මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම
Posted on November 27th, 2017

BY MALINDA SENEVIRATNE

“බය නැති අගමැති” කියල පුරසාරම් දොඩන්න සූදානම් වෙද්දී හිතුවේ නැද්ද මන්ද රිට(ර්)න් එකක් එයි කියල.  ඇත්තට වුනේ හතර අතින් පෝස්ටරය කෝචෝක් කිරීමයි.  ලැජ්ජ නැති, පණ නැති, විලිලජ්ජ නැති, හොරකමට බය නැති, තිරුපති හැරුණු විට අන් හැමෝටම බය නැති, රට බෙදන්න බය නැති, රට විකුණන්න බය නැති යනාදී ලෙස අගමැති ගේ ප්‍රතිරූපය උස්සල තියන්න හදපු පෝස්ටරය විහිළුවට ලක් වුනා.  
මොකද්ද මේ එඩිතරකම?  කොමිසමක් ඉදිරියට ගොස් තමා වෙත එල්ල කරන ෆුල් ටොස් පන්දු වලට හයේ පහරවල් ගැසීම ද?  ඇසිය යුතු ප්‍රශ්න නොඇසු බැවින් අපහසුවට පත් වීමට අවකාශයක් නොතිබීමද?  තමන්ට රිසි තණතිල්ලක, තමන් ට පක්ෂග්‍රාහී විනිසුරුවන් යොදමින් අදක්ෂ පන්දු රකින්නන් ක්‍රීඩා කරන තරඟයක තමන් ට පමණක් මද වේග එල්ල කරන වේග පන්දු යවන්නන් ට මුහුණ දීම ද?  

එක අතකට බලද්දී ඉල්ලුම-සැපයුම මත මිල තීන්දු වෙනවා කියල විශ්වාස කරන සමාජයක අගමැති ගේ මෙම ඉදිරිපත් වීම වීරක්‍රියාවක් ලෙස විශ්වාස කිරීම ගැන පුදුමු වෙන්න දෙයක් නැහැ.  ප්‍රයිස්-ෆික්සිං වගේම, මැච් ෆික්සිං වගේම නඩු-ෆික්සිං කියල දේකුත් තියෙනවා.  නඩු-ෆික්සිං වගේම ව්‍යවස්ථා සංශෝධන ෆික්සිං ද, මැතිවරණ ෆික්සිං ද, මැතිවරණ දින ෆික්සිං ද, දින වකවානු පටලවාගෙන ස්වයං-ෆික්සිං ද (සුජීව සේනසිංහ ස්පෙෂල්) මේ රටේ දකින්න පුළුවන්.  

සුජීව සේනසිංහ ට වුනේ එකක් වහගන්න ගිහින් තව එකක් මතු වුන එක.  ස්වයං-ෆික්ස් වුනේ එහෙමයි.  ඒත් ජනතාව ට වෙන්නේ නැත්තම් ජනතාව තමන්ට ම කරගන්නේ ටිකක් වෙනස් ජාතියේ ස්වයං-ෆික්සිං එකක්.  සුජීවට වැරදුනා.  ඒත් ජනතාව වරද්ද ගන්නේ නැහැ.  ජනතාව ගහන්නේ ෆික්ස් කරපු මැච් එකක්.  ඒක අමුතුම ජාතියක ක්‍රීඩාවක්.  පැරදුනත් දින්නයි කියල හිතෙන සෙල්ලමක්.  ව්‍යාජ ජයග්‍රහණ පරාජයන් ලෙස නොපෙනන සෙල්ලමක්.

මේ සෙල්ලමට කැමති නම් ‘මැතිවරණ’ කියල කියන්න පුළුවන්.  ඇත්තටම පක්ෂ දේශපාලනය කියලත් කියන්න පුළුවන්.  එහෙමත් නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නත් පුළුවන්.  ඒ කියන්නේ පක්ෂ දේශපාලනය, මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදය යනාදිය අද තියෙන විදිහට ෆික්ස් වෙච්ච මැච් එකක්.  ඒ මැච් එක ෆික්ස් කරලා කියල දැන දැනත් අපි සෙල්ලම් කරනවා.  බලාගෙන ඉන්න අයත් ෆික්ස් වෙන එක සෙල්ලම් කරලම ෆික්ස් වෙන එක වඩා හොඳයි කියල හිතෙනවා වෙන්න ඇති සමහර විට.  කෙසේ වෙතත් අවසානයේ වෙන්නේ පරදින එක.  ඇප නැති වෙන එක.  ගොනාට ඇන්දෙන එක.  

පැරදිලා, ඇපත් නැති කරගෙන, උඩ බලාගෙන ඉන්න ලැජ්ජ නිසාදෝ දිනපු නැත්තම් දිනවපු අය කුමන හෝ  ආකාරයකින් ෆික්ස් වෙද්දී හිනාවෙන්න අපි පුරුදු වෙලා තියෙනවා.   පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වීම ගැන සතුටු වෙනවා — කෝලම් කාරයෝ එතෙන්ට යැව්වේ අපි ම නේද කියල අමතක කරලා.  හරියට එයාල කෝලම් කාරයෝ කියල නොදැනගෙන එයාලට ඡන්දේ දුන්න වගේ. 

ඉතින් කෝලම් නටන අය අත්පිටපත පටලවාගෙන මෝඩ කතා කියද්දී විසිල් පාරවල් ගහනවා, හූ තියනවා, මහා හයියෙන් හිනා වෙනවා.  පටලවාගත්ත වචන තවත් පටලවමින් විනෝද වෙනවා.  අපි පටලවාගත්ත තැන හොයන්නේ නැහැ.  හොයන්නේ නැති තාක් කල් දේශපාලනඥයෝ සුව සේ නිදා ගන්නවා, මෛත්‍රිපාල ජනාධිපති තුමා කිව්වා විදිහට කොලේ ඉරාගෙන ඇඟේ ගා ගත්ත එක ගැන පොඩ්ඩක් වත් අවුල් වෙන්නේ නැතිව.  

පාලකයෝ නාගනිද්දී හිනා වෙන එක වැරදි නැහැ.  දැනෙන විවිද පීඩන හිනාවෙලා තුනී කරගන්න පුලුවන්නම් හිනාවෙමු ඇති තරම්.  ඒත් එතනින් නවතිනවානම් අවසාන හිනාව අයිති අපට. නොවේ.  පාලකයින්ට.  එයාල හිනාවෙන්නේ අපට.  

ඉතා සරලයි.  ලැජ්ජ-බය නැති විදිහට පාලකයෝ හැසිරෙන්න හේතුවක් තියෙනවා: ෆික්ස් කරපු දේශපාලන මැච් එකෙන් පරදින්න ජනතාව සූදානම් නිසා, ඒ අනිවාර්ය වූ පරාජය වෙනුවෙන් කැපවෙන නිසා, සම්මාදම් වෙන නිසා.  කොටින්ම පරදින බව දැන දැනත් නොලැබෙන ජයග්‍රහණ වෙනුවෙන් ඔට්ටු අල්ලන නිසා.

එහෙනම් පණ නැති, ලැජ්ජ-බය නැති අය වචනයක් වරද්ද ගනිද්දී අපි හිනාවෙන්නේ වරද්ද ගත්ත අයටද අපටම ද කියල අහන්න ඕන.  වැරදි කරන්න බය නැත්තේ එයාලද නැත්තම් අපද?  ලැජ්ජාවක් නැත්තේ එයාල ට ද අපට ද?  හොරකම් කලේ සහ කරන්නේ, රට බෙදන්න හදන්නේ, මැරකම් ඇතුළු වෙනත් වැරදි කරන්නේ එයාල වෙන්න පුළුවන්, ඒත් ඒවා ඉවසන්නේ සහ අහක බලාගෙන ඒවා නොවුන විදිහට හැසිරෙන්නේ එයාලද අප ද?  

එක හොරු සෙට් එකක් ගෙදර යවන්න ඕන වෙනකොට ‘ඉස්සෙල්ල මුන් ටික ගෙදර යවමු’ කියල හොරු කියල හොඳට ම දන්නා වෙනත් සෙට් එකක් බලයට ගේන කොට ‘හොරකම’ ගෙදර යැවෙන්නේ නැහැ නේද කියල එක අපෙන්ම අහන්න මැලි වෙනවා නම් හොරකමේ තිරසර කමට අප ද සම්මාදම් වෙනවා.  මෙතන ප්‍රධාන දේශපාලන පක්ෂ වගේම ඒවා ට මුක්කු ගහන පොඩි පක්ෂද වරද ට වග කියන්න ඕන.  අපද වග කියන්න ඕන.  

ලැජ්ජ-බය ඇති, හොරකම ට එරෙහි වන, ශිෂ්ට ජනතාවක් වෙන්න නම් මේ ස්වයං-ෆික්සිං සෙල්ලම නවත්තන වෙනවා.  ෆික්ස් කරපු මැච් සෙල්ලම් කරන එක නවත්තන ඕන.  අවශ්‍ය නම් අපි මුල් වටයේ අපටම හිනා වෙමු.  එතනින් පටන් ගෙන මේ දැවැන්ත දේශපාලන වංචාවට සම්මාදම් වෙන එක නවත්තමු.  ලැජ්ජාවක්, බයක් අප තුල වර්ධනය කර ගමු.  කොටින්ම අපි අපටම කෙලව ගන්න එක නවත්තමු.  මැච් ෆික්ස් කරන අයව ෆික්ස් කරමු.  සමතල පිටියක් නිර්මාණය කරගෙන එතන ක්‍රීඩා කරමු.  

ජය!  

2 Responses to “මැච්-ෆික්ස් කරල ඇප නැති කර ගැනීම”

  1. Senerath Says:

    Thank you Milinda. Strangely we both published this ලැජ්ජ-බය නැති truth alomst simultaneously.

    ” කොමිසමක් ඉදිරියට ගොස් තමා වෙත එල්ල කරන ෆුල් ටොස් පන්දු වලට හයේ පහරවල් ගැසීම ද?”

    Not only full toss, they were No balls with blind umpires. He knows he will not get out hitting those easy shots.

    ලැජ්ජ-බය නැති තිරිසණා සතර අපා දුක් විඳින දිනය දුර නැත​. මොහුට තව ජනප්‍රිය සගයෙකුත් එහෙදී හමුවනු නියතයි.

    Please start an independent web site to fight this terrorism.

  2. Senerath Says:

    Another shot comparable to Ranil’s and Sira’s batting.
    They have forgotten that the bowler has a brain.

    https://www.youtube.com/watch?v=nem-GKvnVoU

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress