විශේෂ වෙසක්‌ දින ලිපිය 
Posted on May 16th, 2017

ලහිරු මුදියන්සේ 

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌ වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ.

ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතර සතිපට්‌ඨානය, පංච උපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂ වෙන්නා වූ සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවයන් තණ්හා, දිට්‌ඨි, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධ වන දිශාවට ජීවත් වුනා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනා නම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළදාම් ගණයටම බව කිවයුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. තමනුත් සතුටුවෙලා අනුන්වත් සතුටු කිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ සීලයක්‌ සමාදන් නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවා වූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වූ බුදු සමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුළුවන්. නමුත් මේවා භවයේ ලබන්නා වූ සිල්ලර සැපයන්මයි.

අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වූ ඉන්ද්‍රීය ධර්මයන්ගේ ස්‌වභාවයන් . ඒ නිසා අර්ථයෙන් විවිධ වූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවයක්‌මයි. එම ධර්මතාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ පොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌ සමග උපමා කරලා ‘මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතිගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි’ කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිත වලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තූරා බුදුරජාණන්වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.

ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ ස්වභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොඳින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.

භික්‌ෂුව වැඩසිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සඳහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සෙ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදිවුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි. මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුනේ.

ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුණු කොට බලද්දි භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘද්ධ අම්මා. වයස අවුරුදු අසූ පහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළාවූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌වුන විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුන සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව්කුසක බිළිඳියක්‌ව බැසගත්තා.

දැන් මේ බිළිඳිය බැසගත් මව් කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇති වුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරු පැටියෙක්‌, සුරතල් දරු පැටියෙක්‌, ලස්‌සන දරු පැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබි සූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි,මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍ය ලෝකයෙන් පහළවූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරලොව ගිය අර වයෝවෘද්ධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌ වුන දරු ගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නලවන්න තොටිලි හදනවා. ප්‍රසූත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නැමති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්දරාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුලාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාර ධර්මයන් නැමති යෂ්ටිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නැමති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රොහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්,රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයින්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?…. මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුලයේ ඉපදිලා,අලි කුලයේ ඉපදිලා, කුකුල් කුලයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා.

රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ජන්ද රාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ජන්ද රාගයෙන් මිදීමට කැමත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.

තොරණ, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු…. මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අග නගරය යම් සේ චමත්කාරජනකද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.

මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සහයක්‌මයි. මේ උත්සහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.

අපි මේ පුංචි බිළඳු රූපයට මොන තරම් ඡන්දරාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිදෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත් වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුල තෙරපෙමින් දුක්‌ විඳිනවා නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත් වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය,රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්දරාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා !

ධර්ම සාකච්ජාවක්‌ අතරතුර එක තරුණ මවක්‌ භික්‌ෂුවගෙන් විමසුවා ‘හමුදුරුවනේ, මට කුඩා දරුවෙක්‌ සිටිනවා. දරුවාගේ කටයුතුත් කරමින්, සැමියාගේ කටයුතුත් කරමින්, ගෙදර දොර කටයුතුත් කරමින් මම කොහොමද මේ ධර්මය තුළ ජීවත්වෙන්නෙ කියලා මේ ප්‍රශ්නය පිංවත් ඔබටත් අදාළ ප්‍රශ්නයක්‌ බව ඔබටත් වැටහෙනවා ඇති. භික්‍ෂුව ඇයට දුන්න පිළිතුර තමයි ‘දැන් ඔබ බැඳීම්වලට බැඳිලයි සිටින්නේ. ඒ නිසා බැඳුණු බැඳීම් ගැන දුක්‌ වෙන්න එපා. බැඳුණු බැඳීම් උදෙසා ඔබෙන් වියයුතු යුතුකම් කොටසක්‌ තිබෙනවා නම් ඒවා නොපිරිහෙලා ඉටු කරන්න. කරන්නා වූ හැම යුතුකමක්‌ම කුසලයක්‌ සේ දකින්න. බැඳුනා වූ හැම බැඳීමක්‌ කෙරෙහිම ඇලීමෙන් ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන්ම බලන්න. බැඳුනා වූ බැඳීම් වලින් ඔබ ලබන අත්දැකීම් අලුත් බැඳීම් ඇතිකර නොගැනීමට කමටහන් කොට ගන්න. කිරි දරුවෙක්‌ ඇති මවකට වුවද තමා දක්‌ෂ නම් නිවසේ සිටිමින්ම ගිහි පිංවතුන්ලාට සමාදන් විය හැකි උපරිම ශීලයක්‌ සමාදන් විය හැකි හෙයින් ශීලයට උපරිම වටිනාකමක්‌ දෙමින් කටයුතු කරන්න. තණ්‌හා, මාන්න, දිට්‌ඨින්ගෙන් තොරව ඉහත කාරණා ඉටුකරන ගමන් ඔබට තාවකාලික සැපයක්‌ යෑයි දැනෙනා එකම සිතුවිල්ලක්‌ හෝ අවබෝධයෙන් යුතුව අනිත්‍යය දකිමින් අත්හැරීමට දිනපතා පුරුදුවන්න. මේ කරුණු කාරණා දිනපතා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතය තුළින් වැඩෙන විට තවත් නකුල මාතාවක්‌, විශාකාවක්‌ වීමට අවශ්‍ය ධර්මතාවයනුයි ඔබ තුළින් ක්‍රියාත්මක වෙන්නේ.

අද වැනි වෙසක්‌ පුරපසොලොස්‌වක දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක ඇතිවෙන හේතුව තමයි තෘෂ්ණාව. කුමක්‌ කෙරෙහිද තෘෂ්ණාව සකස්‌ වෙන්නෙ රූපය කෙරෙහි. රූපය කෙරෙහි ඇති කරගන්නා තෘෂ්ණාව නිසාමයි සත්වයා මේසා භවගමනේ දුකට පත්වෙන්නේ. තෘෂ්ණාවෙන් මිදීමේ මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉහත එක්‌දරු මවට දෙන ලද පිළිතුර තුළ එම චර්යාවන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඒ තුළින් ආවරණය වෙනවා. ගිහි ජීවිතයකට මොනතරම් වටිනාකමක්‌ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලබා දී තිබෙන්නේ.

රූපයන් කෙරෙහි චන්දරාගය ඔබ තුළ වැඩිවෙනකොට බිරිඳ, සැමියා, දරුවන්, සම්පත් කෙරෙහි දැඩි තෘෂ්ණාවක්‌ සකස්‌වෙනකොට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පහත ධර්ම කාරණය සිහියට ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වඩින පාර හරහා දිවයන කඩිරැලක්‌ පෙන්වලා ආනන්ද ස්‌වාමින් වහන්සේට දේශනා කරනවා ‘ආනන්ද මේ කඩිරැලේ සිටින සෑම කඩියෙක්‌ම අතීතයේ සක්‌විති රජ වෙලා ඉඳල තිබෙනවා’ කියලා. තිරිසන් ලෝකයේ කඩියාත් සක්‌විති රජ වෙලා ඉඳලා තිබෙනවා නම් පිංවත් ඔබ සංසාරයේ කී වතාවක්‌ නම් සක්‌විති රජ වෙලා ඉන්න ඇතිද? ඒ සක්‌විති රාජශ්‍රිය අත්විඳින්න ඇතිද? සක්‌විති රජ කෙනෙකුට තම පින් බලයෙන්ම පහලවෙන පංච කල්‍යාණයෙන් යුතු ස්‌ත්‍රී රත්නය, අහසින් ගමන් කරන ඇත් රත්නය, අහසින් ගමන් කරන අජානීය අශ්ව රත්නය, මහපොළවේ ඇති ඕනෑම සම්පතක්‌ සෘද්ධියකින් දැකිය හැකි පුරෝහිත රත්නය. අන්තඃපුර බිසෝවරුන් හරහා ලැබෙන දහසක්‌ පුතුන්….. මේසා අසිරිමත් වූ සම්පත් පිංවත් ඔබ සංසාරයේදී ලබල තිබෙනවා. මෙලොව ජීවත්වන සෑම කාන්තාවක්‌ම අතීත සංසාරයේ සක්‌විති රජවරුන්ගේ පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නය ලෙස ඒ අසිරිය විඳලා තිබෙනවා. සක්‌විති රජවරුන්ට දාව අසිරිමත් පුතුන් ලැබූ මව්වරුන් වෙලා ඉඳලා තිබෙනවා. සෘද්ධිමත් ඇතුන්, අසුන් පිට ගමන් බිමන් ගිහින් තිබෙනවා. අතීතයේ පිංවත් ඔබ ලැබූ මේ අසිරිමත් සම්පත්, රාජශ්‍රිය සමග ගලපා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇත්තේ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද. අතීතයේ සක්‌විති රජකෙනෙක්‌ හැටියට පංචකල්‍යාණයෙන් බබලන ස්‌ත්‍රී රත්නයක්‌ බිරිඳ කරගෙන සිටි ඔබ ඒ අසිරිමත් ස්‌ත්‍රීරත්නයත් වර්තමානයේ ඔබේ බිරිඳත් සංසන්දනය කොට බලන්න. අතීතයේ සක්‌විති රජවරුන්ගේ අසිරිමත් ස්‌ත්‍රී රත්නයක්‌ වූ පිංවත් ඔබ වර්තමානයේ ඔබ බැඳී ජීවත්වන ස්‌වාමිපුරුෂයා දෙස බලන්න. මොන නොවටිනා දෙයක්‌ කෙරෙහිද ඔබ මේ බැඳී සිටින්නේ. අතීත ජීවිතයේදී සෘද්ධිමත් ඇතුන් පිටින්, සෘද්ධිමත් අජානීය අසුන් පිටින් මහේශාක්‍ය ලීලාවෙන් අහසින් ගමන් ගිය ඔබ මේ ජීවිතයේදී යානාවක්‌ කොට ගත් ඔය යකඩ ගොඩ මොන තුට්‌ටු දෙකේ දෙයක්‌ද? අතීතයේ සක්‌විතිරජවරුන් එම රාජ්‍ය ඇමතිවරුන් ලෙස සිටි පිංවත් ඔබ මේ ජීවිතයේදී බලය යැයි අත්විඳින්නේ බියම නේද? බිය සකස්‌ වෙන තැන සකස්‌වෙන්නේ අකුසලම නේද? අතීතයේ ඔබ ලැබූ රාජ්‍යයන් යටත් කරගැනීමට සමත් අසිරිමත් යෝධ බල, යෝධ ශක්‌තිය ඇති පුතුන් හා සසඳා බලනකොට මේ ජීවිතයේදී ඔබ ලැබූ දරුවන් කවුරුන්ද? අතීතයේ පිංවත් ඔබ ලැබූ සම්පත් සමග සසදා බැලීමේදී මොන ‘නොවටිනා වටිනාකමක්‌ද’ මේ ජීවිතයේ ඔබ ලබා තිබෙන්නේ.

පිංවත් ඔබ කැමති වුණත් අකමැති වුණත් මෙය තමයි ඔබේ ජීවිතයේ යථාර්තය. ඒ නිසා ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ ඇත්ත ගැන සිතන්න. එවිට ඔබට දැනේවි මේ ලෝකයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌ හැටියට විඳින්න යම් සැපයක්‌ සම්පතක්‌ තිබෙනවානම් ඒ සෑම සම්පතක්‌ම අතීතයේ ඔබ අත්විඳලා අත්දැකලා තිබෙනවාය කියලා. සියලු සැපයන් අත්වින්දත් පිංවත් ඔබට බැරිවුණා ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. සක්‌විති රජවරයා තිරිසන් ලෝකයේ කඩියෙක්‌ බවට පත්වුණෙත්, ඔබ නැවත සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ බවට පත්වුණෙත් මේ අසීමිත තෘෂ්ණාව නිසාමයි. පිංවත් ඔබ මේ තාක්‌ සංසාරයේ ලෝකය තුළ වින්දා වූ අසිරිය හොඳටම ප්‍රමාණවත්. දැන් ලෝකයෙන් මිදෙන මාවතට එන්න බලන්න. ඒ කියන්නේ දුකෙන් මිදෙන්න. පිංවත් ඔබ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි ප්‍රහීන කළ යුත්තේ මේ දුකෙන් මිදීමට. එම නිසා පිංවත් ඔබ ස්‌ත්‍රි, පුරුෂ භේදයකින් තොරව අතීතයේ ඔබ අත්වින්දා වූ අසිරිමත් සැපයන්, මහේශාක්‍ය ජීවිත ගැන සිහිපත් කොට මේ ජීවිතයේදී ඔබ බැඳී ඇති රූපයන් සමග අතීත රූපයන් සංසන්දනය කොට මේ ජීවිතයේදී ඔබ ලබා ඇති අවම නොවටිනා සැපයන් සහ බැඳී ඇති රූප කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න. අවබෝධයෙන් කලකිරීම කියන්නේ ගැටීම නම් නොවේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ගැටීම සකස්‌වෙන තැනදීම ඇලීමත් තිබෙනවා. මොකද තමන් ගැටෙන්නේ යම් දෘෂ්ඨියක්‌ කෙරෙහි ඇලීම නිසාමයි. ගිහි ජීවිතය තුළ අවබෝධයෙන් කලකිරෙන තැනැත්තා තමා බැඳී ඇති බැඳීම් කෙරෙහි අවබෝධයෙන් කලකිරෙමින් එම බැඳීම් උදෙසා තමාගෙන් විය යුතු යුතුකම් ඉටුකරමින්, උපේක්‌ෂාව තුළයි ජීවත්වෙන්නේ. මේ උපේක්‌ෂාව තුළදී පිංවත් ඔබ තුළින් මෙතෙක්‌ නොකළා වූ කුසල් සිදුවෙනවා. ඔබ අවබෝධයෙන් කලකිරීමේ නාමයෙන් ගැටීම් සකස්‌කොට ගතහොත් නොකළා වූ අකුසල් ජීවිතය තුළින් සිදුවේවි. පෙනෙනවානේද බරපතළ වෙනස්‌කම් දෙක. නොදැනුවත්භාවය නිසාම සමාජය තුළ අප්‍රමාණ පිරිස්‌ අවබෝධයෙන් කලකිරීම, ගැටීමේ ස්‌වභාවයක්‌ ලෙසට පත්කොටගෙන අකුසල් සිදුකරගන්නවා. මෙවැනි අනුවණකම් නිසා පහසුවෙන් ලැබිය හැකි ධර්මයේ සැබෑ පිළිසරණ අප විසින්ම ඈත් කොට ගන්නවා. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදීමට අවකාශ ලැබෙන්නේ තණ්‌හා, මාන්න, දිට්‌ඨීන්ගෙන් තොරව ධර්මය ජීවිතයට ගලපා ගැනීමෙන්මයි.

කුමක්‌ නිසා පිංවත් ඔබ තණ්‌හාව ඇතිකරගන්නද? මාන්නය ඇතිකරගන්ත ද? දෘෂ්ඨින් ඇතිකරගන්නනද? මේ ඇස නිසා මාන්නය ඇතිකරගන්නද? මොකක්‌ද මේ ඇස කියල කියන්නේ. ලෙඩවෙන දෙයක්‌, නරක්‌වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, සුද එන, කබ, කඳුළු, සැරව එන දෙයක්‌. අන්ධ වන දෙයක්‌. ඔය ඇස මනසින් ගලවල අතට ගන්නකො. මස්‌ ගුලියක්‌ විතරමයි. නහරවල් එල්ලුන, රුධිරය තැවරුණ, දුගඳ, කුණුවෙන ඇසක්‌ මේක. මෙතැන තිබෙනවාද තණ්‌හාවක්‌ ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද මාන්නය ඇතිකරගන්න දෙයක්‌. මෙතන තිබෙනවාද දෘෂ්ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පිංවත් ඔබගේ ඇස ගැන පමණක්‌ නොවේ අනෙක්‌ සෑම ලොකු, කුඩා, ලස්‌සන, අවලස්‌සන මනුෂ්‍යයින්ටත් මෙය ගලපා දකින්න. සතර අපායේ ජීවත්වන සත්වයාගේ ඇසත්, දෙවියාගේ, බ්‍රහ්මයාගේ ඇසත් ඉහත ස්‌වභාවයේම බව දකින්න. ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙන්න.

දැන් පිංවත් ඔබ කන දෙස බලන්න. මොකක්‌ද මේ කන කියල කියන්නේ ලෙඩවෙන දෙයක්‌, නරක්‌ වෙන දෙයක්‌, වයසට යන දෙයක්‌, කලාදුරු බැඳෙනවා, සැරව පිරෙනවා, මස්‌දළු එනව, බිහිරි භාවයට පත්වෙනවා. ඔය කන ගලවල අතට ගන්නකො. මස්‌ ගොබයක්‌ විතරයි. රුධිරය, නහරවැල් තැවරුණ කුණුවෙන දෙයක්‌, කන තුළ තිබෙනවාද තණ්‌හාවක්‌, මාන්නයක්‌, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌. නැහැ. පුංචි කාලේ සුසිනිදු සුරතල්භාවයෙන් පැවති කන්පෙති වයෝවෘධ වෙනකොට ගොරෝසු කුල්ලක්‌ බවට පත්වෙලා. ජරා, ව්‍යාධි, මරණ කියන හිමිකරු මේවා අයිති කරගෙන.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසය ලෙඩවෙන දෙයක්‌, වයසට යන, මැරෙන දෙයක්‌, නාස්‌ කුහර දෙක තුළ රෝම කූප පිරිල, සොටු මස්‌ දළු, සෙම, ලේ පීනස, දිය පීනස නාසයේ කොටස්‌ කරුවන්. සෙම්ප්‍රතික්‌ෂාව හැදෙන කොට, පීනස හැදෙන කොට නාසය ප්‍රතික්‍රියා දක්‌වන්නෙ මොන තරම් කුරිරු ආකාරයටද? ඔය නාසය මනසින් ගලවල අතට ගන්නකෝ. සිදුරු දෙකක්‌ සහිත මස්‌ ගොබයක්‌ පමණමයි. මස අයිති කුණුවීමටයි. නිල මැස්‌සන්ටයි. දැන් ඔබ හිතන්න නාසය නිසා තන්හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌ තිබෙනවාද? නැහැ.

පිංවත් ඔබ දිව දෙස බලන්න. දිව ලෙඩවෙන, වයසට යන, මැරෙන දෙයක්‌. දිවේ මැලියම් බැඳෙනවා. කුණුකෙල බැඳෙනවා. ගෙඩි, බිබිලි එනවා, එක උදයක කට නොමැද්දොත් දිවේ දුගඳ ඔබට දැනිලා ඇති. මේ දිව මනසින් ගලවල අතට ගන්නකෝ. රුධිරය තැවරුණ, නහරවැල් තැවරුණ, මස්‌ ගොබයක්‌ පමණක්‌මයි. මේ කුණුවෙන මස්‌ ගොබයත් හරකෙක්‌, එළුවෙක්‌, ඌරෙක්‌ගේ දිව නමැති මස්‌ ගොබයත් අතර වෙනසක්‌ තිබෙනවාද? නැහැ. එකම ස්‌වභාවයමයි. වයෝවෘධ භාවයට පත්වෙනකොට ඔය දිවට දැනෙන රසය නොදැනී යනවා. ඔබ ජීවත්ව සිටියදීම දිව මැරෙනවා. මෙවන් දිවක්‌ කෙරෙහි තන්හාව, මාන්නය, දිට්‌ඨිය කුමක්‌ සදහා ඇති කරගන්නද?

පිංවත් ඔබේ මනස දෙස බලන්න. වරෙක රාග, ද්වේෂ, මෝහ කියන සිතුවිලි වලින් පිරිලා. තවත් විටෙක අලෝභ, අද්වේෂ, අමෝහ සිතුවිලිවලින් පිරිලා. හරියටම සුළඟ වගේ. ඇතිවෙන ඇලීම් ගැටීම් හේතුවෙන් මොහොතින් මොහොත කුසල් අකුසල් සිත් වෙනස්‌ වෙනව. සුගතිගාමී කුසල්, අපායගාමී අකුසල් සකස්‌ කොට දෙනවා. වරෙක ඔබව සතුටු කරවනවා. තවත් වරෙක ඔබව හඬවනවා. දුක සැප මුසු සංඥාවන් වේදනාවන් නිරතුරුවම සකස්‌ කොට දෙනවා. ඔබ වයෝවෘධභාවයට පත්වෙනකොට මනසේ තැන්පත්ව ඇති ධර්ම රූප මැකීයනවා. ඒ කියන්නේ මතකය මැරෙනවා. මෙවන් මනසක්‌ නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇතිකරගෙන ඇත. ඵලය මොකක්‌ද?

දැන් පිංවත් ඔබ කය දෙස බලන්න. මේක ලෙඩවෙන, වයසට යන, මැරෙණ කයක්‌. ආහාරයෙන්, ජලයෙන්, ඖෂධවලින් යෑපෙන කයක්‌. ආශ්වාසයෙන්, ප්‍රාශ්වාසයෙන් රැකෙන කයක්‌. කබ, කදුළු, දහඩිය, සෙම්, සොටු, අසූචි, මුත්‍රා, නිරතුරුවම පිටකරන කයක්‌. පිරිසිඳු නොකළොත් ගඳ ගහන කුණුවෙන, පණුවො ගසන කයක්‌. මෙතන ආඩම්බර වෙන්න දෙයක්‌ තිබෙනවාද? මම කියල තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියක්‌ ඇති කරගන්න දෙයක්‌ තිබෙනවාද? නැහැ.

දැන් පිංවත් ඔබ ආයතන හැටියට ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන බැලුවා. මේවායේ ගත යුතු කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. තිබුණේ ජරා, ව්‍යාධි, මරණමයි. මීළඟට ඔබ සතර මහා ධාතූන් හැටියට මේ ශරීරය අරගෙන බලන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‌ඨාන සූත්‍රයේදී දේශනා කරනවා ගව ඝාතකයෙක්‌ එළදෙනෙක්‌ මස්‌ කරල හතරමං හංදියක එම එළදෙනව මස්‌, බොකු, කටු, සම් වශයෙන් වෙන් කොට තබා විකුණනවා වාගේ පිංවත් ඔබේ ශරීරයත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් වෙන් වෙන් වශයෙන් කොටස්‌ කර බලන්න කියල. ඔබේ ශරීරයේ තද ස්‌වභාවයෙන් තිබෙන මස්‌. බොකු බඩවැල් ආදිය වෙනමත්, ශරීරය තුළ දියර ස්‌වභාවයෙන් තිබෙන සෙම්, සොටු, රුධිරය, මුත්‍ර, මේදය ආදිය වෙනමත් ශරීරයේ පඨවි, ආපෝ, වායෝ ධාතුන් සමග මුසු වී පවතින තේජෝ ස්‌වභාවයත් ශරීර අභ්‍යන්තරය පුරා තිබෙන වායෝ ස්‌වභාවයත් වෙන් වශයෙන් අරගෙන බලන්න. පිංවත් ඔබ ඔබේ ශරීරය නිර්මාණය වී තිබෙන සතර මහාධාතූන් ගැන කොතෙක්‌ බැලුවත් එතන තියෙන්නේ මසට අයත්, මස විනිවිද ගිය, ගඳගහන, කුණුවෙන, පණුවො ගහන දෙයක්‌මයි. මේ සතර මහ ධාතූන් නිසා තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගැනීමේ තේරුමක්‌ තිබෙනවාද? නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන්කරල පෙන්වලා තිබෙනවා. දෙතිස්‌ කුණුපයන් හැටියට. කෙස්‌, ලොම්, නිය, දත්, සම්, මස්‌, නහර… ආදී වශයෙන්. මේ එකින් එක වෙන් වශයෙන් අරගෙන බලන්න. මේ ශරීරය කොටස්‌ තිස්‌ දෙකකට වෙන් කරල අවයව හැටියට බලන්න. මේ කොටස්‌ තිස්‌දෙක තුළම තිබෙන්නේ ජරා, ව්‍යධි, මරණම නේද? ඒ කියන්නේ කුණුවීම, ගඳ ගැසීම, විනාශ වීම පමණක්‌ම නේද? මේ එකකවත් තිබෙනවාද මම කියල. තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය ඇති කරගන්න හේතුවක්‌. නැහැ.

ආයතන හැටියට බැලුවත්, සතර මහාධාතූන් හැටියට බැලුවත්, දෙතිස්‌ කුණුපයන් හැටියට බැලුවත් මෙතන තිබෙන්නේ පිංවත් ඔබ මගේ කරගෙන ජීවත්වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවයට අයත් දෙයක්‌ම නේද? යමක්‌ අනිත්‍යය නම්, යමක්‌ දුක නම්, යමක්‌ අනාත්ම නම් එම දෙය පිංවත් ඔබ නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ගතහොත් එතන සකස්‌ විය යුත්තේ දුකම නේද? ඇස සැපයි කියල ගතහොත්, ඇස නිත්‍යයි කියල ගතහොත්, ඇස තුළ ආත්මයක්‌ තිබේ කියල ගතහොත් ඔබ ලුහුබඳින්නේ නැති දෙයක්‌ පසුපස නේද? සතර මහා ධාතුවත්, දෙතිස්‌ කුණපයත් නිත්‍යයි, සැපයි, ආත්මයි කියල ඔබ ගතහොත් එය මුලාවක්‌ම නේද? අවිද්‍යාව නිසාම සකස්‌ වු සක්‌කායදිට්‌ඨිය නිසාම අනිත්‍යය, දුක්‌ඛ, අනාත්මභාවයට පත්වන මේ ඔබේ රූපය ඔබගේ ශරීරය නිත්‍ය, සැප, ආත්මභාවයෙන් ගැනීම නිසා නේද දුක සකස්‌ වෙන්නේ. ඒ නිසා පිංවතුනි, අදවන් උතුම් වෙසක්‌ පුර පසොළොස්‌වක පොහොය දිනක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාල චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්යය සත්‍යය වන දුක්‌ඛ සත්‍යය පිංවත් ඔබ තුළින්ම දකින්න පුළුවන් නේද? සතර මහ ධාතුවෙන් සැදුන, ආහාරයෙන් යැපෙන, ආශ්වාස ප්‍රාශ්වාසයෙන් රැකෙන රූපය කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව නිසාම නේද මේ දුක සකස්‌ වෙන්නේ. රහතන් වහන්සේ නමකට දුක නැහැ නේද? නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌ තිබෙනවා. එම ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක්‌ තිබෙනවා. එම කනෙන් ශබ්ද ඇසෙනවා. අනෙක්‌ ආයතනත් එසේමයි. නමුත් රහතන් වහන්සේට දුකක්‌ සකස්‌ වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, ඵස්‌සය වන මොහොතේදීම රහතන් වහන්සේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ දැකීමේ ශක්‌තිය රහතන් වහන්සේට තිබෙන්නේ රහතන් වහන්සේ භව නිරෝධය සාක්‌ෂාත් කරගන්නා මොහොතේ උතුම් වූ සමාධි තලයකදී රූපයේ අනිත්‍යභාවය ඥාන දර්ශන තුළින් අවබෝධත්වයට පත්වී ඇති නිසා. රහතන් වහන්සේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින නිසා විඳීමක්‌ සකස්‌ වෙන්නෙ නැහැ. විඳීමක්‌ සකස්‌ නොවන තැනක හඳුනා ගැනීමක්‌, චේතනාවක්‌, බැසගැනීමට විඤ්ඤාණයක්‌ සකස්‌ වෙන්නෙ නැහැ. හුදු දැක්‌කාය, ඇසුණාය කියන කාරණය පමණයි. නමුත් පිංවත් ඔබ ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සකස්‌ කරගන්නවා. එහෙමනම් පිංවතුනි, දුකත්, දුකට හේතුව වන තෘෂ්ණාවත් ඔබ තුළින්ම නේද සකස්‌ වෙන්නේ. තෘෂ්ණාවත් දුකත් ඔබ තුළින්ම නම් සකස්‌ වෙන්නේ තෘෂ්ණාව නැති කරගත යුත්තේත් ඔබම නේද? තෘෂ්ණාව නැතිකිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළයුත්තේත් ඔබම නේද? එහෙමනම් පිංවතුනි, චතුරාර්ය සත්‍යයේ මේ ආර්ය සත්‍යයන් හතරම ඔබ තුළින්ම නේද අවබෝධ කරගත යුත්තේ. මේ භව නිරෝධය සාක්‌ෂාත්කොට දෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් සියල්ලම ඔබ තුළින්ම නේද දැකිය යුත්තේ? දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ දෙන දෙයක්‌ නොවේ නේද? මෛත්‍රි බෝධිසත්වයන් දෙන දෙයක්‌ නොවේ නේද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම ජීවිතයට සතියෙන් සිහියෙන් යුතුව එකතුකර ගතහොත් ඔබ ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා නේද? බලන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ධර්මය මොනතරම් සරලභාවයට පත්කර, තමා තුලින්ම ධර්මය දැකීමට ධර්මය අවබෝධකර ගැනීමට හැකි ආකාරයට දේශනාකොට තිබෙනවාද. ගිහි පිංවතුන්ට තමා තුළින්ම ධර්මය අවබෝධකර ගැනීමට. ඒ කියන්නෙ සතර අපායෙන් මිදීමට අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබියදී පිංවත් ඔබ මොනතරම් නම් තැන් තැන්වල රස්‌තියාදු වෙනවාද? ධර්මයේ වරද නොවේ, ධර්මය ගලපා ගැනීමේ වරදයි. සිඳිය යුතු සක්‌කාය දිට්‌ඨිය වැඩෙනවා නම්, එතැන වැඩෙන්නේ අධර්මයයි. දුක දැකීමෙන්, දුක හඳුනා ගැනීමෙන්, සැප සෙවීම නොවේ, ඔබ කළ යුත්තේ. දුක, සැප දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන් බව අවබෝධ කරගැනීමයි.

චන්ද රාගයෙන් මගේ කරගත් රූපයන් නිසා මහමෙරක්‌ වන් දුකක්‌ ජීවිතය තුළින් දරාගෙන සිටින පිංවත් ඔබ එම බරෙන් නිදහස්‌වීමට පිංවත් ඔබ තුළින්ම ඇති කරගත යුත්තේ එකම එක කාරණයකි. ඒ රූපයන් කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදීම පමණක්‌මය. මේ උතුම් ධර්මය පිංවත් ඔබ ජීවත්වන පිං බිමේ නිරතුරුවම මහා සංඝ රත්නය වෙතින් ඔබට ඇසේ.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා !

 

උතුම් වූ උපසම්පදා සීලය දිවිහිමියෙන් ආරක්‍ෂා කරගන්නා ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලා ජීවත්ව සිටින තාක්‌කල් ශාසනය ජීවමානව පවතී. ශාසනය ජීවමානව පවතින තුරාවට ධර්මයේ සංදිට්ඨික වූද අකාලික වූද ගුණයන් පිංවත් ඔබට ඔබගේම ජීවිතය තුළින් අත්දකින්න උතුම් අවස්‌ථාවක්‌ තිබෙනවා. පිංවත් ඔබ උත්සාහ ගත යුත්තේ එම කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජනය ඔබේ ජීවිතයට ලබා ගැනීමටයි. පිංවත් ඔබ නිවසේදීද, කාර්යාලයේදීද විවේකීව සිටින සෑම මොහොතකම සතියෙන් සිහියෙන් යුතුව ඔබගේ ඇස දෙස බලන්න. ඇසට පෙනෙන රූප දෙස බලන්න. ඇසත් රූපත් අනිත්‍යයි නේද? ඇසෙත්, ඇසින් දකින රූපවලත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. ඇසටත් රූපයටත් තිබෙන ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න. පිංවත් ඔබ කන දෙස බලන්න. කනට ඇසෙන ශබ්දයන් හොඳින් අසන්න. මේ සෑම ශබ්දයක්‌ම හටගන්නේ රූපයකින් නේද? කනත් ශබ්දයත් අනිත්‍යයි නේද? කනත් කනට ඇසෙන ශබ්දයෙත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. කනටත්, ශබ්දයටත් තිබෙන ජන්ද රාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පිංවත් ඔබ නාසය දෙස බලන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන හොඳින් මෙනෙහි කරන්න. මේ සෑම ගඳ සුවඳක්‌ම ඇතිවන්නේ රූපයකින් නේද? මේ සෑම ගඳ සුවඳක්‌ම අනිත්‍යයි නේද? නාසයේත් ගඳ සුවඳේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. නාසයටත් ගඳ සුවඳටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවට අවබෝධය ලබන්න.

පින්වත් ඔබ ඔබේ දිව දෙස බලන්න. දිවට දැනෙන රසයන් ගැන දකින්න. මේ සෑම රසයක්‌ම ඇතිවන්නේ රූපයක්‌ නිසාම නේද? මේ සෑම රසයක්‌ම අනිත්‍යයි නේද? දිවත්, දිවට දැනෙන රසයේත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? ඒ අනිත්‍යය මෙනෙහි කරන්න. දිවටත් රසයටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබාගන්න.

පිංවත් ඔබ මනස ගැන දකින්න. මනසේ ඇති වන සිතිවිලි දෙස බලන්න. මේ සෑම සිතිවිල්ලක්‌ම ඇතිවුනේ රූපයක්‌ නිසා නේද? මේ ඇතිවුණා වූ සෑම සිතිවිල්ලක්‌ම අනිත්‍යයි නේද? මනසත් මනසේ ඇතිවන සිතිවිලිත් නිත්‍යභාවයක්‌ නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. මනසටත්, ධර්ම රූපයන්ටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

පිංවත් ඔබ කය ගැන දකින්න. කයට දැනෙන පහස දෙස බලන්න. කයට දැනුනා වූ සෑම පහසක්‌ම ඇති වුණේ රූපයක්‌ නිසා නේද? මේ ඇති වුණා වූ සෑම පහසක්‌ම අනිත්‍යයි නේද? කයත්, කයට දැනෙන පහසත් නිත්‍ය භාවයෙන් නැහැ නේද? මේ අනිත්‍යය මෙනෙහි කරන්න. කයටත් කයට දැනෙන පහසටත් ඇති ජන්ද රාගයෙන් මිදෙන දිශාවටම අවබෝධය ලබන්න.

මුළින්ම ඔබගේ ඇස, කන, නාසය, දිව, මනස, කය ගැන අනිත්‍යය දකිනවා වගේම ක්‍රමයෙන් ඔබ කැමති, අකමැති ස්‌ත්‍රී පුරුෂ රූපයන්ගේ ද ඉහත ආකාරයෙන්ම අනිත්‍ය ස්‌වභාවය දකින්න. පිංවත් ඔබගේ විවේක කාලය දුකට හේතුවන, ඔබ කැමැති අකමැති රූපයන් කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට නොව, පිංවත් ඔබගේ විවේකය නිවීමේ මඟට ශක්‌තියක්‌ වන තෘෂ්ණාව සිඳෙන දිශාවට යොමුකරන්න. පිංවත් ඔබ මුළින්ම රූපයන් කෙරෙහි ඇලීමේ ගැටීමේ ස්‌වභාවයෙන් මිදෙමින් උපේක්‍ෂාවෙන් රූපය දැකීමට පුහුණුවන්න. දැන්ම උපේක්‍ෂාව ද අතහැරීමට ඉක්‌මන් නොවන්න. කලබලකාරී බවද, වේගවත් බවද එම සිතිවිලි වල අනිත්‍යභාවය දකිමින් උපේක්‍ෂාව තුළට ගන්න. යෝගාවචරයෙක්‌ වීමට පෙර ඔබ මුළින්ම යහපත්, සුන්දර පෞරුෂයකින් යුත් මනුෂ්‍යයෙක්‌ වන්න. යුතුකම් දන්න, යුතුකම් ඉටුකරන ගිහි පිංවතෙක්‌ වන්න. පිංවත් ඔබේ ජීවිතය කුසල් ධර්මයන්ගෙන් පුරවා ගන්න. මේ කුසල්, භව නිරෝධය සඳහාම යැයි චේතනාවන් සකස්‌කර ගන්න. පිංවත් ඔබ ධර්මය අවබෝධකර ගනිමින් පෙරට යන්නේ පිංවත් ඔබ තුළම සකස්‌ වන්නා වූ අධර්මය ‘කෙලෙස්‌’ පරාජය කරමින් බව හොඳින් මතකයේ තබාගන්න. ඒ නිසා පිංවත් ඔබ ඔබට අවංක වෙන්න. ඔබ ඔබට වංක වී ඔබ කොතෙක්‌ ලෝකයට අවංක වීමට ගියත් අර්ථයක්‌ නොමැති බව වටහාගන්න. මෝහයේ කෙටි සැපයත්, අවබෝධයේ නිදහසත් අතර ඇති අයෝමය වෙනස සතියෙන් සිහියෙන් යුතුව නිරතුරුවම මෙනෙහි කිරීමට පුරුදුවෙන්න. වසර 2600 සම්මාසම්බුද්ධ ජයන්තිය උත්සවශ්‍රීයෙන් අද වෙසක්‌ දිනයේ සමරණ ඔබ, වසර දෙදහස්‌ හයසියවැනි සම්මා සම්බුද්ධ ජයන්තියක්‌ අනාගතයේදී නැවත සැමරන වාරයක්‌ පැමිණයදාට…. එදාට පිංවත් ඔබ කුමන ලෝකයක, කුමන සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටිය හැකිදැයි මෙනෙහි කරන්න. පෙර බුද්ධශාසනයේ 2600 වැනි සම්මා සම්බුද්ධ ජයන්තිය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ උදවිය වර්තමානයේ ලක්‍ෂ කීයක්‌ සතර අපායේ දුක්‌විඳිනවා ඇතිද? ඒ නිසා පිංවත් ඔබ ධර්මය අර්ථය තුළට එන්න. අදවන් උතුම් වෙසක්‌ දිනයේ විදුලි බුබුලු, චිත්‍ර බකට්‌, වෙසක්‌ කූඩු බලනවා වගේම දුකට හේතුවන තෘෂ්ණාව දෙසත් බලන්න. එයමයි දුකේ අර්ථය. දුකින් මිදීමේ අර්ථය ධර්මයයි. ධර්මය යනු අනිත්‍යයි. මුළින් පිංවත් ඔබ රූපයේ අනිත්‍යභාවය ගැන බැලුවා වගේම රූපය ඇසුරින් සකස්‌වෙන්නා වූ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දෙසත් බැලිය යුතුයි. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරල ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න.

ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇසත් රූපයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කනත් ශබ්දයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
නාසය අනිත්‍යයි, ගඳ සුවද අනිත්‍යයි
නාසයත් ගඳසුවඳත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිවත්, රසයත්, විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනසත් සිතිවිලිත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් විඳීමක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් චේතනාවක්‌ වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තා වූ යම් විඥාණයක්‌ වේද එය අනිත්‍යයි
කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කයත් පහසත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි

පංච උපාදානස්‌කන්ධයමයි ලෝකය කියන්නේ. අතීතයේ, වර්තමානයේ දැක්‌කා වූ රූපයන් ගලපමින් එම රූපයන් ඇසුරින් සකස්‌ වුන නිරතුරුවම අනිත්‍යභාවයට පත්වුන ඉහත ධර්මතාවයන් මනසින් දකින්න, මෙනෙහි කරන්න, සඡ්ජායනා කරන්න, මුමුණන්න.

මේ කුමක්‌ කළත් පිංවත් ඔබ ධර්ම රත්නය කෙරෙහි ගෞරවයෙන් නම් එය කරන්නේ එය ඔබේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවි. පිංවත් ඔබට භාවනාවක්‌ ලෙස මෙම ධර්මය වැඩීමට අවකාශය අඩුනම් ඔබ ගීයක්‌, කවියක්‌, මුමුණනවා වෙනුවට අර්ථය දකිමින් ගෞරවයෙන් ඉහත ධර්මය හඬනගා කීවද එය ඔබට යහපතක්‌ පිණිසමයි හේතුවෙන්නේ. මේ ලෝක ධාතුව තුළ ඇති පරම සත්‍යයයි, ඔබ හඬනගා කියන්නේ කියලා දෙවියන් ඔබට සාධුකාර දේවි.

මතු සම්බන්ධයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා !

විශේෂ වෙසක්‌ දින ලිපිය – 4 කොටස

පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක්‌ පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක්‌ ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදී යන්නේ. ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ අදවන් උතුම් වෙසක්‌ දිනයක නිවා දැමූ භව ගමන, ආදර්ශයට ගනිමින් පිංවත් ඔබත් භව ගමන නිවා දැමීම සඳහා මූලික අඩිතාලම වන සක්‌කාය දිට්‌ටිය ජීවිතයෙන් පරාජය කර දැමීමට පෙර සටහන් වල  දක්‌වා ඇති පරිදි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවත්, ශීලයේ ආර්යකාන්තභාවයත්, නෙක්‌ඛම්මය උදෙසා දන්දීමත්, පිංවත් ඔබ ඇසුරු කරන ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමටත් අද වන් උතුම් වෙසක්‌ දිනයක පිංවත් ඔබ අධිෂ්ඨානය ඇතිකර ගන්න.

මෙතෙක්‌ ගෙවාගෙන පැමිණි භව ගමන පුරාවට පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජාකරන ලද උතුම්ම බුද්ධ පුජාව එය වේවි. මෙය පිළුණු වී ඉවත ලන පුජාවක්‌ නොව අවබෝධය ලබා තමාම නිවී යන පූජාවකි. භව ගමන අවුලවා ගන්නා පුජාවන්ගෙන් මිදී භව ගමන නිවාගන්නා සැබෑම සම්බුද්ධ පුජාව සම්බුදු පියාණන් පිරිනිවන් මංචකයේ සැතපෙන මොහොතේත් ශ්‍රාවක ඔබෙන් බලාපොරොත්තු වූ මහා කරුණා ගුණයෙන් යුත් අවසාන අවවාදය බවද පිංවත් ඔබ සිහිපත් කොට ගත යුතුය. ඒ අසිරිමත් වු ශාස්‌තෘන් වහන්සේගේ පරිනිර්වාණයද මංගල්‍යයක්‌ බවට පත්වෙන්නේ උන්වහන්සේගේ මහා කරුණාවෙන් යුතුව කළ අවසාන අවවාදයේ අර්ථය පිංවත් ඔබ ජීවිතය තුළින් හැකි තරමින් අවබෝධ කොට ගැනීමෙන්මය. අවම වශයෙන් මාර්ගඵල ලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස මීළඟ භවයේ උපත සකස්‌ කොට ගැනීමට පිංවත් ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරෙන් කරන ලද ඉහත සටහන් ඔබට මාර්ගයක්‌ම, ආලෝකයක්‌ම වේවා. මේ මාර්ගයද, ආලෝකයද විවර වන්නේ දුකෙන් මිදීම උදෙසා ඔබ තුළ සකස්‌වෙන වීර්යයේ තරමට බව සිහිපත් කොට ගත යුතුය. ඔබ තුළ වීර්යය ඇත. එහෙත් එම වීර්යය ක්‍රියාත්මක වන්නේ වැරදි දිශාවටය. මාරයා නැමති පාප මිත්‍රයාගේ ඇසුර නිසා වීර්යය ඔබව දුක දෙසට මෙහෙයවයි. රූපය කෙරෙහි ජන්දරාගයෙන් ඇලී භවයේ දුක දෙසට ඔබව මෙහෙයවීමට අයෝමය ශක්‌තියක්‌ සේ ඔබ තුළින් සකස්‌වෙන වීර්යය ක්‍රියාකරයි.

ඔබ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය වැඩීමත් සමඟම, රූපයේ යථා ස්‌වභාවය ගැන අවබෝධය ලබන තරමටම, වීර්යය කල්‍යාණ මිත්‍රයෙක්‌ ලෙසින් ඔබ තුළින් නැගී සිටිනු ඇත. පිංවත් ඔබේ කැමැත්ත කුමක්‌ද, එම කැමැත්ත උදෙසා වීර්යය උපකාරීවනු ඇත. එම නිසා ඉහත සඳහන් කළ පංචඋපාදානස්‌කන්ධයේ දුක කෙරෙහි ඇතිකර ගන්නා දැනුමෙන්, ඉන් ඔබ්බට ගොස්‌ අනුමාන අවබෝධයෙන් , සතර අපායෙන් මිදීම පිණිස සක්‌කායදිට්‌ටිය නැතිකරගැනීම සඳහාම කැමැත්ත ඇතිකර ගන්න. මෙතැනදී වීර්යය සකස්‌වන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටමයි. නමුත් ඒ උපාදානය භව නිරෝධයට මාර්ගය විවර කරගැනීම උදෙසා ඇතිකර ගන්නා විදීමක්‌මයි. මෙසේ ඔබ ඇතිකර ගන්නා වීර්යය තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නිසා අපතේ යාමට ඉඩ නොදෙන්න. ලෝකයාගෙන් ලකුණු, ප්‍රසාදය, අනුකම්පාව ලබාගැනීමට නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ශ්‍රාවකයෙක්‌, සුදුවත් දරන උපාසක උපාසිකාවක්‌ වීමට වීර්යය උපකාරී කොටගන්න. ඉන්ද්‍රියයන් හයට අරමුණු වන සියල්ල ගැනම සිතීම මොහොතක්‌ නතරකොට සිතුණු අරමුණු සියල්ලේම අනිත්‍ය බව දකින්න. මෙවැනි අවස්‌ථාවක ඔබ තුළ ඇතිවන ක්‍ෂණික සංහිඳියාව නැවත නැවත විඳීමට කැමති වෙන්න. විවේකීව, රූපයේ විඳීමට කැමති සිතට රූපයේ අනිත්‍ය බව මෙනෙහි කරවන්න.

පිංවත් ගිහි ජීවිතයක්‌ ගත කරන ඔබ රාත්‍රී නිදි පැදුරට, සයනයට ගියාට පස්‌සේ රූපයන් කෙරෙහි විඳීම සකස්‌ කොට දෙන අකුසල් විතර්කයන්ට අවස්‌ථාව නොදී දිනයේ උදෑසන සිට රාත්‍රිය දක්‌වා ඔබ ගත් ආහාර ගැන සිතන්න. උදේ පාන්දරම තේ එකක්‌ බිව්වා, නැවත උදේට ඉඳි ආප්ප, පාන් ආහාරයට ගත්තා. උදේ දහයට නැවත තේ එකක්‌ බිව්වා. දහවල් බත් ව්‍යංජන සමඟ ආහාර ගත්තා. සවස තේ බිව්වා. නැවත රාත්‍රියට ආහාර ගත්තා. ඔබ ගත්තා වූ ආහාරයන් සිහිපත් කරලා ඒවායේ පිරිසිදුභාවය, ගුණාත්මකභාවය ගැන සිහිපත් කරල දැන් ඔබ සිතන්න උදේ සිට ගත් ඉහත ආහාරවලට දැන් මොකද වෙලා තිබෙන්නෙ කියල. රාත්‍රි නිදි පැදුරට යනකොට දිනය පුරාවට ගත්ත ආහාරවලට මොකද වෙලා තිබෙන්නේ. ආමාශයේ වමනය බවට පත්වෙලා, අසුචි, මුත්‍රා බවට පත්වෙලා. සෙම්, සොටු, මේදය බවට පත්වෙලා. රුධිරය බවට පත්වෙලා. අවසානයේදී ආයුෂ, වර්ණය, සැපය බලය බවට පත්වෙලා. ඔබ දිනය පුරාවට වෙහෙස මහන්සි වී රැකියා, ව්‍යාපාර, ගොවිතැන් කටයුතු මේ ආහාරය උදෙසා නේද? පිංවත් ඔබ සිල් පද බිඳ ගනිමින් මේ වෙහෙසෙන්නේ කුමක්‌ උදෙසාද? වමනය, අසුචි, මුත්‍රා, සෙම්, සොටු, රුධිරය කියන කසළ ගොඩක්‌ නිපදවීම උදෙසා නොවේද? මේ සියල්ලගේම අවසාන ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, කියන කාරණා සියල්ලමත් අනිත්‍ය භාවයට පත්වන තාවකාලික දේවල් නේද? මේවා අනිත්‍යභාවයට පත්වන නිසා දුකම නේද සකස්‌ වෙන්නේ. යමක්‌ අනිත්‍ය නම්, යමක්‌ දුක නම් එතැන මගේ යැයි ආත්මභාවයෙන් ගැනීමට දෙයක්‌ නැහැ නේද? උදේ ඉඳන් කරන හපන්කම් රාත්‍රියට මෙනෙහි කරන්න, අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයටම.

ආහාරයත්, ආහාරයෙන් පෝෂණය වන කයත්, ඉහත කාරණා දෙකේම අතුරු ඵලයනුත් තම ජීවිතය තුළින්ම දකින්න. කටට, දිවට, රසම සොයන ඔබ මේ රාත්‍රියේ එම රසයේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. දකිමින්ම නින්දට යන්න. එය ඔබට සුවදායී නින්දක්‌ වේ. හෙට උදාවන දිනයද සිහිනුවණින් යුතුව ආහාරය ගැන දකින දවසක්‌ වේවි. නිදි පැදුරේදීම ඔබ මියගියහොත් එය ඔබට සුවදායී මරණයක්‌ම වේවි. ඉහත ආකාරයට ඔබ සිතන්න පුරුදු වුනොත්, කොතැනකදීවත් ඔබට එය නරකක්‌ නම් වෙන්නේ නැහැ. මොකද ඔබ හිතන්නේ, මෙනෙහි කරන්නේ ධර්මයම නිසා. රූපයේ අනිත්‍යභාවයම නිසා. ආහාරය ඉහත ආකාරයට මොනතරම් පිළිකුල්භාවයට, අනිත්‍යභාවයට පත්වන දෙයක්‌ වුනත් පිංවත් ඔබට පුළුවන් ආහාරයටත් යම් වටිනාකමක්‌ දෙන්න. එය කරන්න පුළුවන් ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරය පරිහරණය කළොත් පමණයි. ඒ කියන්නේ අනිත්‍යභාවයට පත්වන ආයුෂ, වර්ණය, සැපය, බලය උදෙසා නොවෙයි මේ ආහාරය ගන්නේ, මේවා කෙරෙහි ජන්ද රාගය ඇතිකර ගෙන නොවෙයි ආහාර ගන්නේ, මේ බ්‍රහ්මචාරී ජීවිතය පවත්වාගැනිමට සීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය වැය වුනා වූ ශක්‌තිය යළි ලබාගැනීමට, අලූතින් ශක්‌තිය උපදවා ගැනීමට…. අරමුණු කරගෙනයි ආහාර ගන්නේ’කියන කාරණය ජීවිතයට එකතු කර ගැනීමෙන් නොවටිනා ආහාරයක්‌ වටිනා අරමුණක්‌ උදෙසා ප්‍රයෝජනයට ගැනීමට පිංවත් ඔබට පුළුවන්.

ඉහත ආකාරයට පිංවත් ඔබ ආහාරය ගැන සෑම රාත්‍රියකම මෙනෙහි කළොත් ආහාරය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන දිශාවටම ඔබ ගමන් කරාවි. තෘෂ්ණාවෙන් මිදෙන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසා පමණක්‌ කය පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි ආහාර ගන්නේ. තෘෂ්ණාව නිසා ආහාරයේ ඇතිවීමත්, තෘෂ්ණාව ප්‍රහාණය කිරීමෙන් ආහාරයේ නිරෝධයත්, තෘෂ්ණාව ප්‍රහීණ කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් පිංවත් ඔබ අවබෝධකොට ගතහොත් ඔබ ඒ කාරණයෙන්ම සම්මා දිට්‌ඨියට පත්වෙනවා කියන සහතිකය, සම්මා දිට්‌ඨි සූත්‍රයේදී සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ පිංවත් ඔබට සහතිකයක්‌ දෙනවා. මෙම සහතිකය දෙස්‌ විදෙස්‌ සුපිරි සූපවේදීන්ගේ කටට කෙළ උනනා, මැරෙන ලෙඩවෙන වයසට යන කයක්‌ මොහොතක්‌ රසවත් කර වමනය, අසුචි, මුත්‍ර බවට පත්වෙන ආහාර වට්‌ටෝරු උදෙසා දෙන, දුකට හේතුවන සහතකියක්‌ නොව, දුකින් මිදීමේ සහතිකයයි. තළු මර මරා ඇස්‌ ලොකු කරමින් නළල රැළි ගන්වමින්, තමා තුළ තිබෙන්නා වූ තෘෂ්ණාව යන කාරණය ආහාරයේ ඇති රසයක්‌ ලෙස මෝහ මූලිකව ගැනීම නිසා ඇතිකර ගන්නා ආහාර කෙරෙහි වන කෑදරභාවය ලබන ජීවිතයේදී ආමාශගත පණුවන්, නරක්‌ වූ ආහාර මත සෑදෙන පණුවන් ලෙස ආහරයේ බැසගෙනම ජීවත්වීමට අවශ්‍ය උපතක්‌ එවැනි අයට සාදා දීමට හැකිය.

පිංවත් ඔබ කය පෝෂණය කරනා ආහාරය, රූපයේ නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. අතීත භවයන් හීදී සශ්‍රික දිව්‍ය තල වල ඉපිද සිතූ සිතූ රසයන්ගෙන් රසවත් වූ දිව්‍ය ඕජාව රිසි සේ විඳ ඇති පිංවත් ඔබ, එම රසයන්ගෙන් නොසෑහුනු ඔබ මේ වටිනා මොහොතේ ධර්මයේ රසය යොදාගනිමින් කෙළෙස්‌ රස හීනවන දිශාවට ක්‍රියාත්මක වන්න. එවිට පිංවත් ඔබට ආහාරය වටිනා දෙයක්‌, රසවත් දෙයක්‌ වශයෙන් නොව හේතූන් නිසා සකස්‌ වූ දෙයක්‌ බව වැටහෙනු ඇත.

පිංවත් ඔබ මෙවැනි ධර්මයන් තුළින් ජීවිතය සක්‌කාය දට්‌ඨිය සිඳෙන දිශාවටම අවබෝධය කරා යැමට උත්සුක වෙන්න. නිරතුරුවම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය කියන මාර ධර්මයන්ගෙන් පරිස්‌සම් වෙන්න. තමා කෙරෙහි, ‘මම කියන දැඩි සංඥාවක්‌ මතුවන සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න පුරුදුවෙන්න. පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමේදී ඔබ තුළින් ඔබට දැකිය හැකි උතුම් ලක්‍ෂණය නිහතමානීකම බව හොඳින් මතක තබාගන්න. එම ලක්‍ෂණය ඔබ තුළින් විද්‍යාමාන නොවේ නම් පිංවත් ඔබ තණ්‌හා, මාන්න, දිට්‌ඨි නැමැති මාර ධර්මයන්ගේ ග්‍රහණයට අසු වී ඇති බව ස්‌ථිරය. මහා කරුණා ගුණයෙන් ඔබව සොයා වැඩමකොට ඔබට නිවැරදි වීමට මාර්ගය කියා දීමට වර්තමානයේ ජීවමාන බුදු රජාණන් වහන්සේ නොමැත. ඒ නිසා සතර අපායේ දුක ගැන දකිමින් ඔබ ඔබම නිවැරදි විය යුතුය. ශාසනයේ ප්‍රඥාව අතින් අගතැන්පත් සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘භාග්‍යවතුන් වහන්ස. මම හරියට රොඩී රැහැක රොඩී දරුවෙක්‌ වගේ’ කියලා. මේ උතුම් නිහතමානීකම ධර්මයේ අස්‌වැන්නමයි.

අද වැනි උතුම් වෙසක්‌ දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න, ධර්මාවබෝධයේ වටිනාකම හඳුනා ගන්න. පිංවත් ඔබ අපි කෙරෙහි මහා කරුණාවෙන් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධකරගත් තැන් පටන් පරිනිර්වාණ ය දක්‌වාම සත්වයාට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවම, ශීලයේ වටිනාකමම නෙක්‌ඛම්ම උදෙසා දන් දීමේ වටිනාකමම, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීමේ වටිනාකමම ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලාට දේශනා කරමින් සතර අපායෙන් එතෙරවීමේ මාර්ගයම, භව ගමනේ සනාථ වන මර්ගයම කියාදුන් එවන් තවත් අසිරිමත් ශාස්‌තෘන් වහන්සේ නමක්‌ තවත් වසර ලක්‍ෂ ගණනකට පහළ නොවන බව, ලෝකයාට මුණ නොගැසෙන බව අපි සිහිනුවණින් දැනගත යුතුය. එහෙයින් පිංවත් ඔබ ඉදිරියේ මේ මොහොතේ ඇති අභියෝගය ජය නොගතහොත් තෙරුවන් නොමැති ලොවක ඉබාගාතේ යන මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවද දුක්‌ විඳිනු ඇත. ශීලයෙන් මනුෂ්‍ය, ගිලිහුනු ලොවක, හිරි ඔතප් දෙක නැතිවුන ලොවක මනුෂ්‍යයාත්, තිරිසන් සතාත් දෙදෙනකු නොව එකම කුළයක්‌ වනු ඇත. මේ අවදානමෙන් පිංවත් ඔබට මිදිය හැකිවන්නේ මේ ජීවිතය තුළදීම සතර අපායෙන් මිදීම සඳහා ඔබ දක්‍ෂ වුවහොත් පමණක්‌ම වනු ඇත. ගිහි පිංවතුන් උදෙසා එම ගිහි බැඳීම් සමඟ කටයුතු කරමින් සතර අපායෙන් මිදීමට අවශ්‍ය කරුණු කාරණා භික්‍ෂුවට ලැබුණු විවේක කාලයන්හීදී මෙසේ සටහන් තබන ලදි.

සතර අපායෙන් මිදීම යනු සෝවාන් ඵලයයි. ඉහත සටහන් වල අඩුපාඩු තිබිය හැකිය. එවැනි අඩුපාඩු තිබුණහොත් ඒවා ගැන විතර්කයන් සකස්‌ කර ගන්නේ නැතිව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර ධර්මම පරිශීලනය කර අඩුපාඩු සකස්‌කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේමයි සියල්ලම දන්නේ. අපි අඩුපාඩු සහිතමයි. මේ ආකාරයෙන් සිතන්න පුරුදු වුණොත් පමණක්‌මයි පිංවත් ඔබ තව තවත් බුදුරජාණන් වහන්සේගේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ සොයන්නේ. එසේ නොවී මම සියලුම දන්නවායැයි කියන මනෝභාවය ඔබව බුදුරජාණන් වහන්සේගෙන් තව තවත් දුරස්‌කරන දිශාවටමයි මෙහෙය වන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන්, ධර්ම රත්නයෙන්, සංඝ රත්නයෙන් දුරස්‌ වෙනවාය කියන්නේ මාරයාට ළං වෙනවාය කියන කාරණයයි. මෙම අභියෝගය පරාජය කළ හැක්‌කේ ඔබ තුළ ඇතිවන තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය කියන කාරණා මාර ධර්මයන් බව නිවැරදිව හැඳිනගෙන එම කසළ ධර්මයන් ඔබ තුළින් පරාජය කර දැමීමේ මාර්ගයට පැමිණීමෙන්ය. මේ මාර්ගයේදී පිංවත් ඔබ මුලින්ම මමත්වයේ දැඩිභාවය ඒ කියන්නේ සක්‌කාය දිට්‌ඨිය සිඳදමා සතර අපායෙන් නිදහස්‌ වනු ඇත. මේ නිදහස සැබෑම භවගමනේ නිදහස්‌ වීම නොවන අතර ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අවරට යන මේ මොහොතේ සෑබෑම නිදහස්‌ වීම උදෙසා ඔබ ලබන නිදහස වනු ඇත. මින් ඉදිරියට පිංවත් ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ම ලෙස දිව්‍යතල වල සශ්‍රීක සැපයන් විඳ මතු දිනක සුවසේ ධර්මයේ ඉතිරි අවබෝධයන් ලබා, දිව්‍ය තලයකදීම – බ්‍රහ්ම තලයකදීම නිවී යනු ඇත.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

 

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරලව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා කියනවා, මම අසවල් ස්‌වාමීන් වහන්සේට දානයක්‌ පූජාකරගන්න ගියාය කියලා. එවිට එම හිතවතා කියනවා ‘අපෝ ඇයි ඒ හාමුදුරුවන්ට දන් දුන්නේ, ඒ හාමුදුරුවො දුශ්ශීලයි. බොරු කියනවා’ කියලා. තම හිතවතාගේ කථාව අහලා දන් පූජා කරගත් පිංවතා දානය නිසා ඇතිකරගත් චිත්ත ප්‍රීතිය නැතිකොටගෙන ස්‌වාමීන් වහන්සේ කෙරෙහි සැකයක්‌ ඇති කොටගන්නවා. මොකක්‌ද මෙතැනදි සිද්ධ වුනේ. අනුන්ගේ කථාවක්‌ අහලා ඔහු වෙනස්‌ වුනා. මෙය අමූලිකා ශ්‍රද්ධාවේ ලක්‍ෂණයක්‌.

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහුත් භික්‍ෂුවට දානයක්‌ පූජාකරලා පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැසිලා අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට එම පිංවතා කියනවා මම අහවල් ස්‌වාමීන් වහන්සේට දානයක්‌ පූජාකරන්න ගියාය කියලා. එවිට ඒ මිත්‍රයා කියනවා ‘අපෝ ඒ හාමුදුරුවන්ට දන් දීලා වැඩක්‌ නැහැ, ඒ හාමුදුරුවෝ දුශ්ශීලයි. බොරු කියනවා කියලා. තම හිතවතාගේ මේ කථාව අහලා දන් පූජා කළ පිංවතා කියනවා ‘ස්‌වාමීන් වහන්සේ දුශ්ශීල වුවත්, බොරු කීවත් මට වැඩක්‌ නැහැ. මම උතුම් මහා සංඝ රත්නය අරමුණුකොටයි, ස්‌වාමීන් වහන්සේට දන් පූජා කළේ ‘ කියලා. තම හිතවතාගේ නොමනා කථාව අහලා ඔහු වෙනස්‌ වුනේ නැහැ. උතුම් සංඝයා කියන අර්ථය තුළ සිටිමින්, තම කුසල් සිත තව තව වර්ධනය කරගත්තා. අනුන් කීවාය කියලා, පතක පොතක තිබුණාය කියලා, ඔහු තෙරුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. එය උතුම් සද්ධාවේ ලක්‍ෂණයක්‌ වෙනවා. නිරතුරුවම අනුන් නිසා, තණ්හා මාන දිට්‌ඨි නිසා වෙනස්‌වෙන අමූලිකා සද්ධාවත්, විශ්වාසයේ අවබෝධයෙන් සරණ ගිය උතුම් සද්ධාවත්, අමූලිකා සද්ධාවෙන්, උතුම් සද්ධාවෙන් සකස්‌ වෙන කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් ඇතිකොටගන්නා අචල ශ්‍රද්ධාවත් මූලිකම ලක්‍ෂණයන් වෙනවා.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ අර්ථය මුල්කොටගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය ලෝක සත්වයාට දේශනා කොට වදාළ, ලොව්තුරා බුදුරජාණන් උපත, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිණිවීම යන තෙමඟුල සිදු වූ තවත් වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය දිනයක්‌ අද හෙටම උදාවෙනවා.

භික්‍ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳ රැසින් බබලවන්නට මෝදුවන වෙසක්‌ සඳ, අඳුරු වලාවකට මැදිව ඇති බවක්‌ භික්‍ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මතක්‌ වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස්‌ අවුරුදු ලක්‍ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළ වීම සිද්ධවෙන්නේ. උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් සමාජමය සංසිදීම තුළ, සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළින් උපන්, ගුණාත්මකභාවයන්ගේ සරණින් පිංවත් ඔබට අබුද්ධොත්පාද කාලයන්හී කටුක බව නොදැනී ගිහින් තිබෙන්නේ….

එමනිසා පිංවත් ඔබ මේ උතුම් වෙසක්‌ පොහොය දිනයේ, විෂම අබුද්ධොත්පාද කාලයන්හී කටුක දුක, අකුසල්ම උපදවන මිත්‍යාදෘෂ්ඨීන් ගැන නුවණින් මෙනෙහි කරන්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරු දේශනා කරන මිච්ජා මාර්ගයන් මොනතරම් අධර්මයක්‌ද. ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාය, ඊශ්වර දෙවියා යැයි කියා ගිනි පූජා පවත්වමින්, සතුන්ගේ බෙලි කපා යාග හෝම පුද පූජා කරමින්, ගස්‌, ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කරමින්, යකුන් යක්‍ෂණියන්, අමනුෂ්‍යයන් පුදමින්, වන්දනා කරමින්, ගෝ වෘත, සුනඛ වෘත රකිමින්, විමුක්‌තිය සෙවූ මිච්ජා ශ්‍රාවකයින් ධර්මයේ නාමයෙන් සතර අපායන්ට ගාල්කරවන දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරුන්ගේ, මිච්ජා ධර්මයන්ගේ, මිච්ජා ශ්‍රාවකයින්ගේ මෝහ මූලික ධර්මතාවයන් නුවණින් දකින්න. පිංවත් ඔබත් මමත් මෙවැනි දීර්ඝ අබුද්ධොත්පාද කාලයන්හී උපත ලබා, මෙවැනි මිත්‍යදෘෂ්ඨීන්ගේ වහලුන් බවට පත්වී සිටි සැටි මෙනෙහි කරන්න. බුද්ධොත්පාද කාලයන් තුළත් දේවදත්ත, කෝකාලිත වැනි මිච්ජා ශ්‍රාවකයන් නිසා අවීචි මහා නිරයන්ට වැටුණු අජාසත්ත රජතුමන් ඇතුළු අවාසනාවන්තයින් කොතෙක්‌ සිටින්නට ඇතිද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අබුද්ධෝත්පාද කාලයන්හී සතර අපායන් පිරී ඉතිරී යනවාය කියලා. සතර අපායන් පිරී ඉතිරී යනකොට දිව්‍ය තල වල දිව්‍ය විමාන පාළු වී යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අබුද්ධෝත්පාද කාලවල පාළුවට යන දිව්‍ය විමාන නැවත පිරී ඉතිරී යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවීමත් සමගමයි. අබුද්ධොත්පාද කාලයක විෂම චර්යා ධර්මයන් සමග ගනිද්දී බුද්ධෝත්පාද කාලයක්‌ යනු මොනතරම් අසිරිමත් දෙයක්‌ද. දුක හඳුනාගෙන, දුක යටපත්කොටගෙන, සැපය මතුකොටගනිමින්, අවසානයේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය දකිමින් ලෝකයෙන් නිවීයන ධර්ම මාර්ගය මොනතරම් අර්ථවත්ද. මේ උතුම් ධර්ම මාර්ගයට පිංවත් ඔබට පිවිසීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේව හඳුනාගන්න ඕනේ. ධර්ම රත්නය, සංඝ රත්නය හඳුනාගන්න ඕනේ. දකින්න ඕනේ. තුනුරුවන් දැකිය හැක්‌කේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමෙන් පමණමයි. පිංවත් ඔබ කොතෙක්‌ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දැක්‌කත්, ඔබ කොතෙක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ශ්‍රවණය කළත් පිංවත් ඔබ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් පිංවතෙක්‌ නම් ඔබ සැබවින්ම බුදුරජාණන් වහන්සේ නොදැක්‌ක කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් පමණක්‌මයි පිංවත් ඔබට තෙරුවන් හඳුනා ගන්න, දකින්න, පුළුවන්කම ලැබෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් ගිළිහුණු ලෝකය මිථ්‍ය දෘෂ්ඨීයේ ග්‍රහණයටයි යොමු වෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ මේ පිංවත් දේශයට උතුම් සද්ධර්මය දායාද කොට දීමෙන් අනතුරුව අතීතයේ ජීවත් වූ පාලකයන්ගේ සහ ජනතාවගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවයන් නිසාම, රාජ්‍ය අනුග්‍රහයක්‌ අර්ථවත්ව උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට නොලැබීම නිසාම, භික්‍ෂූන් වහන්සේලාගේ උතුම් උපසම්පදාව දුර්වල වී ශාසනය අතුරුදන් වීම අතීතයේ අවස්‌ථා කිහිපයකදීම මේ පිංවත් දේශය තුළ සිදුව තිබෙනවා. සම්මා දිට්‌ඨියේ දුර්වලභාවයන් නිසාම ඇතිවන හේතුඵල ධර්මයන් නිසා මෙවැනි ශාසනික අර්ථයන්ගේ අතුරුදන්වීම් සිදු වූවත්, උතුම් ශාසනික අර්ථයන් ආරක්‍ෂා කරන සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ උපකාරක ධර්මයන් නිසාම අපේ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුරුමය, තායිලන්තය වැනි ථේරවාදී බෞද්ධ රටවලින් නැවත උපසම්පදාව ලබාගෙන, නැවත සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් මේ පිංවත් දේශය තුළ ස්‌ථාපිත කිරීම කළ බව පිංවත් ඔබ හොඳින්ම දන්නවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබ තේරුම්ගත යුතුයි රටක පාලක පිංවතුන් සහ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් දුර්වල වුවහොත් එම පිංවතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ බලවත් පාපකර්මයේ හවුල්කරුවන් බවට පත්වෙනවාය කියන කාරණය.

පිංවත් ඔබ, බුදුරජාණන්වහන්සේ සාරාසංඛ කල්පලක්‍ෂ ගණනාවක්‌ තම රුධිරයෙන්, කඳුළින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කළ දස පාරමී ධර්මයෙන්ගේ ඵලයෙන්, අවබෝධකොට වදාළ උතුම් සද්ධර්මයේ අර්ථයන් දුර්වල කිරීම පිණිස උපකාරක ධර්මයන් නොකරනවාය කියන අධිෂ්ඨානය  මේ උතුම් වෙසක්‌ දිනයේදී ඇතිකොටගන්න දක්‍ෂ වෙන්න. එය පිංවත් ඔබ සැබෑම උතුම් තෙමඟුලක්‌ උදෙසා කරන පූජෝපහාරයක්‌ වෙනවා.
සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවය නිසා උදාවෙන අබුද්ධොත්පාද කාලයන්හී ඇති විෂම බව, දුක බව, අකුසලය නිසා සකස්‌ වෙන සතර අපා දුකේ කටුක බව පෙන්වාදෙන උපමාවක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබට යම් පුද්ගලයෙක්‌ කියනවා, ‘මම ඔබට දිනකට කස පහරවල් තුන්සියයක්‌ ගහනවා, දිනකට කසපහරවල් තුන්සීය බැගින් අවුරුදු තුන්සීයක්‌ එම දඬුවම දෙනවා. අවුරුදු තුන්සීයක්‌ ගෙවීයන දින මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබාදෙනවා’ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එහෙම වුනත් අවුරුදු තුන්සීයක්‌ එම තියුණු ශාරීරික දුක විඳලා ඔබ සෝවාන් ඵලය ලබාගන්න කැමති වෙන්නය කියලා. මේ උතුම් වෙසක්‌ දිනයේදීත් සතුටින්, විනෝදයෙන්, විහිළුවෙන්, සිංදුවෙන්, බයිලාවෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන පිංවතුන්ලාට බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන ඉහත උපමාව හොඳ ධර්මාවාදයක්‌ වෙනවා. මෙම කටුක දුක පිංවත් ඔබට හෙළිකොටදෙන කැඩපත වන්නේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයයි.

භික්‍ෂුව පිංවත් ඔබෙන් ඇසුවහොත් සම්මා දිට්‌ඨියේ අර්ථය කුමක්‌ද කියලා, පිංවතුන් සමහරක්‌දෙනා දෙනා පිළිතුර වන්නේ සම්මා දිට්‌ඨිය කියන්නේ යහපත් දැක්‌ම කියලයි. බුදුරජණාන් වහන්සේ ධර්මයට අදාළව සම්මා දිට්‌ඨියේ අර්ථය කියන්නේ ‘යහපත් දැක්‌ම’ නොවෙයි. නමුත් අන්‍යාගමික පිංවතුන්ලා තමන්ගේ සම්මා දිට්‌ඨිය හැටියට ප්‍රකාශ කරන්නේ යහපත් දැක්‌ම කියන කාරණයයි. බුදුරජණාන් වහන්සේ දේශනාකළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් හතක්‌ තිබෙනවා.

එම අර්ථයන් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, යහපත් දෙයක්‌ කළොත් යහපත් විපාකයක්‌, අයහපත් දෙයක්‌ කළොත් අයහපත් විපාකයක්‌ තිබෙනවාය කියන විශ්වාසය.

හේතුඵල ධර්මයන්ට අදාළව නැවත උපතක්‌ තිබෙනවාය කියන විශ්වාසය

දන් දීමෙන්, සිල් රැකීමෙන් ආනිසංස තිබෙනවාය කියන විශ්වාසය.

අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳව විශ්වාසය.

ඕපපාතික සත්වයන් උපදිනවාය කියන විශ්වාසය

අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටියාය කියන විශ්වාසය.

ඉහත සම්මා දිට්‌ඨියේ අර්ථයන් සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනාකොට ඇත්තේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය මුල්කොටගෙනය. පිංවත් ඔබගේ කුසල් පක්‍ෂය වැඩෙන ආකාරයටමය.

පිංවත් ඔබට මෙතැනදී විග්‍රහ කර පෙන්වනනේ භවයේ සැපය උදෙසා හේතුවෙන ලෞකික සම්මා දිට්‌ඨිය පිළිබඳවයි. ලෞකික සම්මා දිට්‌ඨියේ මුල්ම අර්ථය වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පිංවතුන් තුළ සංසාර බිය පිළිබඳවත්, කාමයන්ගේ නිසරුභාවය පිළිබඳවත් දැක්‌මක්‌ ඇතිකොටදෙනවා. සතර අපාය කෙරෙහි ඇතිකරවන බිය නිසාම පිංවතුන් දුක පිළිබඳව යථා ස්‌වභාවය නුවණින් දකින්න පටන්ගන්නවා. යහපත් ක්‍රියාවන් විපාකදෙන සුගති භූමීන්, අයහපත් දේ විපාකදෙන දුගති භූමීන් ඔබ හඳුනාගන්නවා. ඔබ තුළ සකස්‌වෙන සෑම සැප වේදනාවක්‌ම අතීතයේ ඔබ කළ යහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත්, ඔබ තුළ සකස්‌වෙන සෑම දුක්‌ වේදනාවක්‌ම අයහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත් ඔබ හඳුනා ගන්නවා. මෙතැනදී පිංවත් ඔබ අයහපත් දෙයින් වැලකිලා, යහපත් දෙයයි ජීවිතයට තොරාගන්නේ. පටිච්ච සමුප්පන්නව නැවත උපතක්‌ කෙරෙහි පිංවත් ඔබ තුළ ඇත විශ්වාසය ඔබව පොළඹවනවා අකුසලයෙන් වැලකිලා කුසලය තුළ ශක්‌තිමත් වෙන්න. මොකද ඔබ දන්නවා, අකුසල් සිදුකළොත්, සිල් පද දුර්වල කරගත්තොත්, දන් දීම දුර්වල කරගත්තොත් ඊළඟ උපත දුර්වල උපතක්‌ වෙනවාය කියන කාරණය. කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ඔබට විවරකොටදෙන බුදුරජාණන් වහන්සේගේ මුල්ම පාඩමයි උතුම් සම්මා දිට්‌ඨිය. 

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ 

​වේවා!​

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress