මහින්ද මේ වෙලාවේ එන එක අවුලක්‌
Posted on January 7th, 2017

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

ආණ්‌ඩුව පළාත් සභා සඳහා 13 වැනි ව්‍යවස්‌ථාවෙන් හිමිකර දී ඇති බලතල මුළුමනින් ක්‍රියාත්මක නොකළත් ව්‍යවස්‌ථාවේ එය එසේ පැවතීම අනතුරක්‌ බව ඔබ කිහිපවර ප්‍රකාශ කළ කාරණයක්‌. නමුත් යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් පළාත් සභා බලතළ පුළුල් කළ යුතු බවට යෝජනා වී තිබෙනවා?

පළාත් සභා අපේ රටට නොගැලපෙන ආයතනයක්‌ බව මගේ මතයයි. නමුත් එම ආයතන අහෝසි කිරීමට කිසිම දේශපාලන පක්‌ෂයක්‌ ක්‍රියා නොකරන්නේ ඊළඟ මහ මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේදී පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහය අත්‍යාවශ්‍ය නිසා. තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමට කැමති කිසිම දේශපාලනඥයෙක්‌ පළාත් සභා අහෝසි කිරීමට ක්‍රියා කරන්නේ නෑ. පළාත් සභා අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වුවත් එසේ කිරීමට දේශපාලනයම අද බාධකයක්‌ව තිබෙනවා. එලෙසම 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ද නොහැකි වුවත් එහි තිබෙන රටට අහිතකර වගන්ති ක්‍රමානුකූලව හා බුද්ධිමත්ව ඉවත් කිරීමත් අද අත්‍යාවශ්‍යය. බුද්ධිමත්ව එය කළ යුතු යෑයි මා කියන්නේ එයින් සුළු ජාතීන්ට හිරිහැරයක්‌ සිදු නොවන ආකාරයට එය කළ යුතු නිසාය.

13 වැනි ව්‍යවස්‌ථාවෙන් පොලිස්‌ බලතල පළාත් සභාවලට හිමි කර තිබුණ ද එය මුළුමනින් ක්‍රියාත්මක කිරීමෙන් උතුරට හෝ නැගෙනහිරට කිසිදු සෙතක්‌ සැලසෙන්නේ නෑ. සිදුවන එකම දේ ත්‍රස්‌තවාදය යළි හිස එසවීමට හැකි ආයතනයක්‌ පණගැන්වීම පමණයි. පළාත් සභා සඳහා ව්‍යවස්‌ථාවෙන් හිමිව ඇති පොලිස්‌ බලතල සම්බන්ධයෙන් කිසිවෙකු අධිකරණය හමුවට ගියහොත් රීට්‌ ආඥාවක්‌ නීතිමය වශයෙන් ලබාගැනීමට හැකියාවක්‌ පවතී. එමනිසා පළාත් සභාවලට ලබා දී ඇති පොලිස්‌ බලතල ව්‍යවස්‌ථාවෙන්ම ඉවත් කළ යුතුය.

ඉඩම් සම්බන්ධයෙනුත් දැනට පවතින තත්ත්වය කිසිසේත්ම වෙනස්‌ නොකළ යුතුය. අදටත් එම බලය පවතින්නේ ජනාධිපතිවරයා සතුවයි. රටේ ආරක්‌ෂාව සඳහා මේ තත්ත්වයන් මෙලෙස පැවතීම ඉතාමත් අවශ්‍ය වේ. වර්තමානයේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටු මේ බලතල ඉවත්කළ යුතු යෑයි යෝජනා කිරීම විශාල අර්බුදයකට මඟපාදයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිහිප අවස්‌ථාවකදී ලබා දුන් යම් යම් නිගමනයන් නිසා ඒ අර්බුදය මඟහැරී තිබේ.

ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීම සහ පළාත් සභා බලතල පුළුල් කිරීමේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටු තීරණ රටේ අනාගතය පිළිබඳ ඇති කරන බලපෑම කෙබඳුද?

මෙය ඉතාමත් භයානක දෙයක්‌. පළාත් සභාවලට දැන් පවතින නීතිය යටතේ විශේෂ නීති සතුව තිබෙන්නේ මධ්‍යම රජයට පමණයි. ආණ්‌ඩුකාරවරයා යනු මධ්‍යම රජයේ සංකේතයයි. ඔහුගේ බලතල පළාත් සභාවලට යටකිරීම යනු මධ්‍යම රජය සතු බලතල පළාත් සභා වෙත උදුරා ගැනීමයි. එයින් පළාත් සභාවක්‌ බලසම්පන්න වීම නොවැළැක්‌විය හැකියි. මේ අනුව එවැනි පළාත් සභාවකට විදේශ ආධාර පවා ලබාගත හැකි තත්ත්වයක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකියි. එය රටේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නෑ.

නව ව්‍යවස්‌ථාවෙන් රට තුළ පෙඩරල් ක්‍රමයක්‌ ඇතිවිය හැකිද?

එවැනි අනතුරක්‌ මතුවුණේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමගම බවයි මගේ අදහස. පළාත් සභා ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුත්තේ ද ඒ නිසයි. නව ව්‍යවස්‌ථාවෙන් පළාත් සභාවලට වැඩි බලතල ලබාදීම යනු එනම් මධ්‍යම රජයේ සංකේතය වන ආණ්‌ඩුකාරවරයාගේ බලතල හෑල්ලු කිරීම තුළින් සිදුවන්නේ එයයි.

අපේ රටට අලූත් ව්‍යවස්‌ථාවක්‌ කිසිසේත්ම අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ පවතින ව්‍යවස්‌ථාවේ ඇති යම් යම් දුර්වල ස්‌ථාන සංශෝධනය කරගැනීමයි. මේ අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට දරන ප්‍රයත්නය එක්‌කෝ පෙඩරල් ක්‍රමයක්‌ රට තුළ ඇතිකිරීමට හෝ එක්‌ ජන කොටසකට විශේෂ වරප්‍රසාද ලබා දීමේ අරමුණින් සිදුකරන්නක්‌ බවයි මගේ අදහස. ධනවාදය පිටුදැක මුළුමනින්ම සමාජවාදී රාජ්‍යයන් ගොඩනැගීමට කිසිදු රටකට මේතාක්‌ හැකිවී නැත. එමනිසා ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ නම් බුද්ධිමත් දේශපාලනඥයින් හා ජනතාව එහි අරමුණු පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බවයි මගේ අදහස.

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ‘හොඳ නරක’ ගැන මේ දිනවල කතාබහ අතරට ආණ්‌ඩුව පෙරළා දැමීම පිළිබඳ කතාබහකුත් දැන් එකතු වී තිබෙනවා. මේ මොහොතේ එවැනි අභියෝගයක්‌ මතුවීම තුළ ඇත්තේ යෝජිත නව ව්‍යවස්‌ථාව අඩපණ කිරීමක්‌ද?

ආණ්‌ඩුව මේ මොහොතේ මැතිවරණයකට ගියොත් ආණ්‌ඩුව පරාජයට පත්වීමට වැඩි ඉඩකඩක්‌ ඇති බව මගේ අදහසයි. මේ අවුරුද්දේ මේ ආණ්‌ඩුව පෙරළන බව මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කර ඇතත් යම් හෙයකින් ඔහු එය සිදුකළහොත් එය දේශපාලනික වශයෙන් ඔහු ගන්නා වැරදි තීරණයක්‌. මා එසේ කියන්නේ මේ අවස්‌ථාවේ මහින්ද රාජපක්‌ෂ මහතාට ඇතිකළ හැක්‌කේ බලවත් ආණ්‌ඩුවක්‌ නෙමෙයි. එය 2020 වන විට මැතිවරණයකට මුහුණ දීමට සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද හවුල් ආණ්‌ඩුවක්‌ ඇතිවී තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේත් එක්‌සත් ජාතික පක්‌ෂයෙත් අරමුණ වන්නේ 2020 දී තනි එජාප ආණ්‌ඩුවක්‌ ඇතිකරගැනීමයි. මේ අවස්‌ථාවේ මහින්ද රාජපක්‌ෂ මහතා යම් හෙයකින් ආණ්‌ඩු බලය ගත්තොත් එය අනතුරුදායක වන්නේ රටේ වර්තමාන ප්‍රශ්නවලට මුහුණදීමට හැකි කණ්‌ඩායමක්‌ ඔහු සතුව නැති නිසයි.

මට සිතෙන විදිහට රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්‌ෂ මහතාටත් තිබෙන්නේ එකම න්‍යාය පත්‍රයක්‌. මේ ආණ්‌ඩුව දැන් ක්‍රියාකරගෙන යන ආකාරයට මහින්ද රාජපක්‌ෂ මහතාට යළි බලයට ඒමට හැකිවන ආකාරයට ඔවුන් පාරක්‌ කපාගෙන යන බව පේනවා. ඔහු බලය ගත්තොත් ඔහුට ආණ්‌ඩු කරන්නට වෙන්නේ ජනතාව ප්‍රතික්‌ෂේප කළ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමගයි. මේ පිරිසේ වැඩිදෙනා රටට ආදරය කරන අය නෙමෙයි. ඔවුන් වැඩිදෙනා අවස්‌ථාවාදියෝ. තමන්ගේ යහපත වෙනුවෙන් දේශපාලනය කරන අය. මේ වෙලාවේ මහින්ද රාජපක්‌ෂ මහතා බලය ලබාගත්තොත් ඉතිරි අවුරුදු තුනේ දී ඔවුන් මහින්ද රාජපක්‌ෂ මහතා විනාශ කරනවා. ඒ අවසරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට 2020 දී ප්‍රබල එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ ඉඩකඩ ලැබෙනවා.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

3 Responses to “මහින්ද මේ වෙලාවේ එන එක අවුලක්‌”

  1. Piyadigama Says:

    නැති කලට නැති නෑයෝ ඇති කලට කුමටද?

    අද පෙරට නොඑන මහින්දගෙන් හෙට වැඩක් නැත. රටට නායකයන්, වීරයන් අවශ්‍ය අදයි.

    තමුන්ගේ දිස්ත්‍රික්කය වන හම්බන්ටෝටවත් බේරා ගන්නට බැරි අය රටම බේරාගන්නේ කොහොමද?

  2. Ananda-USA Says:

    I agree with Gomin Dayasiri, that it is ESSENTIAL to COMPLETELY ELIMINATE Provincial Governments. For that to be possible, 13th Amendment, ILLEGALLY IMPOSED BY FORCE by India upon Sri Lanka, should be REPEALED!

    Better still, a New Constitution that PROHIBITS all SUB-NATIONAL local governments, and AFFIRMS the National Government at the CENTER as the ONLY Government of Sri zlanka should be passed.

    Is this possible to do?

    It is possible to achieve only if the Yamapalana government is ovrrturned and the UNPatriotic party is COMPLETELY OUSTED from its current role in government. Until then, it is possible only to prevent the passage of the New Constitution with its devolution of executive, police and land powers to the Provincial Governments.

    If the Yamapalana government is OUSTED, then the CONDITIONS EXIST IN THE COUNTRY NOW to craft a brand New Constitution that will be IMMUNE to separatist demands in the future.

    ELSEWHERE In my comments at LankaWeb, I have outlined the ESSENTIAL ELEMENTS of such a governmental that would FRUSTRATE FOREVER the designs of Sri Lanka’s unpatrioric separatist communities.

    It is difficult to raise the consciousness of the voting public to the danger inherent in delaying the implementation of these protections through Sri Lanka’s Constitution.

    However, that level of alarm and sensitivity to the mortal danger the nation faces is present in the public’s consciousness today.

    Let the Payritic Forces of Sri zlanka RISE UP to le erase this public mood that exists today, to overturn thus Yamapalana government, replace it with a Patriotic government and pass a New Constitution that would be IMMUNE to the dangers the Nation faces today, without going from one crisis to another.

    Let this festering problem be solved ONCE AND FOR ALL NOW!
    The separatist created the problem, let us solve it snd confound them forever! SEIZE THE DAY …. CARPE’ DIEM!

    Embala Sinhalayeni, Apey Maubima Aaraksha Karau!

  3. S.Gonsal Says:

    Looks like Gomin=Gonsal=Andare=Lorenzo all asking for the same thing. Only Charles Kumaraya asking us to follow MR to rescue the country, don’t talk about 13A.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress