මහනුවර නගරයට ජලය සපයන දුනුමඩලාව රක්ෂිතය අනතුරේ
Posted on December 20th, 2016

පේශල පසන් කරුණාරත්න මාධ්‍ය සම්බන්ධීකාරක වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමය

දුනුමඩලාව වනරක්ෂිතය මහනුවර නගරාශ්‍රිතව ඉතිරි වී ඇති අවසාන ස්වභාවික වනාන්තර දෙකෙන් එකකි. එය කළමනාකරණය කිරීමේ වගකීම මහනුවර මහනගර සභාව දරණු ලබන්නේ දුනුමඩලාව රක්ෂිතය, ජලාශය හා ජලපෝෂක- ජලධාරක ප්‍රදේශය මහනුවර නගරයේ ප්‍රධාන පානීය ජල සැපයුම වීමේ විශේෂ හේතුවෙනි. නමුත්, සීඝ්‍රයෙන් ව්‍යාප්තවන ප්‍රසර්පණකාරී ක්‍රියා නිසා වනරක්ෂිතයත් ජලාශය හා ජලපෝෂක-ජලධාරක ප්‍රදේශයත් දැඩි තර්ජනයකට ලක්වී ඇත.

දුනුමඩලාව රක්ෂිතයේ නැගෙනහිර මායිමේ සිට දකුණු දෙස මායිම දක්වා රක්ෂිත ඉඩම් නොයෙකුත් පුද්ගලයින් විසින් අනවසරයෙන් එලි පෙහෙලි කර අත්පත් කර ගෙන ඇති අතර රක්ෂිතය හරහා පෞද්ගලික මාර්ගද ඉදි කර ඇත. දැවැන්ත මාර ගස්, කොස් ගස් ඇතුලු වටිනා ශාඛ දැනටමත් කපා ඉවත් කර ඇති අතර ඉතාමත් තියුණු බෑවුම් සහිත ප්‍රදේශ එලි  පෙහෙලි කිරීම නිසා විශාල පාංශු ඛාදනයක්ද සිදුවී ඇත.

article-20121601

මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට අදාල බලධාරීන් අසමත් වුවහොත් මෙම ප්‍රදේශයේ නායයාම් හා භූගත ජල හිඟයක් ඉදිරියේදි ඇතිවිය හැක. එබැවින් දුනුමඩලාව රක්ෂිතයේ ඵෛතිහාසික පිඹුරැපත්වලට අනුකූලව යුහුසුළුව හා පුඵල් බිම් මැනීමක් රජය විසින් කඩිනමින් සිදුකළ යුතු අතර ඒ හා සමගාමීව එම නීත්‍යානුකූල මායිම් ලකුණු කිරීමක් සහ මායිමට අභ්‍යන්තරයෙන් ගොඩනගා ඇති සියළුම අවධිමත් ඉදිකිරීම් ද ඉවත්කළ යුතුය

article-20121602

මෙම වනරක්ෂිතය උඩරට රාජධානි සමයේ තහංචි කැළයක් වූයෙන් අතිමහත් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් ද ඇති ස්ථානයකි. එබැවින් දුනුමඩලාව වනරක්ෂිතය, එම ජලාශය හා එම ජලපෝෂක හා ජලධාරක ප්‍රදේශය හා අවට කැලෑ සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට මේ පිළිබඳ අදාල සියලු බලධාරීන්ගේ අවධානය යොමු වී සිදුවන වන විනාශය වහාම නවත්වා දුනුමඩලාව වනරක්ෂිතය රැක ගැනීමට කටයුතු කරන ලෙස වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය  (http://www.RainforestProtectors.org) වන අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress