යහපාලනයේ පළමු පොරොන්දුව දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වසයි. විශේඥයින් ගෙදර.  විමර්ශන අතර මග.  යහපාලන ඇමති-ලේකම් පැමිණිලි 30 ක් කුණු කුඩයට!
Posted on July 2nd, 2017

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය පුවත්පත් නිවේදනය

වංචා හා දුෂණ සොයා බැලීම සදහා යහපාලන රජය බලයට පත්වීමෙන් දින කිහිපයකට පසුව ස්ථාපනය කරනු ලැබූ ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය‘ ඊයේ (ජුනි 30) දින සිට වසා දමා ඇත.  දුෂණ සම්බන්ධයෙන් තමන් වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කොට වාර්තා සකස් කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ වෙනත් ආයතන වෙත යොමු කිරීම සදහා ‘දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය‘ පිහිටවනු ලැබීය.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපනය කිරීමෙන් පසුව එයට පැමිණිලි මිණිලි 800 ක් පමණ ලැබී තිබුණි. එයින් පැමිණිලි 250ක් විමර්ශන අවසන් කොට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කරනු ලැබ ඇත. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා චෝදනා පත්‍ර‍ගොනු කොට ඇති නඩු 42 ක ම දුෂණ මර්ධන කමිටුවේ විශේෂඥ උපදෙස් ලැබූ සිදුවීම් වේ.

මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 700 ක් පමණ ද,  යහපාලන රජයේ අමාත්‍යවරුන්, ලේකම්වරුන් පිළිබද පැමිණිලි 30 ක් ද, වෙතත් පැමිණිලි 70 ක් පිළිබද ලේකම් කාර්යාලය කටයුතු කොට ඇත.

ගණකාධිකරණ සේවය, කළමනාකරණ සේවය, විගණන සේවය, විශ්‍රාමික පොලිස් බුද්ධි අංශ නිලධාරීන්, විශ්‍රාමික පරිපාලන නිධාරීන් ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවක් ලෙස ලේකම් කාර්යාලය ක්‍රියාත්මක විය. 

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත විමර්ශන අවසන් කොට යොමු කළ පැමිණිලි 150 ක් පමණ ද, රහස් පොලීසිය වෙත තවත් පැමිණිලි 100 කට වැඩි ප්‍ර‍මාණයක් ද, ස්වාධීන කොමිෂන් සභා, දෙපාර්තමේන්තු, රේගුව වැනි රාජ්‍ය ආයතන වෙත තවත් පැමිණිලි 250 ක් පමණ ද ලේකම් කාර්යාලය පසුගිය සමය තුල යොමු කරනු ලැබීය.

දුෂණ විමර්ශනය සදහා ලෝකයේ අද පවතින් ඉහළම තාක්ෂණික යාන්ත්‍ර‍ණයක් සහිතව දුෂණ විමර්ශන ලේකම් කාර්යාලය ස්ථාපනය විය.  පොලිස් නිලධාරියෙකු වෙත ලැබෙන පැමිණිල්ලක් ඔහුගේ සීමිත විෂය දැනුම මත විග්‍ර‍හ නොකොට, පුළුල් දැනුමක් සහිත විශේෂඥයින් ගෙන් සමන්විත කණ්ඩායමක් වෙත යොමු කිරීම තුලින් ඉහළ එලදායීතාවයක් ලබාගැනීමට හැකිවීම මෙහි තිබූ විශේෂත්වය යි.

යහපාලන රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව වංචා හෝ දුෂණ චෝදනා එල්ලවීමත් සමගම දුෂණ මර්ධන ලේකම් කාර්යාලය වසා දැමීමට රජය විවිධ උපක්‍ර‍ම යොදනු ලැබීය. 

විශේෂඥයින් ඉවත් කිරීමෙන් පසුව රජයට හිතවත් පිරිසක් යොදා ගනිමින් නාමික ලේකම් කාර්යාලයක් පවත්වාගෙන යාමට රජය සුදානම් වන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  ඊයේ දිනයේ ලේකම් කාර්යාලයේ කාලය අවසන් වූ නමුත්, වගකිවයුතු පුද්ගලයින් වෙත විධිමත් ලිපිගොනු බාරදීමක් හෝ සිදු නොවී ඇත. ඊයේ දිනය වන විට යහපාලන රජයේ අමාත්‍යවරුන් හා ලේකම්වරුන් 26 ක් පිළිබද විමර්ශන ලේකම් කාර්යාලය මගින් සිදු කරමින් තිබුණි.

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress