මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක්
Posted on January 25th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන සටහනක් ලිවීමට මම අදහස් කලෙමි. මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ යුග පුරුෂයෙකි. ඔහු දක්‍ෂ සන්නිවේදකයෙකි. එසේම භාෂා ප්‍රේමියෙකි. විද්‍යා දැනුම පොදු ජනතාව අතර ප්‍රචලිත කිරීමට ඔහු පෙරමුණ ගත්තේය​. කොළඹ වෛද්‍ය විද්‍යා පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්‍යවරයෙකු වූ එතුමා ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්‌ඩලයේ සභාපති ලෙසද කටයුතු කලේය​.
මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතා ගැන නොදත් පාර්ශවයක් ද තිබේ. මා එය සටහන් කරන්නේ එතුමාට අපහාසයක් කිරීමේ අදහසකින් නොවේ. මගේ තක්සේ‍රුව අනුව අප අතර සුරුවම් සහ ශුද්ධ වූ මිනිසුන් නැත​. අප සියළු දෙනාම පුහුදුන් මිනිසුන් වන අතර පොදුමිනිස් දුබළතා වලින් යුක්තය​.  මෙය මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාටද ආදේශ වේ. 
මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ මහතාට වෛද්‍ය සිසුන් බිය වූහ​. එයට එක් හේතුවක් නම් ඔහු තම සිත් නොගත් සිසුන්ව විභාග වලදී ඉලක්ක කර ගත් නිසාවෙනි. මේ පිලිබඳව බොහෝ වෛද්‍යවරු මා සමග කියා තිබේ. මෙහිදී මට එතුමා අරබයා එක් සිද්ධියක් මතක් වේ. 
වෛද්‍ය  ප්‍රසන්න ගුණසේන නාලන්දා විද්‍යාලයේදී උසස් පෙළ පන්ති වල ඉගෙන ගත් සමයේ  නාට්‍යයක් කලේය​. මේ  නාට්‍යයේ ඔහු නිරූපනය කලේ ද්විත්ව චරිත ගති ගුණ තිබූ මත්ද්‍රව්‍ය හා මත් පැන් නිවාරණ ආයතනයක සේවය කරන කුහක ලොක්කෙකුගේ චරිතයකි. 
කොල්ලන් විසින් කරන ලද මේ නාට්‍යය පිලිබඳව මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ උරණ වූ අතර වරක් නාලන්දා විද්‍යාලයට පැමින (මේ 1985 වසර විය යුතුය​) මේ නාට්‍යය සහ මේ නාට්‍යයේ නළුවන්ව තදබල ලෙස විවේචනය කලේය​. මේ කාලයේ ප්‍රසන්න ගුණසේන කොලඹ වෛද්‍ය විද්‍යාලයට තේරී සිටි අතර ඔහු සැබවින්ම මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩට බිය විය​. එසේම විභාග වලදී ඔහුට නෝට් නොවී සිටීමට අමතර වෙහෙසක් ගත්තේය​. 
වෛද්‍ය මාලා කිරිඇල්ල මගේ ඥාති සහෝදරියකි. ඇය කොලඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවාය​.  මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ ඔවුන් ගේ පවුලේ හිතවතෙකු වූවද මාලා කිරිඇල්ල කොලඹ වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය   කෝදාගොඩට බිය වූයේ ඔහුගේ අන්ප්‍රෙඩික්ටබල් හෙවත් භාවි කථනීය කළ නොහැකි ගති නිසාය​. මහාචාර්‍ය   කෝදාගොඩ සමහර විට වෛද්‍ය පීඨයේදී යක්‍ෂාවේසයෙන් ක්‍රියා කල බව වරක් මාලා කිරිඇල්ල මා සමග පැවසුවාය​. 
මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ තමන්ට යටින් පහර දුන් බව වරක් (2009 වසරේදී) මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මට කීවේය​. එසේම ඇතැම් අවස්ථා වලදී කෝදාගොඩ මහතා තමන් ගේ සමකාලීන මහාචාර්‍යවරු කෙරෙහි ඉරිසියා සහගතව ක්‍රියා කල බවටද මට තොරතුරු ලැබී තිබේ. 
මහාචාර්‍ය නන්දදාස කෝදාගොඩ අප අතරින් වියෝ වී බොහෝ කල්‍ ය . මළවුන් ගේ නුගුන කථා නොකල යුතු බව අපගේ සංස්කෘතියේ කියා තිබේ. එහෙත් මම මේ අංගයට එකඟ නොවෙමි. එය බලය අතේ තිබෙන මිනිසුන්ට වැරදි දේ කිරීමට පොළඹවයි. මිනිසුන් තමන්ව ජීවත් වන කාලයේදී පමණක් නොව තමන් ගේ මරණින් පසුවද විචාරයට ලක් වන බව දැනගෙන සිටීම ඔවුන් හරි දේ කිරීමට මෙහෙයවයි. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress