දඩ ප්‍රශ්නය (පසුගිය සතියෙන් ඉවරද?)
Posted on December 4th, 2016

Divaina

මනරංජන වැඩවර්ජන රැල්ලකින් පසුගිය සතිය අවසන් විය. පෞද්ගලික බස්‌ වැඩ වර්ජකයන් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ, “මේ ගැන සොයා බලන්නට මම විෂය භාර ඇමැතිවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස්‌ දෙනවා… එතැනින් හරි විසඳුමක්‌ නොලැබුණොත් මම ඒ සඳහා කමිටුවක්‌ පත් කරනවා. එතැනිනුත් හරි විසඳුමක්‌ නොලැබුණොත් මේ ප්‍රශ්නයට මම මැදිහත් වෙනවා….” යනුවෙනි.

කෙසේ හෝ “අන්තිම විසඳුම” මුලට ගනිමින් පෞද්ගලික බස්‌ වර්ජනය අවසන් කෙරිණි. කෙසේද යත්, “පරණ පුරුදු” ආකාරයටය. මේ රටේ ජනාධිපතිවරයෙක්‌ගේ මැදිහත් වීමකින් තොරව (උදැසනින් ජනාධිපති මන්දිරයට ගොස්‌ තේ එකක්‌ බී විහිළු තහලු කර) කිසිදු බිම් මට්‌ටමේ ප්‍රශ්නයක්‌ වුව විසඳන්නට බැරි බව උදාහරණ සහිතව පෙන්වා දෙමිනි.

අපට හොඳින්ම පෙනෙන පරිදි පෞද්ගලික බස්‌ වැඩවර්ජනය අවසන් වුවද ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. රුපියල් 25,000 දඩය ගැන තීරණය තවමත් සාකච්ඡා මට්‌ටමෙනි. රුපියල් 25,000 බැගින් දඩ නියම කෙරෙන මාර්ග නීති රීති උල්ලංඝනය කිරීමේ වැරදි හතකි. ඒ මෙසේය.

* රක්‍ෂණ ආවරණයක්‌ නොමැති වීම.

* රියෑදුරු බලපත්‍රය නොමැති වීම.

* බීමත්ව රිය පැදවීම.

* වමෙන් ඉස්‌සර කිරීම.

* සම්මත වේගය ඉක්‌මවා යැම.

* දුම්රිය හරස්‌ මාර්ගවලදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය.

* රියෑදුරු බලපත්‍රයක්‌ නොමැති අයකුට රථ වාහන ලබාදීම.

පෞද්ගලික බස්‌ රථ සංගම්ද, ත්‍රිරෝද රථ සංගම්ද, යතුරුපැදිකරුවන්ගේ සංගම්ද ඇතුළුව එකී මෙකී නොකී සියලුම සංගම් දුම්රිය පාරවල් හරස්‌ කරමින්, ලංගම බස්‌ රථ කුඩුපට්‌ටම් කරමින් කියන්නේ මේ දඩ අසාධාරණ බවය. ඊට හේතු ලෙස මේ උදවිය දක්‌වන අදහස්‌ මෙබඳුය. “රුපියල් 25,000 ක දඩයක්‌ ගැහුවොත් දරු පවුල අනාථයි.”, “මේ තියෙන පාරවල්වල වමෙන් ඉස්‌සර නොකර යන්න බෑ”, “මුලින්ම පාරවල් හදලා දඩ ගහන්න…”, “මේ ආණ්‌ඩුව දුප්පත් අපේ දඩ මුදල්වලින් ආදායම් හොයන්න යනවා…”

එහෙත් මේ කිසිවෙකුත් දඩ වදින්නේ “වරද” කළොත් පමණක්‌ යන්න අමතක කර තිබේ. මහ මගදී වැඩි වශයෙන් දඩ මුදල් අය කෙරෙන වැරදි කිහිපයක්‌ තිබේ. ඉරි කපා ධාවනය කිරීම, ආරක්‍ෂක හෙල්මට්‌, ආරක්‍ෂක පටි පැළඳ ධාවනය නොකිරීම, කහ ඉරි (සුදු ඉරි) මතදී ඉස්‌සර කිරීම ඒ අතර වේ. රුපියල් 25,000 ක දඩය නියම කර ඇති වැරදි හතම සිහිකල්පනාවෙන්, පෙර සූදානමකින්, විනයවත්ව වළක්‌වා ගත හැකි වැරදිය.

වමෙන් ඉස්‌සර කිරීම පිළිබඳ සාධාරණ යෑයි කිව හැකි එකම කාරණය වන්නේ එය මෝටර් රථ ආඥපනතට ඇතුළත්ව නොමැති වීමය. එහෙත් මහමගදී බොහෝ දෙනෙක්‌ අනතුරට පත්ව ඇත්තේ මේ “වමෙන් ඉස්‌සර කිරීමේ” වරද නිසා බව සිහිපත් කළ යුතුය.

2016 වර්ෂය වන විට රටේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 66 ලක්‍ෂය ඉක්‌මවයි. ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්‍ෂ දහය ඉක්‌මවයි. මාර්ග රිය අනතුරු නිසා දිනකට පුද්ගලයන් 6 – 7ක්‌ අතර ප්‍රමාණයකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. 2015 වර්ෂයේ මෙරට සිදුවූ සමස්‌ත රිය අනතුරු සංඛ්‍යාව 38107කි. එයින් පුද්ගලයෝ 2820 දෙනකු මරු දුටහ. පසුගිය (2016) ඔක්‌තෝබරය අවසන් වන විට මේ වසරේ පමණක්‌ සිදුවූ මාරක රිය අනතුරුවලින් මරණ 2340ක්‌ සිදුව තිබේ. වඩාත්ම සැළකිල්ලට ගත යුතු කාරණය වන්නේ ඉන් වැඩිම මාරක අනතුරු සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ යතුරුපැදි නිසා බවය. සංඛ්‍යාත්මකව ගත්තොත් මරණ සංඛ්‍යාව 920 ඉක්‌මවයි. ත්‍රිරෝද රථ මාරක අනතුරු සංඛ්‍යාව 289කි. ඉතිරියෙන් වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වී ඇත්තේ බස්‌ රථවලිනි.

නීති පැනවීමෙන් පමණක්‌ වැරදි හදන්නට බැරි යෑයි කියන ජනප්‍රිය මතයට සියයට සියයක්‌ම මෙවැනි කාරණාවලදී එකඟතාවක්‌ දැක්‌විය නොහැක. ඊට හේතුව වරදක්‌ දුටු තැන “මුංට රජකාලේ දඬුවම් දෙන්න ඕන… මේ රටේ හරි හැටි නීති රීති නෑ” කියන උදවියම බස්‌ රථ කුඩුපට්‌ටම් කරමින් වර්ජනය කළ අය අතර සිටි බව විශ්වාස කරන නිසාය.

අමතක කරන්න එපා, පසුගිය කාලයේ රිය අනතුරක්‌ වූ සැනින් රටේ ජනතාවම වාහනය ගිනි තබා නීතිය අතට ගත් බව. එවිට “ජනතාව නීතිය අතට ගන්නවා” යෑයි කියන උදවියට කියන්නට තිබෙන්නේ ඉදිරියේදී අනතුරක්‌ සිදුවූ සැණින් රියෑදුරු අල්ලා හතර හන්දි කඩා රුපියල් 25,000 දඩය ගැන සිහිපත් කර දෙන තත්ත්වයක්‌ වුව නිර්මාණය විය හැකි බවය. ඒ නිසා කොයි කවුරුත් කළ යුත්තේ නීතියට ගරු කිරීමය, අවනත වීමය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress