ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන්  දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් කොමිසමට පැමිණිලි කරයි  
Posted on September 29th, 2016

මාධ්‍ය ඒකකය  දූෂණ විරෝධී පෙරමුණ 

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයේ නිලධාරීන් විෂමාචාර සිදුකර ඇති බව සඳහන් කරමින් අද (29) දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාර දුන්නේය. 

මෙම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, එහි ලේකම් සහ අධ්‍යක්ෂ ජේ.ඒ වික්‍රමසිංහ සහ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරු  එක්ව සිටියහ. (එම පැමිණිල්ලට අදාල සිදුවීමේ සාරාංශය  මේ මඟ අමුණා ඇත)

ගල් අඟුරු වංචාවට අදාල සියලු සාක්ෂි සහ සාධක ඇතුළත් කොට මෙම පැමිණිල්ල භාර දුන් බවත්, රජයේ නිලධාරීන් 1954 අංක 11 දරණ අල්ලස්  පනත හා 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත උල්ලංඝනය කරමින්  ගල් අඟුරු මිලදී ගැනීමේදී විෂමාචාර සිදුකර ඇති බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ  උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. ගල් අඟුරු මිලදී ගැනීමට මුවාවී  මෙම රජයේ නිලධාරීන් බරපතල ලෙස මහජන මුදල් ගසාකමින් සිටින බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

මාධ්‍ය ඒකකය 

දූෂණ විරෝධී පෙරමුණ 

2016 සැප්තැම්බර් 29 

මෙම පැමිණිල්ලට අදාල සිදුවීමේ සාරාංශය මෙසේය

1954 අංක 11 දරණ අල්ලස් පනත හා 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත ප්‍රකාරව නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී රජයේ නිළධාරීන් විසින් සිදුකර ඇති විෂමාචාරය

සිදුවීම සාරාංශය-
01. ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයනු ලබන නොරොච්චෝලේ බලාගාරය සදහා ගල් අඟුරු ආනයනය කිරීමට අදාල ටෙන්ඩරයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත්කල ප්‍රසම්පාදන කමිටුව දූෂණයක් වන අයුරින් කටයුතු කර ඇත.
2015 වර්ෂයේ කැදවන ලද ටෙන්ඩරය සදහා ලංසුකරුවන් 06ක් සුදුසුකම් ලබා ඇත. මොවුන් විසින් මුදල් ලංසු ඉදිරිපත් කර ඇති අතර අවම ලංසුව නෝබල් රිසෝසස් නැමති සමාගමක් විසින් ඉදිරිපත් කර ඇත. පස්වන ස්ථානයේ සිට ඇත්තේ ස්විස් සිංගප්පූර් නැමති සමාගමයි. මේ සදහා වන තාක්ෂණික ඇගයීම් කමිටු වාර්ථාව ද එම කමිටුව විසින් සපයා තිබු අතර එයින් ද අඩුම ලංසුව නෝබල් රිසෝසස් බව තහවුරු කර තිබු අතර ස්විස් සිංගප්පූර් සමාගම සිට ඇත්තේ පස්වන ස්ථානයේය.

මෙම ටෙන්ඩරයේදී ටෙන්ඩර් කොන්දේසි කඩකරමින් (ටෙන්ඩර් පත්‍රිකාවේ 5.5 වගන්තිය) පස්වන ස්ථානයේ සිටි ලංසුකරු වු ස්විස් සිංගප්පූර් සමාගම විසින් ප්‍රසම්පාදන කමිටුවට ලිපියක් ලබාදී ටෙන්ඩර් කොන්දේසි දෙකක් වෙනස් කරන ලෙස ඉල්ලා ඇත.ඒ අනුව ප්‍රසම්පාදන මණ්ඩලය විසින් අදාල ටෙන්ඩර් කොන්දේසි දෙක වෙනස් කර යළිත් ඇගයීම් වාර්තාවක් දෙන ලෙස තාක්ෂණික ඇගයීම් කමිටුවට දන්වා ඇත. ඒ අනුව එම කොන්දේසි දෙක වෙනස් කර තාක්ෂණික ඇගයීම් වාර්තාව තාක්ෂනික ඇගයීම් කමිටුවේ නිළධාරීන් විසින් ප්‍රසම්පාදන කමිටුව වෙත ලබාදී ඇත. ඒ මගින් 05 වන ස්ථානයේ සිටි ලංසුකරු 01 වන ස්ථානයට පැමිණ ඇත.

මෙම ටෙන්ඩරය අවලංගු කරන ලෙස ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීන්දුවක් ලබාදී තිබියදී, එවක අමාත්‍යවරයාද අවලංගු කිරීමට නිර්දේශ කර තිබියදී (ඇමිණුම 4 – චම්පික රණවක අමාත්‍යවරයාගේ ලිපිය) අමාත්‍යවරුන් වෙනස් වු අවස්ථාවේදී කඩිමුඩියේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර අනුමත කරවාගෙන ඇත. එය නීත්‍යනුකූල නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ද පහත පරිදි පැහැදිලිව දක්වා ඇත.

22 වන වගඋත්තරකරුට(ස්විස් සිංගප්පූර් සමාගම) ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී විශේෂයෙන්ම එය ”මහජන මුදල් හා සම්බන්ධිත කාරණයක් බැවින් එහිදී සිදුවී ඇති ඇතැම් සිද්ධින් ගරු අධිකරණයේ හෘද සාක්ෂියට තිගැස්මක් ඇති කරයි. එබැවින් මෙම නඩුවේ හරයාත්මක අගය වෙත අවධානය යොමුකිරීමට ගරු අධිකරණය තීරණය කරන ලදි.

ඇගයීම් පටිපාටියේ 1.3 හා 1.4 පියවරයන් ගැන තැකීමකින් තොරව ලංසු නැවත ඇගයීමට ලක්කරන ලෙසට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත උපදෙස් ලබාදී ඇති නිසා ඉහත කී අවශ්‍යතා ඉටුකිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව අසමත් වී ඇති බැවින් 22 වන වගඋත්තරකරු වන ස්විස් සිංගප්පූරු සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ගෙන ඇති තීරණය නීතීය අනුව වලංගු භාවයකින් තොර බවට ප්‍රකාශයක් නිකුත් කිරීම හැර මට වෙනත් වික්ලපයක් නොමැත

එනම් 5.5 අතුරුවගන්තිය උල්ලංඝණය කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව 22 වන වගඋත්තරකරුගේ (ස්විස් සිංගප්පූරු සමාගමේ) ලංසුව ප්‍රතික්ෂේප කලයුතුව තිබුණි. ඒ වෙනුවට 22 වන වගඋත්තරකරු විසින් එවන ලද ලිපිය සලකාබලා තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම ලංසුව ඇගයීම සිදුකර ඇත. කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට ප්‍රදානය කර ඇති බලතල අපයෝජනය කරමින් හෝ ඉක්මවායමින් කටයුතු කර ඇති විටදී කිසිදු නීතීමය බලාධිකාරයකින් තොරව යමෙකු එහි නිශ්චය කර ඇති සේ පැහැදිලි සහ පහසුවෙන් දැකගත හැකි වරදක් සිදුකර ඇත. සිරිසේන සහ අනෙකුත් අය එදිරිව කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය කොබ්බෑකඩුව නඩුව 80 න.නී.වා 01 පිටුව 169 හි විනිශ්චයකාර සර්වානන්ද මැතිතුමාගේ නිරීක්ෂණය මා අවධාරණය කිරීමට කැමැත්තෙමි.”අධිකරණයට බලය සමාලෝචනය කිරීමේ බලතල පැවතීම සහ එය ඵලදායී ලෙස ක්‍රියාවේ යෙදවීම එවැනි බලය අපයෝජනය කිරීම්වලට එරෙහිව අවශ්‍ය ආරක්ෂක පියවරකි.”

ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි මාගේ සැලකිල්ල උනන්දුවෙන් යොමුකොට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරන ලද ක්‍රියාව හෝ තීරණය එහි බලාධිකරයෙන් පිටත කරන ලද්දක් බවට මා විසින් සලකනු ලබන බැවින් සියළුම කාරණා සම්බන්ධයෙන් එය ශූන්‍ය හා බලරහිත වේ”

කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව එහි 2015-06-29 දින පැවති රැස්වීමේදී ලංසු ඇගයීම් කිරීම සදහා 1.3 හා 1.4 පියවරයන් සැලකිල්ලට ගැනීමකින් තොරව ටෙන්ඩර්පත් නැවත ඇගයීමකට ලක්කරන ලෙසට තාක්ෂණික ඇගයීම් කමිටුවට සත්‍යවශයෙන්ම විධානය කර ඇති බැවින් මෙම කැබිනට් පත්‍රිකාව මගින් කැබිනට් අමාත්‍යවරුන් නොමග යවා ඇත. 1.3 හා 1.4 පියවරයන් අතහැර දමන ලෙසට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත කරන ලද විධානය ලංසු බැදුම්කරයේ කියා ඇති කොන්දේසි එලෙසින්ම අර්ථකථනය කිරීමක් ලෙස කිසිදු විධියකින් සමකල නොහැකිය.එමනිසා අදාල කැබිනට් පත්‍රිකාව මත ලබාගෙන ඇති කැබිනට් තීරණය ලබාගෙන ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් නොමග යැවීම මගින්ය. කැබිනට් අමාත්‍යවරුන් විසින් ගෙන ඇති 2015-09-22 දිනැති තීරණය කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු සමග එක්වසරක් සදහා ගිවිසුමකට එලඹීමට සම්බන්ධවී තිබුණු පමණින්ම එය වලංගු තීරණයක් වශයෙන් සැලකීමට නොහැකිය.

මෙම ප්‍රසම්පාදන මණ්ඩලයේ කටයුතු කරනුයේ රජයේ ආයතනවල ඉහළ තනතුරු දරණ මෙම ක්‍රියාවලීන් පිළිබදව පලපුරුද්දක් ඇති ඉහළ නිළධාරීන් බැවින් මෙය නොදැන සිදුවූවක් නොවන අතර, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය ද එම ටෙන්ඩරය අවලංගු කිරීමට නිර්දේශ කර තිබියදී හා එවක අමාත්‍යවරයා ද එම ටෙන්ඩරය අවලංගු කිරීමට නිර්දේශ කර තිබියදී එම ටෙන්ඩරය පිරිනැමීමට කටයුතු කිරීමෙන් පැහැදිලිව සැකයක් ජනිත වන්නේත්, පෙනීයන්නේත් හිතා මතාම එක් තෝරාගත් පුද්ගලයකුට අර්ථ ලාභයක් සිදුවන පරිදි කටයුතු කර ඇති බවයි.

  1. තවද මෙම ටෙන්ඩරය සම්බන්ධව ගැටළු සහගත තත්වයක් පවතින නිසා ගල් අඟුරු හිගයක් ඇතිවී විදුලිය ඇණහිටීම වලක්වා ගැනීමට ඒ වනවිට ලෝක වෙළඳ පොලේ ගල් අඟුරු මිල අඩුවෙමින් පැවති හෙයින් ක්ෂණික මිලදී ගැනීමේ ක්‍රමය යටතේ අඩු මිලට ගල් අඟුරු මිලදී ගෙන ඇත. ඒ සදහා කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් අනුමැතියද ලබාදී ඇත. එසේ තිබියදී අධිකරණය තීරණය කල පරිදි කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් ස්විස් සිංගප්පූර් සමාගමෙන් වැඩි මුදලකට ගල් අඟුරු මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට අතිවිශාල මුල්‍යමය පාඩුවක් ද ප්‍රසම්පාදන කමිටුව විසින් සිදුකර ඇත.

මෙම සිදුවීම අල්ලස් පනතේ 36 වන අධිකාරය V වන කොටස අල්ලස් නොවන වැරදි , 70 වගන්තියට අනුව සිදුකරන ලද වරදක් බව පෙනේ.

  1. ආණ්ඩුවට අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස පාඩු සිදුකිරීමේ හෝ තමා වෙත හෝ යම් තැනැත්තකු වෙත අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස අර්ථලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් හෝ ආණ්ඩුවට හෝ යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නීතී විරෝධි ලෙස පාඩු සිදුවිය හැකි බව නැතහොත් යම් තැනැත්තකුට අයුතු සහගත ලෙස හෝ නීතීවිරෝධි ලෙස අර්ථලාභයක් අනුග්‍රහයක් හෝ වාසියක් සැලසෙන බව දැන දැනම පහත දැක්වෙන යම් ක්‍රියාවක් එනම්,

අ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින,
ආ) රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීමට වෙනත් යම් රජයේ සේවකයකු පොළඹවන,
ඇ) රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන,
ඈ) රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමේ ලා සහභාගී වන,
ඉ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටුකිරීමට හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීමට යම් තනැත්තකු පොළඹවන
යම් රජයේ සේවකයකු දූෂණය පිළිබද වරද සම්බන්ධයෙන් වරදකරු විය යුතු අතර මහේස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සදහා බන්ධනාගාර ගතකිරීමකට හෝ රුපියල් එක් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඩුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය.

මේ අනුව පනත හා වගන්ති කඩකර ඇති ආකාරය

අ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට තමාට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් කරන හෝ කිරීමෙන් වැලකී සිටින, වගන්තිය උල්ලංඝනය කර ඇති ආකාරය

ලංසු ලියැවිල්ලේ 5.5 උල්ලංඝනය කරමින් ස්විස් සිංගප්පූර් සමාගම ප්‍රසම්පාදන මණ්ඩලයට ටෙන්ඩර් කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලා ලිපිය ඉදිරිපත්කල අවස්ථාවේ එම ලංසුකරු ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට තිබූ නීතීමය අයිතිය පැහැර හැරීම.

සාක්ෂි
01. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය – ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් 22 වන වගඋත්තරකරු වු ස්විස් සිංගප්පූරු සමාගමේ ලංසුව ප්‍රතික්ෂේප කල යුතුව තිබූ නමුත් එය සැලකිල්ලට ගෙන පිරිවිතර පිළිබද කොන්දේසි ඉවත් කර නැවත ඇගයීමට යොමු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව බලතල ඉක්මවා ක්‍රියාකිරීමක් බව ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇතැයි අධිකරණ තීන්දුවේ දැක්වෙයි. (නඩු තීන්දුවේ පිටුව 15- අවසන් ජේදය The SCAPC ….)
02. ලංසු ලියැවිල්ලේ 5.5 වගන්තිය

ආ) රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර කිරීමට වෙනත් යම් රජයේ සේවකයකුට බලය පැවරී ඇති යම් ක්‍රියාවක් ඉටු කිරීමට හෝ ඉටුකිරීමෙන් වැළකී සිටීමට වෙනත් යම් රජයේ සේවකයකු පොළඹවන.. වගන්තිය කඩකර ඇති ආකාරය

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් කරන ලද ඇගයීම් වාර්තාවෙන් පසුව ස්විස් සිංගප්පූර් සමාගමේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ටෙන්ඩරයේ පිරිවිතර ඉවත්කර නැවත ඇගයීම් වාර්තාවක් ලබාදෙන ලෙසට තාක්ෂණික ඇගයීම් කමිටුවට ප්‍රසම්පාදන කමිටුව විසින් දන්වා තිබීම මගින් ඉහත වගන්තිය අනුව වරදක් කර ඇත.

සාක්ෂි
01. ටෙන්ඩරයක් විවෘත කිරීමෙන් පසුව ටෙන්ඩර් පත්‍රිකාවේ ඇති කිසිම ඇගයීම් සම්බන්ධ කොන්දේසියක් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බව 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේද පැහැදිලිව සදහන් කර ඇති බැවින්, විනිවිද භාවය, යුක්තිය හා සමානාත්මතාවය ආරක්ෂා කිරීම සදහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කලයුතුව තිබූ බව අධිකරණ වාර්තාවේ සදහන් වෙයි. (නඩු තීන්දුවේ පිටුව 12- 2 ජේදය සිට අවසානය දක්වා Counsel also …..)
ඒ අනුව ගල් අඟුරුවල ප්‍රමාණය පිළිබද පිරිවිතරයන් ඉවත් කිරීම ටෙන්ඩරය විවෘත කිරීමට පෙර කලයුතුව තිබූ දෙයක් බවත් ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසුව එය ඉවත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව බලය ඉක්මවා කටයුතු කිරීමක් බවත්, එම නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය වලංගු නොවන බවත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව වෙත ලබාදී ඇති බලය ක්‍රියාත්මක කලයුතුව ඇත්තේ ඉතා විශ්වාසවන්තව හා අදාල කරුණට අනුකූලව පමණක් වන අතර ඉන් පරිභාහිර හේතූන්මත බලය ඉක්මවා ක්‍රියා නොකල යුතු බවත් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ ඉහත ක්‍රියාකලාපය නීතීය අනුව නිවැරදියැයි නොපෙනෙන බවද අධිකරණ තීන්දුවේ සදහන්ය. (නඩු තීන්දුවේ පිටුව 13- 2 ජේදය සිට අවසානය දක්වා Thus…..)
02. පලමු හා දෙවන ඇගයීම් කමිටු වාර්ථා

ඇ). රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර තමාට දැනගැනීමට ලැබෙන යම් තොරතුරක් පාවිච්චි කරන.. වගන්තිය කඩකර ඇත.

මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේදී තමන්ට අසාධාරණයක් වුයේයැයි සිතූ 1,2,3,4 ලංසුකරුවන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට පැමිණිලි කරද්දී ඒ බව දැනගත් ප්‍රසම්පාදන කමිටු සාමාජික විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් අභියාචනා මණ්ඩලය විවේචනය කරමින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ නිසා එම මණ්ඩලයට බලපෑමක් සිදුවීම.

සාක්ෂි

  1. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව පෙත්සම්කරු විසින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නමුත් අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින්ගේ අපක්ෂපාතිත්වය ගැන පුවත්පත් වාර්ථා පලවීම හේතුවෙන් පෙත්සම්කරු අභියාචනා මණ්ඩලයට කැදවනු ලැබූවද ඒ පිළිබද කරුණු විමසීම අභියාචනා මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.( නඩු තීන්දුවේ පිටුව 16 අවසන් ජේදය සිට 17 Any…)
    02. අදාල මාධ්‍ය වාර්ථාව

ඈ) රජයේ සේවකයකු වශයෙන් ස්වකීය ධුරය ප්‍රකාර යම් තීරණයක් ගැනීමේ ලා සහභාගීවන,
01. මෙම ටෙන්ඩරය පිලිබද ගැටළුවක් මතුවී ඇති නිසා ඒ වනවිට ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය යටතේ ගල් අඟුරු මිලදී ගැනීමට කටයුතු කර තිබුණි. ඒ අනුව ඉතා අඩු මිලක් යටතේ ගල් අඟුරු මිලදී ගනිමින් තිබුණි. ඒ මෙ.ටො. 01 ක් ඇ.ඩො. 51.29 කටය. එසේ තිබියදී කැබිනට් මණ්ඩලය නොමග යවමින් එම කාල සීමාවේදීම මෙ.ටො. 01 ක් ඇ.ඩො. 51.96 බැගින් මෙ.ටො. 330,000 ක් මිලදී ගැනීමෙන් ඇ.ඩො. 221, 100ක පාඩුවක් ශ්‍රී ලංකා රජයට සිදුවන පරිදි ද
02. ක්ෂණික මිලදී ගැනීම් ක්‍රමය මගින් අඩුමිලට ගල් අගුරු මිලදී ගනිමින් සිටින විට ලෝක වෙලද පොලේ ගල් අඟුරු දර්ශක මිල 51.85 ට පවතිද්දී ස්විස් සිංගප්පූර් සමාගමෙන් 58 කට මිලදී ගන්නා පදනම මත ශ්‍රී ලංකා රජයට පාඩුවක් වන ලෙස එක් එක් මාසයේ දර්ශක මිලට ආදේශ කරන මිල සූත්‍රයක් හදුන්වාදෙමින් ස්විස් සිංගප්පූර් සමාගමට වාසිවන ආකාරයේ තීරණයක් ගැනීමට ප්‍රසම්පාදන මණ්ඩලය සහභාගී වී කටයුතු කර ඇත.
සාක්ෂි-
01. ඒ අනුව අදාල කැබිනට් පත්‍රිකාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවා ඇති බව පෙනීයන බවත්, අදාල අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත්තේ නොමග යැවීමෙන් බවත්, එබැවින් එය වලංගු තීරණයක් ලෙස සැලකිය නොහැකි බවත් අධිකරණ තීන්දුවේ දක්වා ඇත. (නඩු තීන්දුවේ පිටුව 21- 3 ජේදයThis cabinet…. )
02. අදාල කැබිනට් පත්‍රිකාව හා ඇමුණුම
03. විදුලිබල අමාත්‍යවරයා විසින් පත්කරන ලද ත්‍රී පුද්ගල කමිටුවේ වාර්ථාවේ 06 පිටුවේ දක්වා ඇති පරිදි ක්ෂණික මිලදී ගැනීම් මගින් මිලදී ගැනීම ස්විස් සමාගමෙන් මිලදී ගැනීම සමග කර ඇති සන්සන්දනයේ පෙන්වන ඇ.ඩො. මිලියන 7.5 ක වෙනස

ඉ) රජයේ සේවකයකු වශයෙන් වූ ස්වකීය ධුරය කෙලින්ම හෝ අන්‍යාකාරයකින් හෝ පාවිච්චි කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටුකිරීමට හෝ ඉටුකිරීමෙන් වැලකී සිටීමට යම් තනැත්තකු පොළඹවන

ඉහතින් ඉදිරිපත් කරන ලද කරුණු හා සාක්ෂි අනුව මෙම වගන්තිය ද කඩකර ඇති බව පැහැදිලිය.

මෙම ටෙන්ඩරයේ ප්‍රසම්පාදන කමිටු නිළධාරීන් ලෙස කටයුතු කර ඇත්තේ පහත නිළධාරීන්ය
01. බී.එම්.එස්.බටගොඩ මයා – ලේකම්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.
02. ජී.එස්.විතානගේ මයා – ලේකම්, විදේශරැකියා අමාත්‍යංශය දෙවන මහල, ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ල, යෝක්විදීය, කොළඹ 01.
03. එස්.ඒ.එන්.සරණතිස්ස මයා – අතිරේක ලේකම්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07.
04. එම්.සී.වික්‍රමසේකර මයා – සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොළඹ 01.
05. ඒ.කේ.සෙනෙවිරත්න මයා – අධ්‍යක්ෂ ජනරාල්, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යංශය, කොළඹ 01.
06. පී.ආර්.එල් වසන්ත මයා, ප්‍රධාන ගණකාධිකාරී, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ගුවන් හමුදා මූලස්ථානය, කොළඹ 02.

මෙම අවස්ථාවට දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන්, එහි ලේකම් සහ අධ්‍යක්ෂ ජේ.ඒ වික්‍රමසිංහ සහ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress