ඒකාබද්දයට එරෙහි අලුත් අවලාදකාරයන් ටිකක් මහින්ද පිලෙන්ම කුලියට ගනී- විමල් වීරවංශ
Posted on November 13th, 2017

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ

පළාත් පාලන ඡන්දයත් සමඟ ආණ්ඩුවේ මහින්දවාදීන්ට එරෙහි පරණ අවලාදවලට පණ එමින් ඇති බවත් ඒ අතර අලුත් අවලාදකාරයන් ටිකක් මහින්ද පිලෙන්ම දැන් කුලියට හොයා ගෙන ඇති බවත් පෙන්වා දෙන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ ජවනිකා බලමින් ඡන්දය දිනයේ දී ආණ්ඩුවට නිසි පිළිතුරක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (12) අනුරාධපුරයේ දී පැවති දැවැන්ත ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

ක්‍රිස්තු පූර්ව 1-2 සියවස්වල තට්ටු නවයක ගොඩනැගිල්ලක් වූ ලෝවාමහාපාය ඉදිකිරීමට තරම් වූ ඉංජිනේරු දැනුමක් සහිත මිනිසකු බිහි කළ, ලෝකයේ පැරණිම රෝහල වූ මිහින්තලා රෝහල ඉදිකළ, ඊට අදාළ වෛද්‍ය විද්‍යාත්මක දැනුම සහිත මිනිසකු බිහි කළ, විස්මිත වාරි තාක්ෂණ දැනුමෙන් ‘සැතපුමට අඟලක් වන සේ’යෝධ ඇළ නිර්මාණය කළ මිනිසකු බිහි කළ භූමිය මතයි අපි අද මේ සිට ගෙන ඉන්නේ.

ඒ විතරක් නොවෙයි සාගත, නියඟ අතොරක් නැතිව ආවත් ශ්‍රී මහා බෝ සමිඳුන් රැකගත්, මහරජ ගැමුණුගේ සේනාවන්ගේ පා පහසලත් පුණ්‍ය භූමිය මේ අනුරපුරයයි. එවැනි උතුම් පුණ්‍ය භූමියක සිටයි අද අප මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන සටනේ මුල් අදියර එනම් පළාත් පාලන ඡන්ද සටන අරඹන්නේ. වාසුදේව සහෝදරයා පැවසුවා වගේ මේ ආණ්ඩුවට බොහෝ කලක් තටමමින් ඉඳලා අවසානයේ පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට් නිවේදන දැන් නිකුත් කිරීමට සිදුව තිබෙනවා. මේ බලවේගය සීසීකඩ විසුරුවා හරින්න, අපිව හිරේ දාලා දණ ගස්වන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි ආණ්ඩුව මේ පළාත් පාලන ඡන්දය කල් දැමුවේ. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල සුන් කර ගෙන ආණ්ඩුවට දැන් පළාත් පාලන ඡන්දය දෙන්න වුණා. දැන් අපි අපේ වැඬේ හරියට කරමු. මේ ඡන්දයෙන් විජයග්‍රහණයක් ලබමු.

‘රටේ ලෙවල් එක පහත දැම්මා’

මහින්ද රාජපක්ෂ පාලනය මේ රට එක ලෙවල් එකකට ගෙනාවා. ආර්ථිකය, දේශපාලන ස්ථාවරභාවය, සමාජීය සංහිඳියාව යන සියල්ල යම් ලෙවල් එකකට ගෙනාවා. ඒ ලෙවල් එකෙන් පහළ ලෙවල් එකකට මේ රට ඇද දැමීම තමයි මේ ආණ්ඩුව කළ එකම වෙනස. මේ ද්‍රෝහී ආණ්ඩුව මේ රටට කරන්න පුළුවන් උපරිම විපත කරන්න දැන් පටන් අරන් තිබෙනවා. දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට උවමනා ආකාරයට මේ රට බෙදන වැඬේ මේ ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. අද ඇමෙරිකාවේ USAID සංවිධානය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට රට පුරා ෆෙඩරල්වාදය පිළිබඳ දේශන පවත්වන්න සල්ලි පොම්ප කරමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන වැඬේට රනිල්ගේ ගෝලයන්ට පඩි ගෙවමින් සිටිනවා. ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ කවර රටකට හෝ හිතවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා දීලා තිබෙනවා ද?

එදා මේ බටහිර බලවේග තමන්ගේ කුලී සේනාංකයක් ලවා මේ රට යුද්ධයෙන් බෙදන්න හැදුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු රණවිරුවන් එහි දී ඔප්පු කර පෙන්නුවා ‘මේ රට යුද්ධයෙන් බෙදන්න බැහැ’ කියලා. රනිල් සටන් විරාම ගිවිසුමක් ගහලා, චන්ද්‍ර්‍රිකා සුනාමි සහන මණ්ඩල පනත ගෙනල්ලා බෙදන්න ගිය රට ඒ සියල්ලෙන් රැකුණා. දැන් රනිල් වික්‍රමසිංහ බලනවා ඒ සියල්ලෙන් බෙදන්න බැරි වුණු රට නීතියෙන්, ව්‍යවස්ථාවෙන් බෙදන්න. මේ රටේ ඒකීයභාවය අවසන් කරලා දෙමළ ජාතිවාදී, බෙදුම්වාදයට උවමනා ආකාරයට දෙමළ ඊළම නිර්මාණය කර ගැනීමට පාර කපා දීම තමයි යමකුට මේ රටට කළ හැකි ලොකුම ද්‍රෝහීකම, ලොකුම පාවාදීම. මේ ආණ්ඩුවේ අයියලා අද ඒක තමයි කර ගෙන යන්නේ. එදා මහරජ ගැමුණු දිවි දීලා මේ රටේ ඒකීයභාවයට පණ දුන්නා. රටේ සිව් දිසාවේ ඒකම නීතියක් ක්‍රියාත්මක වන ආකාරයට කටයුතු කළා. ජාතියක් ලෙස අපි එකට නැගිට්ටා.

‘ආණ්ඩුවට තවදුරටත් ඉඩ දෙනවා ද?’

අද බලනවා, පළාත් ආණ්ඩුවට සියලු බලතල දෙන්න. පරමාධිපත්‍ය බලය නියෝජනයට ඉඩ ලබා දීම, ආණ්ඩුකාරවරයාගේ බලය බෙලහීන කිරීම, විධායක ජනාධිපතිගේ අතපය ගැටගහලා පළාත් සභාවක් මධ්‍යම ආණ්ඩුවෙන් ගැලවෙන විට ඒක නතර කරන්න බැරි කිරීම ආදිය ඒ යටතේ සිදු වේවි. එකට ඉඩ දෙනවා ද? ඒ දෙය කිරීමට මේ ආණ්ඩුව තවදුරටත් තබාගත යුතු නැහැ. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මේ ආණ්ඩුවේ බලය අවම කළ යුතුයි. පාර්ලිමේන්තුවෙන් පිටත, ජනතාව අතර මේ ආණ්ඩුව කුජීත වෙලා ඉවරයි. ඡන්දය තිබ්බාම මේක හොඳට බලා ගන්න පුළුවන් වේවි.

‘දැන් බස් එක ගිහින් ඉවරයි’

ළඟදී මේ රටට ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු කුමක්ද කීවේ? ‘දේශපාලනඥයන් කුමක් කීවත් යුද අපරාධ චෝදනා එල්ල වන මේ රටේ හමුදා නිලධාරීන් මේ රටේ හෝ විදේශ රටවල අධිකරණ හමුවට පමුණුවනවා’ කියලයි කීවේ. මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලෙස ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට’ අත්සන් කළාට පසු එම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරපු ඕනෑම රටක උසාවියකට, අපේ රණවිරුවකුට එරෙහිව පැමිණිල්ලක් ලැබුණාම ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. ඒ අනුව තමයි බ්‍රසීල උසාවියක හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව නඩු පැවරුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවංකවම හිතා ගෙන හිටියත් ‘රණවිරුවාව යුද අපරාධ අධිකරණ ග්‍රහණයෙන් මුදා ගන්නවා’ කියලා ඒත් වැඩක් නැහැ. දැන් බස් එක ගිහින් ඉවරයි. ජනාධිපතිවරයා මැදිහත් විය යුතුව තිබුණේ මංගල පින්සිරි විදේශ ඇමති ලෙස ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කිරීම වැළැක්වීමටයි. එහෙම නොකර, එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කෙරෙන පනත් කෙටුම්පත විවාදයට ගැනීම දෙවතාවක් කල් දැම්මාට වැඩක් නැහැ. අපේ දරුවන්ට නිදහසේ හුස්ම ටිකක් ගන්න පුළුවන් රටක් හදලා දුන්නු රණවිරුවන් යුද අපරාධ අධිකරණ ඉදිරියට ගෙන යන්න ඉඩ දීලා බලා ඉන්නවා නම් අපි පණ ඇති ජාතියක් වෙන්න බැහැ. ඒ නිසා ඒ අපරාධය වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ විදිහට අද රට දේශපාලනිකව අසරණ කරලා ඉවරයි. ආර්ථිකයත් හතරගාතෙන් ඇද වට්ටවලා.

‘ජාත්‍යන්තරය ජය ගෙන ඇත…’

වාහනවලට තෙල් ටිකක්වත් හරියට ගහගන්න බැරි ආණ්ඩුවක් තිබියදී විදේශ ආයෝජකයන් මේ රටට ඒවි ද? ‘ජාත්‍යන්තරය නම් ජය ගෙන ඇත. එහෙත් තෙල් ස්ටොක් එක සතියකටවත් ප්‍රමාණවත් නැත. හදිස්සියකට තෙල් ටිකක් ඉල්ලා ගැනීමට මොනම ජාත්‍යන්තර මිතුරෙකු ද නැත. ඉන්දියානු IOC සමාගම බාල තෙල් ගෙනැවිත්, ත්‍රිකුණාමලයෙන් ගොඩබාමින් ඇත. ඒවා නවත්වන්නත් මේ කොන්ද පණ නැති ආණ්ඩුවට නොහැක. (ජනතාවගේ හූ හඬ) අම්මපා මේ ජාතියේ බෙලහීන මඤ්ඤං ආණ්ඩුවක්. මෙහෙම ආණ්ඩුවක් ආපු නිසා තමයි අද තරුණ පරපුරට හිතෙන්නේ ‘මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මාර ස්මාර්ට් නෙ’ කියලා. පසුගිය දිනවල ‘නෙවෙස්කෝ ආර්යාවට’ ජනාධිපති ආර්යාවටත් වඩා තැනක් තිබුණා. එයා ආවේ නැත්නම් අපට තෙල් නැතිව අද අනුරාධපුරයටවත් එන්න වෙන්නෙ නැහැ. ‘බලය බෙදන්න කලින් තෙල් ටික හරියට බෙදපල්ලා’ කියලයි එදා මුහුණු පොතේ තරුණයෝ කීවේ.

‘මොකුත් නැති මංගලගේ අය – වැය…’

මෙහෙම ආණ්ඩුවකට රට ගෙනයන්න බැහැ. රජරට ගොවියා අසරණ වෙලා. උතුරේ ජනතාවගේ ආර්ථිකය කඩාවැටිලා. කිලිනොච්චියේ පවුලක අම්මත් වහ කාලා දරුවන් තුන්දෙනාටත් වහ දුන්නා. මේ ආණ්ඩුවට ඒවා වැඩක් නැහැ. උතුරට බෙදන්න හදනවා බලය. පසුගිය දිනවල මංගල පින්සිරි අය-වැයක් ගෙනාවා. ගොවියාට, රාජ්‍ය සේවකයාට, විගාමික ශ්‍රමිකයාට මේ අය-වැයෙන් මොකුත් නැහැ. ඇත්තේ බියර් බීමට අනුග්‍රහයක් පමණයි. මොකුත් නැති මංගලට හැක්කේ මොකුත් නැති අය – වැයක් ගෙන ඒමට පමණි.

‘ගණ දෙවියන්ට බිරිඳක් ගේනවා වගේ’

දෙමළ කියමනක් තිබෙනවා ‘ගණ දෙවියන්ට බිරිඳක් ගේනවා වගේ’ කියලා. ගණ දෙවියන්ගේ අම්මා පාර්වතී. ඇය ඉතාමත් රූමත්. ගණ දෙවියන්ගෙන් ඇය අහනවා, ‘ඇයි ඔබ විවාහයක් කර ගන්නෙ නැත්තේ?’ කියලා. ‘පාර්වතී වැනි රූමත් කෙනෙකු ලැබුණොත් විවාහයක් කර ගන්නවා’ කියලයි ගණ දෙවියන් කියන්නේ. මේ කතාව අහලා කෝප වුණු පාර්වතී ‘පාරක් පාරක් ගාණේ ගිහින් බිරිඳක් සොයාගෙන එන්න’ කියලා ගණ දෙවියන්ට කියනවා. ඒකයි ගණ දෙවි කෝවිල් තුන්මං හන්දිවල තිබෙන්නේ. පාර්වතී වගේ කෙල්ලක් එනකන් තමයි ඒවා තුන්මං හන්දියේ සිට බලා ඉන්නේ. මට පෙනෙන්නෙ අද මේ රට පාලනය කරන ගොඩක් එවුන්ට වෙලා තියෙන්නෙත් ගණ දෙවියන්ට වුණු වැඬේ. පාර්වතී ගණ දෙවියන්ට කියන්නේ ‘විවාහයක් කර ගන්න’ කියලා අර්ථයක් ඇතුවයි. දරුවෙක් මල්ලෙක් ඉන්න විටයි බරක්, පතලක්, අනාගතයක් ගැන සිතෙන්නේ. මේ නායකයනුත් ගණ දෙවියන් වගෙයි. නමුත් ගණ දෙවියන්ට නුවණ තිබුණා. මේ හාදයන්ට මොළයකුත් නැහැ.

‘බදු බර’

2014ට වඩා මෙවර අය අය-වැයෙන් රුපියල් කෝටි 98,400කින් බදු බර වැඩි කර තිබෙනවා. එදා රතු අලි පැටියා කට උල් කර ගෙන කිව්වා ‘බදු බර පටවලා රාජපක්ෂ පවුල රජ සැප විඳිනවා’ කියලා. ඒත් අද ඒ රතු අලි පැටියා මහන්සි වෙලා ගෙනාපු ආණ්ඩුව එදාට වඩා අද රුපියල් කෝටි 98,400ක් වැඩියෙන් බදු අය කරලා තිබෙනවා. මේ රටේ බදු ගෙවන අයෙක් 2014ට වඩා 2018 වසරේ දී වැඩිපුර රුපියල් එක්ලක්‍ෂ විසිදහසක බද්දක් ගෙවනවා.

‘2018 අප්‍රේල් 01 වැනිදා සිට…’

ඒ විතරක් නොවෙයි, 2018 අප්‍රේල් 01 වැනිදා සිට නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මකයි. ඒක ක්‍රියාත්මක වීමත් සමඟම මේ රටේ මැද පන්තිය නැත්තටම නැති වෙනවා. එමගින් අය කරන අලුත් බදු ප්‍රතිශත නිසා කර්මාන්ත, ව්‍යාපාර කඩා වැටෙනවා. මේ රටේ ආර්ථිකය ගැඹුරු ආගාධයකට ඇද වැටෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට සාමය, ස්ථාවරභාවය හා ආර්ථික වර්ධනය ගෙනාවා. එහෙම ගියානම් දිගටම මේ රට නැගිටිනවා. ඒක වළක්වන්නයි මේ දෙන්නා බලයට ගෙනාවේ. මේ දෙන්නගේ එක කොන්ත්‍රාත්තුවක් තමයි මේ රටේ ආර්ථිකය බෙලහීන කරලා විදේශිකයන්ට එය ගිල ගැනීමට අවශ්‍ය ඉඩ හදලා දීම.

‘කිසිම වැඩක් නොකර ගත්තු ණය ට්‍රිලියන 4.7යි’

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ රටේ ණය බර 64%කින් ඉහළ දමා තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාලනය සිය දසවසරක පාලනය තුළ (යුද්ධයකුත් කරල මහා මාර්ග නවීකරණය ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් අරඹලා) ගත්තු සම්පූර්ණ ණය ප්‍රමාණය ට්‍රිලියන 5.2යි. නමුත් කිසිම වැඩක් නොකරපු මේ ආණ්ඩුව මේ වසර තුන තුළ ගත්තු ණය ප්‍රමාණය ට්‍රිලියන 4.7ක්. ඇමති සැප විඳින්න, කාර්යාල, වාහන ගන්න, මේ පරපුටු ඇමති මණ්ඩලය වෙනුවෙන් තමයි මේ මුදල් වියදම් කරන්නේ.

‘මේකත් හරියට ලොතරැයිකාරයා වගේ’

මෙහෙම ණය ගත්තු මේ ආණ්ඩුවේ අයියලා ණය ගෙවන විටත් බද්දක් අය කරනවා. ඒකට නම දාලා ‘මැදමුලන බද්ද’ කියලා. මේකත් හරියට ලොතරැයිකාරයාගේ කතාව වගේ. ලොතරැයිකාරයා හැම තිස්සෙම කියන්නේ ‘අදිනවා, අදිනවා, අදිනවා’ කියලා. රෑට නින්දට ගියාමත් කියන්නේ ‘අදිනවා, අදිනවා’ කියලයි. රෑට නෝනත් බලන් ඉන්නවා. ඒත් අදින ඇදිල්ලක් නෑ. ඊට පස්සේ උදේට නෝනා ලොතරැයිකාරයා එළවා ගන්නවා. ‘පල යන්න උඹ ඇදපු ඇදිල්ලක් නැහැ’ කියලා. මේ ආණ්ඩුවත් ඒ වගේ හැම එකටම ‘රාජපක්‍ෂ, රාජපක්‍ෂ, රාජපක්‍ෂ’ කියනවා. වැඩක් වෙන්නේ නැහැ. දැන් අවුරුදු තුනයි. දැන් ජනාධිපතිවරයාත් ඇමැතිවරුන්ට කියනවා ‘මේ අවුරුදු තුන නිකම්ම ගියා. ඉතිරි අවුරුදු දෙක එහෙම යන්න දෙන්න එපා!’ කියලා. ‘මෙහෙම ආණ්ඩු දකින්න හරි වාසනාවන්ත වෙන්න ඕන බ්‍රෝ’ ෆේස්බුක් භාෂාවෙන් නම් එහෙම තමා කියන්න වෙන්නේ.

අපේ ආණ්ඩුව කාලයේ 2014 මුළු බදු ආදායම රුපියල් බිලියන 1050යි. 2018 මුළු බදු ආදායම බිලියන 2034යි. ඒ අනුව 2014ට වඩා 2018 දී ගන්නා බදු ආදායම දෙගුණයකින් වැඩියි. මේ පරපුටු පාලන තන්ත්‍රය නඩත්තු කරන්න විතරක් නොවෙයි දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්න දාපු අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය නඩත්තු වෙන්නෙත් අපෙන් මේ විදියට ගන්න බදු මුදලිනුයි. රණවිරුවාට තොණ්ඩුව දාන අලුත් උසාවි හදන්නෙත් අපෙන් මේ අය කරන බදු මුදල්වලින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනෙ විදියට රටේ ආර්ථිකය නට්ටං කරන අතරේ විදේශිකයන්ට දෙනවා සහන. මේ අය – වැයෙන් සුද්දාට මේ රටේ ඉඩම් ගන්න තිබුණු බාධා ඉවත් කරනවා. චීන්නු, ඉන්දියානුවන් ඉඩම් ගනියි. මේ රට උන්ගේ කොලනියක් වෙයි. ජාතියේ අවසානය ඒකෙන් ලියැවේවි. මේ අපරාධය සිදු වන තුරු අපට නිහඬව බලා සිටීමට බැහැ.

තවත් දෙමළ කියමනක් තිබෙනවා ‘ගස් නඟින්න ආසා නම් ඝානාර් කුලයේ ඉපදෙන්න’ කියලා. ඝානාර් කුලය කියන්නේ රා මදින කුලයටයි. ඒ කුලයේ නම් තමයි ආසා වුණත් ගස් නගින්න වෙන්නේ. ඒ වගේම තමයි ‘යූඑන්පී කුලයේ’ ඉපදුනොත් තමයි මේ වගේ ආණ්ඩු බලන්න පුළුවන් වෙන්නේ. 2013 දී සිංගප්පූරුවේ දී දකුණු අප්‍රිකාව සහ තවත් යුරෝපා රටවල් දෙකක් එකතු වෙලා දෙමළ ඩයස්පෝරාව සහ මේ යහපාලන කල්ලිය අතර ඇති කරවපු එකඟතාව අනුවයි අද මේ ‘ෆෙඩරල් ව්‍යවස්ථාව’ හැදෙන්නේ. ‘පුංචි කාර් අඩු ගාණට දෙනවා’ කියපු පොරොන්දු ඉටු නොවුණාට 2013 දී සිංගප්පූරුවේ දී කොටියාට රනිල් වික්‍රමසිංහ දුන්නු පොරොන්දු තමයි අද ක්‍රියාත්මක වෙන්නේ.

‘අලුත් අවලාදකාරයෝ’

දැන් පළාත් පාලන ඡන්දයට පිට්ටනිය සකස් වී තිබෙනවා. ආයෙත් තාජුඩීන්, ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ගැන අවලාද තොග පිටින් වපුරාවි. ආණ්ඩුවේ නාලිකාවලින් මේ සුපුරුදු අවලාද ගහන අතරේ අපි අතුරින්ම අලුත් අවලාදකාරයෝ හොඳ කුලියක් ගෙවලා ළඟට ගනිවී. මුන් මොන පිල්ලි – ජවුසං නැටුවත් පළාත් පාලන මැතිවරණය අවසානයේ අපි අපේ ශක්තිය පෙන්වමු. එක අරමුණකට – ඉලක්කයකට වැඩ කරමු. චිත්‍රපටයක් ඉවර වෙන්න විනාඩි දෙක තුනකට කලින් ගහන ‘එලාම් එක’ වගේ අපිත් මේ ‘පළාත් පාලන ඡන්දය’ ආණ්ඩුවට ගෙදර යන්න කලින් ගහන ‘එලාම් එක’ බවට පත් කර ගනිමු. රජරට, මැදරට පමණක් නොවෙයි මුළු රටම ඒ ‘එලාම් එක’ ගහලා ‘දැන් ගෙදර පලයල්ලා’ කියන පණිවිඩය මේ ආණ්ඩුවට ලබා දෙමු!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress