ෆෝර්සෙප්ස් ඩිලිවරි
Posted on January 16th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

දරු උපත් වලදී ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු සමහරක් විට භාවිතා කරති. මෙලෙස ඩැහි අඬු භාවිතා කරන්නේ දරුවාගේ හිස උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදීය. සමහර විට දරුවාගේ තට්ටම් ද උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා තිබේ. එවැනි අවස්ථා වලදී ද ඩැහි අඬු භාවිතා කරති.

ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු භාවිතය සියවස්  තුන හතරක් ඈත අතීතයට යයි. මධ්‍යකාලීන යුරෝපයේ ඩැහි අඬු භාවිතා කොට ප්‍රසව වේදනා අඩු කොට දරු උපතකට උදව් කල වින්නඹුවක්  පල්ලිය විසින් පණ පිටින් පුලුස්සා මරා දමන ලදි. ඊට හේතුව වූයේ දෙවියන් විසින් ගැහැණියට ආරෝපණය කර තිබූ ප්‍රසව වේදනාව කෘතිම ලෙස ඩැහි අඬු භාවිතයෙන් වින්නඹුව අඩු කරන ලද නිසාය.

ෆෝර්සෙප්ස් ඩිලිවරි වල සංකූලතා තිබිය හැකිය. ළදරු හිස හෝ තට්ටම් උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදී අඞු භාවිතා කල යුත්තේ ඉතා ප්‍රවේශමිනි. අනිසි ලෙස අඞු භාවිතා කල හොත් මවගේ යෝනි මාර්ගය ඉරී යාම , ළදරු හිස තුවාලවී පසුකාලීනව වලිප්පු වැනි තත්වයන් , අධ්‍යාපන දුබලතා ඇතිවීමේ සම්භාවිතාවන් තිබේ.

ruwan16011701

වරක් මාතලේ මූලික රෝහලේදී එක් නවක වෛද්‍යවරියක් වැරදි ලෙස අඞු දමා ළමයා එලියට ගැනීමට තැත් කල අතර ළදරු හිස ගෙලෙන් වෙන් වී අතට ආවේය. ළදරු හිස චක් හඞ නගමින් සූතිකාගාරයේ පොළවට වැටුනි. මෙය දුටු සූතිකාගාරයේ හෙදියක් ක්ලාන්ත වූවාය.  ළදරු සිරුර කවන්ධ රූපයක් සේ ප්‍රසව මාර්ගයේ හිරවී තිබූ අතර පසුව එය ඉවතට ඇද ගන්නා ලදි.

අද මෙන් නොව ඒ කාලයේ (1994) සෝෂල් මීඩියා නොතිබූ නිසා මේ සිද්ධිය යට ගියේය. එසේම නවක සීමාවාසික වෛද්‍යවරියක වූ නිසා මේ සඳහා ඇයට චෝදනා ගොනු නොකරන ලදි.   සිතා මතා නොවූවද මේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම එකී  වෛද්‍යවරියට බලපෑ අතර ඇය නිහඞව තැවුනා කියා මම සිතමි.

මාගේ වෘත්තීය ජිවිතයේදී මම ෆෝර්සෙප්ස් ඩිලිවරි විසි පහක් තිහක් පමණ කොට තිබේ. දෙවියන්ට ස්තූති වන්නට මේ ෆෝර්සෙප්ස් ඩිලිවරි වලදී සංකූලතා මතු වූයේ නැත. මෙලෙස නිවැරදි අන්දමින් මට ෆෝර්සෙප්ස් නොහොත් අඞු භාවිතා කිරීම උගන්වන ලද්දේ ආනන්ද රණතුංග , නීල් සෙනෙවිරත්න , අජිත් සේමගේ යන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු විසිනි. ඒ නිසා මම ඔවුන් විසින් දුන් දැණුමට නය ගැති වෙමි.

මීගමුව රෝහලේදී මා විසින් කරන ලද ෆෝර්සෙප්ස් ඩිලිවරියක් මට තවමත් මතකය.

උදෑසන දහයට පමණ ලේබර් රූම් එකේ සිටි මාතාවක් තවමත් දරුවා ප්‍රසූත කර නැති බව සීමාවාසික වෛද්‍ය බාස්කරන් මට දැණුම් දුන්නේය. මම මේ කාන්තාව පරික්‍ෂා කොට බැලුවෙමි. ළදරු හිස ප්‍රසව මාර්ගය අවහිර කොට ඇත. අඞු දමා දරු උපත සිදු කල යුතුය. ඒ සඳහා මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යතුමාව දුරකතනයෙන් අමතා ඔහුගේ අනුමැතිය ගත්තෙමි.

ගුණපාල මිස් මට කොළ පැහැති රෙද්දක ඔතා තිබූ ෆෝර්සෙප්ස් දෙක දුන්නාය. මම අඞු දෙක ප්‍රසව මාර්ගයට දමා ළදරු හිස දෙපසට තබා ස්ථායි කර ගත්තෙමි. වෛද්‍ය බාස්කරන් මගේ දකුණු පසින් ද මිඩ් වයිෆ් තිසේරා වම් පසින් ද සිටි අතර ගුණපාල මිස් මඳක් පසුපසට වී සිටියාය.

මම සෙමෙන් සෙමෙන්  අඞු දෙක ඇද්දෙමි. උපත් මාර්ගයේ සිරවී තිබූ ළදරු හිස ක්‍රමක් ක්‍රමයෙන් එලියට එන්නට විය. ඒ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනිය වූ තිසේරා ගැබිණි මවට ” තටමන්න තටමන්න “කියා නියෝග කලාය. ගතවූයේ මොහොතකි. ගැබිණි මවට මළපහ පිට වූවාය. ලේබර් රූම් එකට ඒමට පෙර මව්වරුන්ට වස්ති දෙන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට දන්වා තිබුනද මේ වස්ති දීම නිසි ලෙස සිදු නොවන බව මට තේරී තිබුනි. එය මම දැන් අත් විඳිමි.

ගැබිණි මව තැටමීමත් සමගම දියර ලෙස හෝස් ගා කක්කා පිටවූ අතර මගේ අත් වල සහ කමිසයේ කලිසමේ අසූචි තැවරිනි. බාස්කරන් සහ තිසේරා ඇසිපිය හෙලන මොහොතකදී පසෙකට දිව් අතර ළදරුවා අතරමග හිරවී සිටින නිසා මම අසූචි ස්ප්‍රේ එකද නොතකා අඞු දෙක සෙමෙන් සෙමෙන් ඇද්දෙමි.

ගුණපාල මිස් ” අනේ ඩොක්ටර් කක්කා නෑවුනා නේද?  කියා අනුකම්පිත ස්වරයකින් කීවාය. එය ඇසූ මා මඳක් කෝපව ” ඒකට කමක් නෑ පී.එච්.ඕ ට එන්න කියන්න කියා උස් හඞින් කීවෙමි. ගුණපාල මිස් දුරකථනය වෙත දිව්වාය. ඒ අතරවාරයේ මම ළමයාව එලියට ගත්තෙමි.

ළදරුවා හුස්ම ගන්නේ නැත. මම ළදරුවාව කකුල් දෙකෙන් ඔසවා පිටට තට්ටු කලෙමි. තවද සකර් එක ක්‍රියාත්මක කොට ළදරුවාගේ නාස් මාර්ගය මුඛය සුද්ද කලෙමි. ඒ අතර වාරයේ පී.එච්.ඕ හෙවත් ළදරු වෛද්‍යවරිය ආවාය. ඇය නාසය වසාගෙන මඳක් ඈතින් සිට ළමයා මවගේ ඇඳ මත තබන ලෙස කීවාය. මම ඇයට කීකරු වූයෙමි.

පී.එච්.ඕ ළදරුවා අරගෙන  අවශ්‍ය කටයුතු කළාය. මම මව වෙත ගොස් ඇයගේ එපිස් එක මසා රුධිර වහනය නවතා දැමුවෙමි.

එදින ක්ලිනික් දිනයක් නිසා මා ඇඳ සිටියේ අත් දිග කමිසයකි. ටයි   එකක්ද දමා සිටියෙමි. නමුත් දැන් මා කක්කා වලින් නෑවී තිබේ. සමහරු මා වසූරිය රෝගියෙකු මෙන් සලකා ඈත් වූවද ගුණපාල මිස් ග්ලවුස් දෙකක් දමාගෙන මගේ කමිසයේ තැවරී තිබූ අසූචි ගෝස් කැබැල්ලකින් සුද්ද කලාය.

ඒ අතරවාරයේ ක්ලිනික් එකට එන්නට කියා මට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඇමතුමක්ද ආවේය. එය මගේ ඛණ්ඩන සීමාව විය. ” ගුණපාල මිස් මම ක්වාටස් එකට යනවා ” කියා මම නිල නිවස වෙත ගියෙමි. අතර මගදී මාව හමුවූ වෛද්‍යවරු , හෙදියෝ රෝගීහු  වහ වහා ඈත් වූහ.

නිල නිවසට ගිය මම ඇඳුම් සියල්ල කුණු ගොඩට දමා පැයක් පමණ ස්නානය කලෙමි. ඉන් පසු අළුත් ඇඳුමක් ඇඳ සෙන්ට් පවුඩර් දමාගෙන  වාට්ටුවට ගියෙමි. ඒ යන අතරමගදී වෛද්‍ය සිරිවර්ධන මට හමු විය.

වෛද්‍ය සිරිවර්ධන ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීය. ඔහු ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා යටතේ වැඩ කලේය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වෛද්‍ය සිරිවර්ධන විහිළුවට බරය. මා දුටු විගසම ඔහු මට කතා කලේය.

” රුවන් කොහොමද ? ජී – සෙවන් ( ගූ හතයි) කියලා ආරංචියි මොකද උනේ ?

” කක්කා වේලෙන්නත් ඉස්සර උඹලට නිවුස් එක ගියානේද ? කියා මම සිරාගෙන් ඇසුවෙමි.

වෛද්‍ය සිරිවර්ධන කිසිවක් කීවේ නැත. ඔහු සිනාසුනේය. මමට සිරාට සිනහවකින් සංග්‍රහ කොට ලේබර් රූම් එකට ගියෙමි.

අඞු දැමූ මව දරුවාට කිරි පොවමින් සිටියාය. සංකූලතාවයකින් තොරව අඞු උපත සිදුවී තිබේ. මවත් ළදරුවාත් සුවෙනි. මම සුසුමක් හෙළුවෙමි.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress