“සීමා නිර්ණ වාර්තාව අසම්පූර්ණයි. අඩුපාඩුයි සීමා නිර්ණය අවුල් ජාලාවක්” -අශෝක පීරිස් කමිටුවේ පුවත්පත් නිවේදනය
Posted on January 6th, 2017

ප්රවෘත්ති නිවේදනයයි.

 සීමා නිර්ණ වාර්තාව අසම්පූර්ණයි. අඩුපාඩුයි  සීමා නිර්ණය අවුල් ජාලාවක්”

ඉහත මැයට අදාළව 2017.01.05 දිනැතිව දිනපතා පුවත්පත් කිහිපයක පලවූ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙනි.

  1. එහි සඳහන් කිසිඳු කරුණක්, පළාත් පාලන අමාත්‍යවරයා වෙත 2017 ජනවාරි 02 වන දින අප විසින් භාර දුන් සීමා නිර්ණ අභියාචනා විමර්ශනය සඳහා පත් කරනු ලැබූ කමිටුවේ (2012 අංක 22 දරන පනතේ 3 ඇ වගන්තිය යටතේ පත් කරනු ලැබූ කමිටුවේ) වාර්තාවට අදාළ නොවේ.
  1. 2012 වර්ෂයේදී පත් කරනු ලැබූ පළාත් පාලන අභියාචනා කොට්ඨාශ සීමා නිර්ණය සඳහා වූ ජයලත් රවී දිසානායක කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ලද පැමිණිලි හා අභියාචනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පළාත් පාලන ඇමතිවරයා විසින් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත අප කමිටුව 2015 වර්ෂ අවසානයේදී පත්කරන ලදී.

සභාපති            1. ටී අශෝක පීරිස් මහතා (ඉඩම් අමාත්‍යාංශයේ  හිටපු ලේකම්)

දේශපාලන පක්ෂ නියෝජිතයන්

  1. නීතීඥ සාලිය මැතිව් මහතා (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
  1. ඒ.එස්.එම්. මිස්බා මහතා ( එක්සත් ජාතික පක්ෂ)
  1. මහාචාර්ය බාලසූන්දරම් පිල්ලේ මහතා (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
  1. නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා (ජනතා විමුක්ති පෙරමුණ)

පෙර සඳහන් සීමා නිර්ණය කොමිෂන් සභාව විසින් සකස් කර 2015 අගෝස්තු මස ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කරන ලද පළාත් පාලන ආයතන කොට්ඨාශවල සීමා පිළිබඳව හා ඒවායේ නම් හා අංක පිළිබඳව පැමිණිලි හා අභියාචනා විමර්ශනය කර එයට අදාළ සංශෝධන සකසා වාර්තාවක් ඉදිරිපත් කිරීම  අප කමිටුවේ විෂය පථය විය.

  1. අප කමිටුව වෙත ලද පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවලට ගොස් දේශපාලන නියෝජිතයන් හා පුරවැසි සංවිධාන හා දිස්ත්‍රික් මට්ටම් නිලධාරීන් සමඟද සාකච්ඡා කර පළාත් පාලන ආයතන මායිම් සංශෝධනය කිරීමේ වාර්තාව සකසා එය 2017 ජනවාරි 02 දින පළාත් පාලන අමාත්‍යවරයාට භාර දෙන ලදී.
  1. එසේ භාර දෙන ලද වාර්තාවේ අඩංගු නොවූ කරුණු අප වාර්තාවේ ඇතුළත් කරුණු ලෙස අද දින පුවත්පත් කිහිපයක පලකර තිබේ.
  1. අපගේ විෂයය පථය වූයේ කොට්ඨාශවල නම්, අංක හා මායිම් වෙනස් කිරීම පමණකි. ඒ ඒ ආයතන සභික සංඛ්‍යාව වෙනස් කිරීම, නව පළාත් පාලන ආයතන පිහිටු වීම, පළාත් පාලන ආයතනවල සීමා වෙනස් කිරීම අපගේ විෂය පථයට අයත් නැත.
  1. එසේ වුවද අපට පූර්වයෙන් සීමා නිර්ණය කරනු ලැබූ කොමිෂන් සභාව විසින් හෝ පළාත් පාලන අමාත්‍යාංශය විසින් හෝ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යා තීරණය කිරීමේදී සිදු කර ඇති දෝෂ, ජන අනුපාතයට සභික සංඛ්‍යාව තීරණය කිරීමේදී දැකිය හැකි වූ අසාමාන්‍ය විචලතා යනාදිය පිළිබඳව මෙන්ම අනුපාත ක්‍රමය යටතේ සභිකයකු තේරීපත් වීම සඳහා 5% අවම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතු බවට පනතේ ඇති නියමය, බහු මන්ත්‍රී කොට්ඨාස සඳහා එක් පක්ෂයකින් එක් අපේක්ෂකයකු පමණක් ඉදිරිපත් කල හැකි බවට වූ නියමය, සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ යම් ජන කොට්ඨාශයක් සංඛ්‍යාත්මක සුලුතරය වූ පළාත් පාලන ආයතනවල ඔවුන් විසිරී ජීවත්වන්නේ නම් නියෝජනයක් ලබා ගැනීමට නොහැකි වීම යනාදී අපගේ විෂය පථයට අයත් නොවන එහෙත් රජයේ බලධාරීන් විසින් සලකාබැලිය යුතු බව අප විසින් නිරීක්ෂණය කරන ලද කරුණු පිළිබඳ වාර්තාවක් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අපගෙන් ඉල්ලා සිටින ලදුව එකී කරුණු ඇතුළත් ලේඛනයක් අප විසින් අග්‍රාමාත්‍ය ලේකම් වෙත භාර දී තිබේ. එකී දෝෂ හෝ විචලතා නිවරදි කළ යුත්තේ අප නොවේ. ඒ සඳහා අපට බලයක් නැත.
  1. මෙම කරුණුවලින් බොහොමයක් 2015.12.11 දින ගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුලු දේශපාලන නායකයන්ගේ සහභාගීත්වය ඇතිව පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බත්තරමුල්ල ග්‍රෑන්ඩ් මොනෑෂ් ශාලාවේදී පළාත් පාලන සීමා නිර්ණය පැමිණිලි පිළිබඳව පැවැත් වූ සාකච්ඡාවේදී අප කමිටුව විසින්ද දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින්ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින්ද පෙන්වා දෙන ලදී.
  1. එම වෙනස්කම් හෝ සංශෝධන පාර්ලිමේන්තුවෙන් නීති පනවා සිදු කළ යුතු වේ. ඒ දෝෂ සම්බන්ධයෙන් අපගේ කමිටු වාර්තාවට දොස් නැගීම පිළිබඳව බෙහෙවින් කණගාටු වෙමු.
  1. ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට හේතු අවශ්‍ය වන්නේ නම් අපට දොස් කීමෙන් වැලකී ඒ අවශ්‍යතාව සෘජුව ප්‍රකාශ කර ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව අපට දේෂාරෝපණය කරන සැම දෙනා වෙත කාරුණිකව පෙන්වා දීමට කැමැත්තෙමු.   

ටී. අශෝක පීරිස්, සභාපති,
උපුල් කුමාරප්පෙරුම,සාමාජික.
සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුව.

 (2012 අංක 22 දරන පනතේ 3 වගන්තිය යටතේ පත් කරනු ලැබූ කමිටුව)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress