සීමා නිර්ණය වාර්තාව
Posted on January 6th, 2017

– මාධ්‍ය නිවේදනය රජිත් කීර්ති තෙන්නකෝන්/විධායක අධ්‍යක්ෂ  කැෆේ සංවිධානය

ගැටළු ඇත්තේ සීමා නිර්ණය අභියාචන විමර්ශනය කිරීමේ කමිටුවේ  (අශෝක පීරිස් කමිටුවේ) නොව නීති වෙනස් නොකල පළාත් පාලන අමාත්‍යාංශයේ සහ පාර්ලිමේන්තුවේ හා මුලික සිමා නිර්ණය සිදුකළ කුප්‍රකට ජයලත් – රවී දිසානායක සීමා නිර්ණය කොමිසමේ ය.

අශෝක පීරිස් කමිටුවට  ව්‍යාජ චෝදනා එල්ල කොට ඡන්දය කල් දැමීමේ ආණ්ඩුවේ  උත්සාහය පරාජය කළ යුතුව තිබේ

සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ දෝෂ ඇති බව දක්වමින් වැරදි සහ නොමග යවන සුළු පුවත් සංවිධානාත්මක ලෙස පළ කිරීමට ආණ්ඩුව හා සම්බන්ධ කණ්ඩායමක් උත්සහ දරමින් සිටී.  ඔවුන් විසින් මේ වන විට අශෝක පීරිස් කමිටු වාර්තාවේ දෝෂ ඇතැයි දක්වමින් ජනමාධ්‍ය වෙත නිවැරදි නොවන තොරතුරු සංවිධානාත්මකව ලබාදීමක් සිදු කරනු ලබයි. 

සීමා නිර්ණය සම්බන්ධයෙන් සංවිධානාත්මකව පළ කරනු ලබන තොරතුරු සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පහත නිරීක්ෂණ ඉදිරිපත් කරයි.

  1. සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ විෂය පථයට අයත් නොවන නමුත් දිගු කාලීනව මෙරට පලාත් පාලන විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මැතිවරණ කේෂ්ත්‍රයේ විශේෂඥයින් විසින් හදුණාගෙන ඇති කරුණු කිහිපයක් පවතී. ඒ කිසිවක් පළාත් පාලන ඡන්ද විමසීම සදහා බාධාවක් නොවේ.   ඒවා මැතිවරණ කල් දමා ගැනීමේ උත්සාහයට හේතු වශයෙන් යොදා ගැනීම ලැජ්ජා සහගතය.  අද දින ‘දිනමිණ‘ හා ‘දිවයින‘ පුවත්පත් හි පළ වු තොරතුරු සියල්ලම පාහේ ‘අශෝක පීරිස් මහතා ප්‍රමුඛ සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව‘ විසින්ම ස්වකීය විෂය පථයට අයත් නොවන එහෙත් එකි කමිටුවට බලය නොමැති එහෙත් ආණ්ඩුව හා පාර්ලිමේන්තුව විසින් විසදිය යුතු ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඉල්ලීම පරිදි අශෝක පීරිස් කමිටුව විසින් අගමැතිවරයා වෙත ලබා දුන් ලේඛණයකින් උපුටා ගෙන ඇත.  එම කරුණු පෙන්වා දී ඇත්තේ අශෝක පීරිස් කමිටුවට විසදිය නොහැකි ජයලත් – රවී දිසානායක කොමිෂන් සභාව විසින් විසදිය යුතුව තිබු ගැටළු සම්බන්ධයෙන් හා පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතු 5% අවම ඡන්ද ප්‍රතිශතය වැනි නීති සම්බන්ධයෙනි. 
  2. එවකට පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂකයින් සහ මෙරට මැතිවරණ කේෂ්ත්‍රයේ දැනුම ඇති පුද්ගලයින් විසින් 2012 සිට සිදු කළ අධ්‍යයනයන් අනුව මෙම පලාත් පාළන ආයතනවල සංයුතිය වෙනස් කිරීම, සභික සංඛ්‍යාව තීරණය කිරීම, සහ ශ්‍රේණිගත කිරීම ජයලත් -රවී දිසානායක කොමිෂන් සභාවේ හා පළාත් පාලන අමාත්‍යවරයාගේ සහ ආණ්ඩුවේ රාජකාරියකි. එම කරුණ සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව සතු බලතල නොවේ.  මෙම වෙනස්කම් සියල්ල දැන් පලාත් පාලන අමාත්‍යාංශය විසින් හෝ පාර්ලිමේන්තුවේ නීති මගින් සිදු කළ යුතු වේ.
  3. සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව වෙත අමාත්‍යවරයා විසින් බලය පවරා තිබුණේ ‘කොට්ඨාශවල නම වෙනස් කිරීම, අංක වෙනස් කිරීම, කොට්ඨාශවල මායිම් වෙනස් කිරීම‘ යනා දී වගකීම් කිහිපයක් පමණී.
  4. සීමා නිර්ණය අභියාචන විමර්ශන කමිටුව එජාපය, ශ්‍රීලනිප, ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් එක් අයෙකු බැගින් සහ සභාපති වශයෙන් විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අශෝක පීරිස් මහතා ඇතුලත් කර සකස් කරන ලද කමිටුවකි.  මේ වන විට එම වාර්තාවට අත්සන් තබා නැත්තේ එජාපය නියෝජිත අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතා පමණී.  එජාප නායකත්වය පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීම සදහා සිය කමිටු සාමාජිකයා හරහා උත්සහ දරන බව කැෆේ සංවිධානය අවස්ථා ගණනාවක දී පෙන්වා දී ඇත.  
  5. මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අනිවාර්ය හා අත්‍යවශ්‍ය සාධකයකි. 85 වසරක ලංකා මැතිවරණ ඉතිහාසයේ සෑම අවස්ථාවක දීම නිදහස් මැතිවරණ පවත්වා ඇත. මහජන නියෝජිතයින් නොමැති යාන්ත්‍රණයක් තුල ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකිය.

විවිධ උපක්‍රම භාවිත කරමින්  පක්ෂ කිහිපයක දේශපාලන අවශ්‍යතා මත පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ගැනීමේ උත්සාහයට මේ වන විට ආණ්ඩුව සෘජුව නායකත්ව ලබා දෙමින් තිබේ.  සීමා නිර්ණය කමිටුව පෙන්වමින් මැතිවරණ කල් දමා ගැනීමට පලාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ද, දැන් එජාප ය දක්වන උත්සාහය කැෆේ සංවිධානය දැඩිව හෙලා දකින අතර සීමා නිර්ණය කමිටු වාර්තාව අත්සන් තැබීම සදහා එජාප නියෝජිතයාට බලපෑම් කරන ලෙස සියලු සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටිමු.

එමෙන්ම, අශෝක පීරිස් කමිටු වාර්තාවට ඇතුලත් නොවූ එහෙත් සලකා බැලිය යුතු කරුණු පිළිබදව ලබා දුන් විශේෂ වාර්තාව සදහා කරුණු උපයෝගි කර ගනිමින් කමිටු වාර්තාවේ වැරදි ඇති බවට කරනු ලබන අසත්‍ය ප්‍රචාරය වැලැක්වීමට පියවර ගන්නා ලෙස සියලුම ජනමාධ්‍ය වෙතින් සහ සමාජ මාධ්‍ය ජාලා වෙතින් කැෆේ සංවිධානය කරුණාවෙන් ඉල්ලා සිටී.

රජිත් කීර්ති තෙන්නකෝන්/විධායක අධ්‍යක්ෂ

කැෆේ සංවිධානය

2017 ජනවාරි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress