සමෘද්ධි සහනාධාර සමීක්ෂණයෙන් අඩු ආදායම්ලාභී ජනතාව හට සමෘද්ධි සහනාධාර අහිමිවීමේ ගැටලූව සම්බන්ධව ආණ්ඩුව වහා විසඳුම් ලබාදිය යුතුයි.
Posted on August 10th, 2017

ජනමාධ් නිවේදනයයි  Samurdhi Development Officers Union

සමෘද්ධි සහනාධාර සමීක්ෂණයෙන්  අඩු ආදායම්ලාභී ජනතාව හට සමෘද්ධි සහනාධාර අහිමිවීමේ ගැටලූව සම්බන්ධව ආණ්ඩුව වහා විසඳුම් ලබාදිය යුතුයි

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සිදු කරන ලද 2015 අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීමේ සමීක්‍ෂණයෙන් සමෘද්ධි සහනාධාර ලබන පවුල්වලට සිදුව ඇති අසාධාරණය සම්බන්ධව රට පුරා දුප්පත් ජනතාව විසින් සිදු කරන විරෝධතාවය සම්බන්ධව ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර සාධාරණය ඉටුකිරීමට වහා පියවර ගත යුතු බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.

            2016 වසරෙහි සිදු කරන ලද සමීක්ෂණය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්නතුව විසින් පිටු 16 හා ජීව දත්ත ඇතුලත් ප‍්‍රශ්න 10කින් සමන්විත සමීක්ෂණ අයදුම්පතක් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ලබා දුන් අතර සමෘද්ධි සහනාධාරලාභියා ජීවත් වන වහලය යට සිටින සෑම පුද්ගලයෙකුගේම ආදායම හා වියදම ඇතුලූ සෑම තොරතුරක්ම ඇතුලත් කල යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එකී උපදෙස් මත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් සම්පුර්ණ කරන ලද සමීක්ෂණ පත‍්‍රයන් හි දත්ත පරිඝණක මෘදුකාංගයකට ඇතුලත් කර ලකුණු ලබා දී ඇති අතර ඒ අනුව සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු පවුල් හා සමෘද්ධි සහනාධාර ලැබීමට නුසුදුසු පවුල් වර්ගීකරණය කර ලේඛණයක් සෑම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම එවා ඇත.

            එහෙත් සමෘද්ධි සහනාධාරය ලබා දීමේදී එකම නිවසක් තුල පවුල් කිහිපයක් ජීවත් විය හැකි අතර විවාහක දරුවන්ගෙන් වෙන්ව එක නිවස තුලම වෙනම පවුලක් ලෙස ගෙන සමෘද්ධි සහනාධාරය නිකුත් කල හැකි බවට මීට පෙර උපදෙස් ලබා දී ඇත. එකී උපදෙස් වලට පටහැනිව විද්‍යාත්මක පදනමකින් තොර උපදෙස් මත සිදු කරන ලද මෙම සමීක්ෂණයෙන් සහනාධාර ලැබීමට සුදුසු අඩු ආදායම්ලාභී පවුල් විශාල ප‍්‍රමාණයක් සමෘද්ධි සහනාධාර ලැබීමට නුසුදුස්සන් සේ සමීක්ෂණ ප‍්‍රතිඵලයන්ගෙන් පෙන්නුම් කර තිබීම මත අසාධාරණයට පත්ව ඇති ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණයට අවධානය යොමු කල යුතු බව අප සංගමය ආණ්ඩුව වෙත මෙයින් අවධාරණය කරන්නෙමු.

            සමෘද්ධි සහනාධාර ලබන පවුල් 1,414,340 ක් සිටින අතර ඔවුන්ගෙන් මෙම වසරේ සිට සෑම වසරකම 10 ප‍්‍රමාණයක් සවිබල ගන්වා සහනාධාර වැඩසටහනින් ඉවත් කල යුතු බවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2017.01.17  දිනැති චක‍්‍රලේඛ උපදෙස් ලබා දී තිබියදී විෂයභාර අමාත්‍ය එස් .බී. දිසානායක මහතා කිසිදු සමෘද්ධි සහනාධාරයක් ඉවත් නොකරන බවට පදනම් විරහිත ප‍්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.

            රටේ භාණ්ඩ හා සේවා මිල සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ආර්ථිකය බිඳවැටී දුප්පත්කම ඉහල ගොස් ඇති බව අගමැතිවරයා හා ජනාධිපතිවරයාද පිළිගෙන ඇති අවස්ථාවක හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ රු.2500කට හතරදෙනෙකුට මාසිකව ජීවත් විය හැකි අපුරු න්‍යාය මෙම මෘදුකාංගය සෑදීම සඳහා ද අනුගමනය කර ඇත්දැයි බරපතල සැකයක් අප තුල මතුව ඇත.

යහපාලන ආණ්ඩුවේ හිටපු මුදල් අමාත්‍යවරයාට රු. ලක්ෂ 17.5ක නිවසක් කුලියට ලබා දීමට මහ බැංකු අධිපතිගේ බෑනණුවන් සිටියාට, සමෘද්ධි සහනාධාරය ලබන හීන් මැණිකාට, රම්බණ්ඩාට, සිරිපාල අයියාට එවැනි මිතුරන් නොමැති බවත් ඔවුන්ගේ දුප්පත්කම මත දරුවන්ගේ නිවෙස්වල ඉතා අසරණව ජීවිකාව ගෙන යන බවත් බලධාරීන් වෙත පෙන්වා දෙන්නෙමු. එම නිසා මෙම ගැටළුව වහා විසඳීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බව අප සංගමය මෙයින් අවධාරණය කරන අතර එසේ අපොහොසත් වන්නේ නම් සමෘද්ධි සේවකයින්ද කොන්දේසි විරහිතව එම සාධාරණ සටනට සහය දෙන බව දන්වා සිටින්නෙමු.    

මෙයට,

චාමර මද්දුම කලූගේ.

ප‍්‍ර‍්‍රධාන ලේකම්,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress