අංදොගෙ බේගල්
Posted on September 9th, 2016

ධර්මන් වික්‍රමරත්න

වත්මන් දේශපාලන වටපිටාව පුවත් මවන මැෂිමකි. හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතනයේ නඩුවේ සැකකරුවන්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට අධිකරණයෙන් ඊයේ මරණ දඩුවම්ය. ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය වැඩිදුර පරික්ෂණ සඳහා ලබන 27වැනිදා යළි ගොඩගන්නවාය. ඒ අතරතුර එජාපයට 70කි. ශ්‍රිලනිපයට 65කි. සීගිරි ගලෙහි, සමනොළ කන්දේ සහ සිංහරාජයේ හැර රටපුරාම ‘යහපාලන’ කටවුට්ය. මහරින් කුරුණෑගල සමුළුවට ගිය තරුණියකට බීමත් පාක්ෂිකයන් ගෙන් ප්‍රහාරයන්ය.

තාජුඩීන් ඝාතනයේදී ඉදිරිපත්කල සීසීටීවී දත්ත අපැහැදිලි බැවින් නිගමනයක් ගැනීමට අපහසු බව කැනඩා තක්ෂණ ආයතනය උසාවියට දැනුම්දී තිබේ. නමුත් ‘යහපාලන’ ඇත්තෝ තාජුඩින් ඝාතනය ගැන අකුරක් නෑර කීවේ සිසිටීවි එකේ තිබුණායැයි කියාය. මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ අංදොගෙ බේගල්වල වූ අහිංසක ගැමි සුවද මෙම ‘යහපාලන’ බේගල් තුළ නැත. ඒවායේ ඇත්තේ පිළුණු ගදකි. පල් ගඳකි. මුලිකව ඉස්මතු වන්නේ වෛරයෙන් ඔද වැඩීගිය සහ දෙමළ බෙදුම්වාදීන් සතුටු කරන ලෝකය කා වතුර බීපු අයගේ බේගල් ගඳක් පමණි. මේවා උද්ධච්ච උපහාසාත්මක ගජබින්නාලංකාර කථාය. අදහස් පළකිරීමට නිදහස ඇතත් ආණ්ඩුකරන ඇත්තෝ ඒවා වගකීමකින් ප්‍රකාශ කිරීම රටට වැඩදායකය. නැතහොත් සිදුවන්නේ තම අඥාණකම් එළිපිට ප්‍රදර්ශනය කිරීම පමණි.

dharman09091601

නීතියද කැලෑ වදිමින් පවතී. නිතියේ කන්‍යාවිය මාතෘ සායනයට යන අතරතුර ඇය කන්‍යාවියක් බව පිලිගන්නා ලෙසට සමාජයට බලකරමින් සිටී. බොරු නඩු පැටලීම කලාවක් නම් ‘යහපාලන’ ආණ්ඩුව එහි පිකාසෝය. දෙමළ බෙදුම්වාදින්ට අපමණ අගයක්ය. විරුවනට කෙලවෙන යුගයක්ය. බෑන් කී මුන්ද මේ වැඩවලින්  චූන් වන්නට ඇත.

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදින්ට එරෙහිව තීරණාත්මක යුද්ධය ක්‍රියාත්මක කරනවිට එජාපය කියාසිටියේ කිලිනොච්චිය කියා මැදවච්චියට ගිය බවද, අලිමංකඩ යනවා කියා පාමංකඩ යන බවක්ය. තොප්පිගල කැලෑවක් බවය. මුලතිව්වලදී හොද කෑමක් කන බවය. යුද්ධ කරන්නට ඕන ගොනෙකුටද කලහැකි බවය. ඊයේ පෙරේදා එළිදැක්වු විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ කොටි සංවිධානය පරාජයේ සත්‍ය කථාව ග්‍රන්ථයෙන් මේවාට හොඳ පිළිතුරක් දී ඇත. එම ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ යුධ ජයග්‍රහණයේ සැබෑ නියමුවන්වු පස්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟින් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. යුද්ධයේ ජයග්‍රහණයෙන් හතරෙන් තුනක් තමා කලායැයි කියන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ  සහ කරුණා අම්මාන් කඩා යුද්ධය දින්නායැයි කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ කථා දැන් හරියට අංකුරාගේ කැලෑසියේදී කබරගොයා, තලගොයා බවට නොව කුරුළුගොයා බවට පත්වීමකි. 

dharman0909162

බ්‍රිතන්‍යයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රිස් නෝනිස්ට වරෙක බලපිටිය ශ්‍රිලනිප සංවිධායක සහ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇමරිකාවේදි පහර දුන්නේය. එන්.ජී.ඕ පුරවැසි නඩයන්ද පෙරටු කරගෙන ජවිපෙ එයට එරෙහිව අවි අමෝරා ගත්තේය. මැලේසියාවේ සිටින මුස්ලීම් ජාතිකයෙකුවූ ශ්‍රී ලංකා තානාපතිට දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිකයෝ ඉකුත් සතියේ හොදටම පහර දුන්හ.  එදා කෑගැසූ අය දැන් නෝ කථාය. දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වෙනුවෙන් හඬනඟන සංවිධාන යුද්ධයෙන් බැටකෑ දකුණේ වින්දිතයන් ගැන සොයා බැලීමක් නැත. උතුරේ බුදු පිළිම කැඩෙනවාය. මහින්ද රාජපක්ෂ පන්සල් යනකොට ඇරෙන කටවල් ඒවාටද නිහඬය. ජෝතිෂ්‍ය අනාවැකි කියූ විජිත රෝහණ විජේමුණි ගෙන් දැන් කට උත්තරය. ඉන්දික තොටවත්තට මෝ සිනාය. එදා රජගෙදර පිනුම් ගැසූ ගාල්ලේ ආචාරියා නෝ හෙල්ලුම්ය. ගිරිතලේ සහ අබතලේ දෙකම ගියත් චන්ද්‍රසිරි බණ්ඩාර, මංජුල පීරිස් වැන්නෝ තවමත් අධ්‍යාත්ම ගාඩ්ලාය.

dharman0909163

මාලඹේ පෞද්ගලික වෙද විදුහල සම්බන්ධයෙන් රජයේ ඉඹලා පිළිගැනීමේ ස්ථාවරය ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල දැන් පහදාදී තිබේ. සමස්ථ සරසවි සිසුන්ගේ ඉල්ලීමවී ඇත්තේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කලාක් මෙන් මාලඹේ සයිටම්ද ජනසතු කරන ලෙසය. මාලඹේ සයිටම් සිසුහු පවසන්නේ අපොස උසස් පෙළ විභාගයෙන් තමන් ඉහළින්ම ලකුණු ලබාගෙන රජයේ වෛද්‍ය පීඨයන්ට නොතේරුණු නිසා මෙයට මුදල් දී එක්වූ බවය. එහෙත් තිත්ත ඇත්ත එය නොවේ. මාලඹේ සයිටම් සුළු පිරිසක් එසේ ලකුණු ලබාගෙන තිබුණද බහුතරයක් කළු සල්ලි සුදු කිරීමේ දෙමාපියන්ගේ දූ දරුවන් බවට චෝදනාවකි. සයිටම් ආයතනය සිදුකල යුත්තේ තමන් තෝරාගත් සමස්ථ සිසුවන්ගේ දිස්ත්‍රික් මට්ටමින් ලකුණු සහ විභාග අංක ප්‍රකාශයට පත්කිරීමය.

dharman0909164

සයිටම් විරෝධී සිසු අරගලය මේ වනවිට වසර 8ක නොනවතින සිසු අරගලයකි. වෛද්‍ය පීඨ එකතු වෙමින්, දැවැන්ත පා ගමන් යමින්, වෛද්‍යවරුන්ගේ විරෝධතා ගොනු කරමින්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සමඟ එකට එක්වෙමින්, දෙමාපියන්ගේද ආශිර්වාදය ලබමින් කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර හමුවේ නොසැලී ඉදිරියට ඇදෙන්නකි. මෙයට වසර 30කට පෙර රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු වූයේ අවසානයේ පේරාදෙණිය, කොළඹ සහ රුහුණු කරාපිටියේ වෛද්‍ය සිසුන් 33ක් ජීවිත රටට අහිමිකර ගනිමිනි. සරසවි සිසුනට අපමණ අගයක් දෙමින් එලව එලවා පහරදීම සයිටම් ප්‍රශ්නයට විසදුමක් නොවේ. අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ජිවිත වනසන, සයිටම් එපාය. සයිටම් වෙනුවෙන් පෙනී සිටින ‘යහපාලන’ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැරදිය යුතුමය

යුනෙස්කෝ ලෝක උරුමයක්වූ සීගිරියේ කුරුටු ගී, කුරුටු ගා, හිරේ ගිය මඩකලපුවේ දෙමළ තරුණියවූ සික්කණ්නාඩි සින්නතම්බි ජනපති සමාව යටතේ නිදහස්ය. නැගෙනහිර මහඇමතිගෙන් ඇයට දැන් වෙන්කලාඩි ප්‍රාදේශීය සභාවේ රැකියාවක්ද ලබාදී තිබේ. ජනපති වෙබ් අඩවිය අවුල් කළ සිසුවාට ජනපතිගේ කරුණාව ලැබීම හොදය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්ත්‍රවාදියෙකු 1998 පේදුරු තුඩුවේදී අත්අඩංගුවෙන් පැනයෑමේදී වෙඩිතබා ඝාතනය කිරීමේ ‘වරදට’ විශ්‍රාමික හමුදා මේජර් විමල් වික්‍රමගේට අත්හිටවූ සිරදඬුවම් සමඟ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 20ක දඩයකි. රටට අදරැති ජනයාගේ ප්‍රධාන සතුරා බටහිර යටත්විජිතවාදයයි. දෙමළ බෙදුම්වාදී ජාතිවාදය එහි එක් විනාශකාරි මෙවලමක් පමණි. සංහිඳියාව යනු දකුණට මන්ත්‍රයක් මෙන් මතුරන උතුරට තහනම් වචනයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය වැනි සංවර්ධන වැඩසටහන් තුළින් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූ දෑ වර්තමානයේ සිදුනොවන අතර දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමට සෘජුව සහ වක්‍රව සහාය දෙන දෑ අපූරුවට සිදුවේ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට ලන්සු කිරීමට කටයුතු කෙරේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයද ඈවරයි දෑවරයිය. තහනම් කල ග්ලිෆොසෙට් හොර පාරෙන් තොග පිටින් වෙළඳ පොළේය. ඖෂධ මිල අඩුකිරීම සඳහා නීති ගැසට් මගින් තවමත් ප්‍රකාශයට පත්කර නැත. මහා පරිමාන සහල් වංචාවකට චෝදනා ලැබූ රිෂාඩ් බදුර්දීන් ‘යහපාලන’ නීතියට සහ සදාචාරයට පටහැනිව තවමත් ඇමති තනතුරේය. කටුනායක ගුවන්තොටුපොලද දැන් ජාත්‍යන්තර වර්ගීකරණයෙන් ඩවුන් ද පල්ලම්ය. අලුතින් ඉදිවූ මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩාකර කාලකන්නි සතුටක් ලැබුවේය. අවසාන ප්‍රතිඵලය ඇමති පී හැරිසන් දැන් වී හැරිසන් වීමය. 

මෙරට කාන්තාවන් මධ්‍යසාර වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය 2014දී සියයට 1.2ක්වූ අතර එය මේවන විට සියයට 2.4ක් දක්වා වැඩිවී ඇති බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඉකුත්දා ප්‍රකාශ කළේය. මෙරට ඒක පුද්ගල මධ්‍යසාර භාවිතය ලීටර් 3.5ක් වෙද්දී බටහිර රටවලට වඩා එය 5 ගුණයක වැඩිවීමකි. මතට තිත මරේ මරුය. එදා වසරින් වසර අපරාධ අඩුවිය. දැන් අපරාධ වැඩිවෙමින් පවතී. ඉකුත් වසරේ මුල් මාස අටේ සිදුවූ අපරාධ සංඛ්‍යාවට වඩා මෙම වසරේ මුල් මාස අටේ සිදුවූ අපරාධ සංඛ්‍යාව 264කින් වැඩිය. පොලිස් කොමිසමද බකන් විලාගෙන සිටී.

මිනිසුනට මහ බැංකු හොරකම අමතක නැත. අරනායක සහන දීමට නොහැකිවීම සිතෙන් බැහැර ගොස් නැත. සාලාවේ ගින්නෙන් වූ හානිය පමණක් නොව ඉකුත් වසර 2 තුළ සිදුවූ සහ සිදුවෙමින් පවතින දෑ හොදට මතකය. එය පිටාර ගලනු ඇත්තේ මීලඟ පුංචි ඡන්දයෙනි. සීමා නිර්ණයට මුවාවී එයට බියවීමේ හේතුව රටට විවෘත රහසකි. විසිල් ඇත. බල්ටි නැත.  අසූචි ගොඩක් හිස මත තබාගෙන මම සුදනා කියා ඉස්සන්ද කීවේලු.

සකල සිරින් පිරි සිරි ලංකාවේ මිනිසුන් රැවටුණු වාර අනන්තය. වසර 1977 මහා මැතිවරණයේදි ජේ.ආර් ජයවර්ධනගේ ධාන්‍ය රාත්තල් 8ට රැවටී අවසානයේ හාල් පොතටද කෙලව ගත්තේය. ‘යහපාලන’ ආණ්ඩුවේ කප්පරක් බොරුවලටද රැවටුණේය. මෙය තවදුරටත් සිදුවිය යුතු නැත.

එජාපය ගසන්නේ මහින්දටය. ජවිපෙ ගසන්නේද මහින්දටය. දෙමළ බෙදුම්වාදීන් සහ  ඩයස්පෝරාව සමඟින් එක්වි දෙමළ සන්ධානය ගසන්නේද මහින්දටය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව එක්වී ගසන්නේද මහින්දටය. සක්‍රයාගේ පුතා වයිමා ආවද මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ගොඩනැගෙන අළුත් බලවේගය දැන් පියවරෙන් පියවර බලසම්පන්න වෙමින් පවතී. එය අසීරු සහ අභියෝගාත්මක බව සැබෑය. එහෙත් ජන බලය හමුවේ අර්ථවත්වන සහ විචිත්‍රවන දිනය වැඩි ඈතක නොවේ. සැප්තැම්බර් 10 එනම් හෙට සවස 3ට හෝමාගමදී පැවැත්වෙන රැස්වීමද එහි තවත් එක් ඉදිරි පියවරකි.(The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

ධර්මන් වික්‍රමරත්න

ejournalists@gmail.com

 

One Response to “අංදොගෙ බේගල්”

  1. Christie Says:

    පොලිස් කොමිසමද බකන් විලාගෙන සිටී

    අද අපේ රට බාර දෙයියො ඉන්දියාවයි. උන් තමයි එදා ඉඳන් අපිට කෙලින්නෙ. බන්ඩ පවුල, ජේ ආර්, දැන් බන්ඩගෙ සිඟිත්ති, රනිල් හා සිරිසේන ඉන්දියානු ගැතියො. රාජපක්සගෙන් පලිගන්නෙ ඉන්දියානු අදිරද දෙයියොයි. සින්හලයන්ගේ මුල් රැවටීම ඉන්දියානු ගැති බන්ඩගෙ රෙද්ද අස්සේ රින්ඟලා පටන් ගත්ත. 2005 දී ඉන්දියාවට වැරදුනා රාජපක්ස පත්කරල. සිලෝන් සින්හලයන්ගේ රට අද සිරිලන්කාය. ඉන්දියානු අදිරදය අප රටේ හැමදෙයමකටම හොට දමලාය. පොලිස් කොමිසමේ ලොක්ක පත්කරල තියෙන්නෙත් කෙලින්ම ඉන්දියානු අදිරදයත් ඉන්දියානු පරපෝසිතයනුත් විසිනි. අද අපේ රට එහෙම පිටින්ම ඉන්දියානු යටත් විජිතයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress