කුමාරයෙක්ද මැලේ රටින් මෙහි පැමිණ වසර 40ක් යාපනය පාලනය කර පරාජයට පත්විය. චන්ද්‍රභානුට ජීවිතය අහිමි විය. ඇතැම් රජවරුන් මැලේ කුමාරිකාවන්ද විවාහ කර ගත්හ. නිශ්ශංක මල්ල රජුද එසේ මෙරටට පැමිණි කුමාරයෙක් බව ග්‍රන්ථයේ සඳහන්ය.

malaybook

වර්තමානයේ ශ්‍රි ලංකාවේ මුතුන් මිත්තන් සේ සැලකෙන මැලේවරුන් මෙහි පැමිණියේ ලන්දේසි යුගයේ වන අතර ඔවුන් තහවුරු වූයේ බ්‍රිතාන්‍ය යුගයේදීය. එම තොරතුරු මෙන්ම මැලේවරුන්ගේ භාෂාව සහ සාහිත්‍ය, ඔවුනට අනන්‍යවූ නිපුණතා, මැලේ ජන සමාජයේ ආගමික ප්‍රබෝධය, මැලේ සමාජ සංවිධාන, විවිධ ක්ෂේත්‍රයන්හි ඉස්මතුවන මැලේවරුන් වැනිදෑ මෙම ග්‍රන්ථයට ඇතුලත්ය.

නාට්‍ය ක්ෂේත්‍රයට ලැදි එම ක්ෂේත්‍රයේ සීමාමායිම් අතර නිරතුරුව හැසිරෙන එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් ඉතිහාසමය කාරණා කෙරෙහි මැදිහත්වන බොහෝ උදවිය ජාතින් අතර පැවතිය යුතු සහ වර්ධනය විය යුතු සංහිඳයාව අරබයා දක්වන අඩු සැලකිල්ලට නිසි පිළිතුරක් මෙමගින් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ වාසය කරන කවර ජාතියක් වුවද සුළු ජාතියක් වශයෙන් නොව අන්‍ය ජාතින් ලෙස හැදින්වීම වඩාත් නිවැරදි බව කතුවරයා අවධාරණය කර තිබේ. මැලේවරුන් පිළිබඳව වසර කිහිපයක් කරන ලද පර්යේෂණයන් ඇසුරු කරමින් ලාංකීය මැලේවරුන්ගේ අභිමානයට හේතුකාරක වූ තොරතුරු මෙහි විස්තරාත්මකව දක්වා ඇත.

දේශපාලනය, කලාව, ක්‍රීඩා, ආරක්ෂක අංශ ඇතුළු විවිධ අංශවලට ශ්‍රී ලංකාව තුළ මැලේවරුන්ගේ සෘජු දායකත්වයක් තිබී ඇති අතර ලංකාවේ පළමු රණවිරුවා ලෙස සැළකෙන සඛාන්ද, ටී.බී ජයා වැනි දේශපාලඥයින්ද, ෆරීනා ලායි, හරුන් ලන්ත්‍රා, ජී.එස්.බී රාණි, ටෝනි හසන්, වර්තමානයේ ගායිකා උමාරියා සිංහවංශා වැනි අය ඒ අතරින් කිහිප දෙනෙකි. බොම්බායේ සිට 1936දී පමණ සරලා බායි ස්ත්‍රියක ලෙස වෙස් ගැනීමෙන් පසු ජනකාන්ත නිලි රුක්මනී දේවියට බෙහෙවින් සමාන බව ග්‍රන්ථයේ සඳහන්ය. ප්‍රසිද්ධ ස්ථානයන්හි සරලා බායි ඇදි සිටියේ සුදු කෝට් එකක්, සුදු කමිසයක් සහ සුදු සරමක් යන පිරිමි ඇදුම් කට්ටලයකින් බව මෙහි සඳහන් කරන්නේ එම ශිල්පියාට කරන ලගු කිරීමක් සේ නොවේ. ටී.බී ජයාගෙන් ඇරඹුණු මැලේ දේශපාලන පරම්පරාවේ මෑත අතීතයේ කථාබහට ලක්වූ චරිතය වූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් 2000දී ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ අන්ජාන් උම්මාය.

අසූවේ ජුලි වැඩවර්ජකයෙකුවූ කතුවර එඩ්වඩ් චන්ද්‍රසිරි වාම ක්‍රියාකාරිකයෙකුවූ එම්රාන් ඩීන් හමුවීමෙන් පසු ඔහු හා නිරන්තරයෙන් කල කථා බහෙන් මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනයේ වැදගත්කම අවබෝධකරගෙන තිබේ. පැහැදිලිවම මෙය දුෂ්කර ව්‍යායාමක් බව කිව යුතුය. මැලේවරුන් මෙහි පැමිණීම, ඔවුන්ගේ භාෂාව සහ සාහිත්‍ය, මැලේවරුන්ගේ සමාජ සංවිධාන ඇතුළු කරුණු ගණනාවක් සාර්ථකව මෙහි දක්වා ඇත. ශ්‍රි ලංකා මැලේවරුන්ගේ ඉතිහාසය ඇරඹෙන්නේ ක්‍රි.ව 6වැනි සියවසේ සිට බව වූවද ග්‍රන්ථය කියවීමෙන් එහි ඓතිහාසික වෘතාන්ත අධ්‍යයනයෙන් සැබෑ තතු මැනවින් අවබෝධ වේ. ඉපැරණි යුගයක සිට අභිමානවත් පෞඬ ඉතිහාසයකට නෑකම් කියන මැලේවරුන් ඔවුනටම අවේණික ජාතිකත්වයක් සහ උසස් සංස්කෘතික රටාවක් උරුමකරගත් මානව වර්ගයක් බව ග්‍රන්ථය අවධාරණය කරයි.

පිටු 410ක් පුරා දිවෙන එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් රචිත මැලේවරුන්ගේ අභිමානය නම් කෘතිය ශ්‍රි ලංකීය මැලේ ප්‍රජා සංවිධානයේ ප්‍රකාශනයක් වන අතර ඒ පිළිබඳ විස්තර 071-4129943 අංකයට ඇමතීමෙන් විමසිය හැකිය. ශ්‍රී ලංකාවේ අන්‍ය ජාතීන් පිළිබඳව හෝ මැලේ ජාතිකයන් පිළිබඳව ගවේෂණය කරන විද්‍යාර්ථියකුට හෝ ඒ පිළිබදව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මැලේවරුන්ගේ අභිමානය පිළිබඳ ග්‍රන්ථය මහඟු අත්පොතකි.

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

2 Responses to “මැලේවරුන්ගේ වතගොත ප්‍රථමවරට ගෙනාආ ‘මැලේවරුන්ගේ අභිමානය’”

  1. Hiranthe Says:

    Well-done!!

    they are peace loving people.

  2. S.Gonsal Says:

    රාජසිංහ රජුගේ නෑයෝ ලංකාවට පැමිණේ – දේපළ වලටත් අයිතිවාසිකම් කියති

    ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් කීර්ති ශ‍්‍රී රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසමින් මහනුවර ලෝක උරුම නගරයේ ඇති සෙල්වර් විනායගර් කෝවිල සහ එයට අයත් දේපල අත්පත් කරගැනීමට උත්සාහ දරන බව පළාත් සභා මංත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා මධ්‍යම පලාත් සභා රැස්වීමේදී අද (05) අනාවරණය කළේය.
    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඞී.නිමලසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පල්ලේකැළේ පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී අද (05) මධ්‍යම පළාත් සභා රැස්වීම ආරම්භ වූ අතර එහිදී වැඩිදුරටත් මංත‍්‍රී වරයා සඳහන් කළේ මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත්වීමට එක් හේතුවක් වන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිල බවයි. ලෝක උරුම මහනුවර නගරයේ ඇති විශාලතම කෝවිල සෙල්වර් විනායගර් කෝවිල බවත් එහි දේපල වලට මේ වන විට විශාල තර්ඡනයක් ඇති වෙමින් පවතින බවද මංත‍්‍රී වරයා කීය. මෙම කෝවිල 1675 වසරේ දී කීර්ති ශ‍්‍රී රාඡසිංහ රඡතුමා විසින් ඉදිකරන ලද කෝවිලක් වන අතර එදා අක්කර අටක් පමණ මෙම කෝවිලට තිබුණත් මෙම කෝවිලට අද ඒ ඉඩම් අහිමි වී ඇතැයිද පැවසීය. අද එම කෝවිලේ ඇතැම් දේපල සමහරු බලෙන් අල්ලාගෙන සිටින නිසා ඒවායින් කිසිදු ආදායමක් මෙම කෝවිලට නොලැබෙන අතර මෙම කෝවිලත් ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසක් අත්පත් කරගැනීමට යන බව පැවසීය.
    මහනුවර ඇසළ පෙරහැර අවසානයේ දිය කැපීමෙන් පසු එම ඡල බඳුණ තැන්පත් කරන්නේ මෙම සෙල්වර් විනායගර් කෝවිලේ බව මංත‍්‍රි වරයා පෙන්වා දුන්නේය. අතීතයේ සිට දළඳා පෙරහැරත් සමග සමීප සබඳතා පවත්වා තිබෙන මෙම කෝවිල කීර්ති ශ‍්‍රි රාඡසිංහ රඡුුගේ ඥාතින් බව පවසන පිරිසක් ඉන්දියාවේ සිට පැමිණ මෙම කෝවිල සහ එහි දේපල අත්පත් කරගැනීමට සුදානම් වන බවට ආරංචි පැතිර යන බවද මංත‍්‍රි වරයා පැවසීය. මධ්‍යම පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වරයා ඇතුලූ සියලූ දෙනා එක්ව මෙම කෝවිල ආරක්ෂා කරගත යුතු බවද මංත‍්‍රි වරයා සඳහන් කළේය. ලෝක උරුම මහනුවර නගරයේ ඇති මෙම කෝවිල පූඡා භූමියක් ලෙස 2002 වසරේ ඔක්තෝම්බර් මස 08 වන දින නම් කර ඇති බවත් ඒ සඳහා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇතැයි මංත‍්‍රී වරයා සඳහන් කළේය. මධ්‍යම පළාතේ ආගමික සහඡීවනය ඇති කිරිමට වැදගත් වන සිද්ධස්ථානයක් වන මෙම කෝවිල අප සියලූ දෙනා එක්ව ආරක්ෂා කරගත යුතු යැයි මංත‍්‍රි වරයා සඳහන් කළේය.

    ගයා වන්නිආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress