කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්නේ නැතුව ඉන්න නම්….
Posted on November 29th, 2017

 Malinda Seneviratne

 ජනාධිපති තුමාට ප්‍රශ්ණයක් ඇත — තමන්ගේ දේශපාලන අනාගතය මේ මොහොතේ අඳුරු ලෙස පෙනීම.  අගමැති ට ද ප්‍රශ්ණයක් ඇත — මෛත්‍රිපාල ඇතුවත් බැරි නැතුවත් බැරි කාරණය.  දිනෙන් දින මෝරන ජනතා අප්‍රසාදය අනෙක් පාර්ශවයට බැර කරන්න මේ දෙන්න වගේම එයාල ගේ අනුගාමිකයින් ද උත්සහා කරන බවක් පෙනේ.  
දේශපාලන කසාදයේ අඬදබර ගේ ඇතුලේ විසඳාගැනීම කෙසේ වෙතත් ගේ ඇතුලට සීමා කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ දෙගොල්ලන්ටම වාචාල ගෝල බාලයින් ඉන්න නිසා. පාර්ශව දෙකම එකිනෙකාට හින්ට් ගහනවා.  අව කැපෙන කතා කියනවා.  කෙනෙහිලිකම් කරනවා.  

මේ අතර ‘අහිංසක’ සිවල්-සමාජ කාරයෝ දෙගොල්ලෝ එකට තියාගෙන රට බෙදන ව්‍යාපෘතියේ පැවැත්ම උදෙසා මහන්සිවෙනවා.  සන්ධානය බිඳුනොත් රනිල් පරදියි ද, මෛත්‍රී පරදියිද නැත්තම් පොහොට්ටුව දිනයිද යනාදියට වඩා එයාලට වැදගත් වන්නේ බෙදුම්වාදය ආපස්සට යයි ද කියන එක.   

ප්‍රධාන දේශපාලන සන්ධානයන් මේ දවස් වල ගණන් බලන්නේ ‘පුංචි මැතිවරණය’ ට අදාලවයි.  රනිල් පොහොට්ටුව ට පරදියි කියල බයයි.  මෛත්‍රී බය වෙලා තියෙන්නේ එජාපය දිනයි කියල නෙවෙයි එජාපය දින්නත් පොහොට්ටුව විසින් තම පක්ෂය තෙවෙනි ස්ථානයට තල්ලු කරයි කියල.  ජවිපෙ තුන්වෙනියා  වෙයි කියලත් බයක් ඇති ඇතැම් විට.  එජාපය එක්ක එකට ඉල්ලන්න ගියොත් තමන් එජාපයේ නැට්ට බව තවත් තහවුරු වන බව මෛත්‍රී දන්නවා.  අනික එජාපයට මෛත්‍රී පිල සමග සන්ධාන ගත වෙලා ලබාගන්න පුළුවන් ලොකු වාසියක් නැති බවද, කොහොම වුනත් පක්ෂය එවන් සන්ධානයකට අකමැති බවද රනිල් දන්නවා.  

පොහොට්ටු කාරයෝ බලන්නේ දේශපාලන තත්ත්වයෙන් වඩා ලොකු වාසිය ගන්නේ කොහොමද කියලයි.  මෛත්‍රී කණ්ඩායම වෙනම ඉල්ලුවොත් පොහොට්ටුවට දෙවෙනි ස්ථානය වුනත් ප්‍රමාණවත්.   ශ්‍රීලංනිප ය තුල මෛත්‍රී ගේ බලය තවත් හේදිලා යන තත්ත්වයක් පොහොට්ටු කාරයින්ට වාසිදායක වෙනවා.  මෛත්‍රී සමග සන්ධාන ගත වී එජාපයත් පරාජය කොට පක්ෂය තුල දේශපාලන මස් රාත්තල ලබා ගන්න පුළුවන් නම් ඊටත් වඩා වාසිදායක වෙන ව.  

ඒ අනුව අසරණම වෙලා ඉන්නේ මෛත්‍රිපාල යි.  දැනෙන පීඩනය දරාගන්න බැරිවෙන්න ඇති.  රනිල් ගේ අනුමැතිය ඇතිව — නැතිව වෙන්න බැහැ නේ — සුජීව සේනසිංහ මෛත්‍රීට එල්ල කරපු ප්‍රහාරයට පිළිතුරු වශයෙන්  අර ‘කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න එපා’ කතාව කිව්වේ ඒ නිසා වෙන්න ඕන.

සිවල් සමාජ කාරයෝ කලබල වෙලා මෛත්‍රී ලොක්ක මුණ ගැහෙන්න ගියේ ඒ නිසයි.  සන්ධානයට මොනවාද වෙන්නේ කියල දැන ගන්න එයාලට ඕන වෙලා ලු. ඒ වගේම ගෝටා කවද්ද ඇතුලට ගන්නේ කියන එකත් එයාලට දන්නදැන ගන්න ඕන වෙලා ලු.  ඒකට උත්තර දෙන්න ගිහින් නීතිය තියෙන්නේ තමාගේ සහ අගමැතිගේ සාක්කුවල බව මෛත්‍රී ට වැරදිලා කියවුනා. ඒක වෙනම කතාවක්.  ඒත් කොලේ ඉරාගෙන ඇඟේ හලාගන්න කතාව ගැන ගොඩාක් කියන්න පුළුවන්.

ඇත්තටම කවුද කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තේ?  

“ඥාති සංග්‍රහය නවත්තන්නෙමි” කියල ජනාධිපති වූ සිරිසේන පැය 72ක් යන්න කලින් ටෙලිකොම්/මොබිටෙල් ආයතන වල සභාපති ධූරයට තමන්ගේ සහෝදරයා පත්කරනකොට කොලේ ඉරුනේ නැද්ද, ඇඟේ හලාගත්තේ නැද්ද?  2015 අප්‍රේල් මාසේ විහාරමහාදේවි උද්‍යානයේ පැවති රැලියේ තම පාක්ෂිකයින්ට මහා හඬින් පොරොන්දු මෛත්‍රී වුනේ ’20 වන ව්‍යවස්ථා සංශෝධනය ගේනව, මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා’ කියලයි.  අවුරුදු දෙකකුත් මාස 7 කුත් ගෙවිලා.  කොලයක් ඉරාගත්තේ නැද්ද? ඇඟේ හලාගත්තේ නැද්ද?  

දහම් පුතාව එක්සත් ජාතීන්ගේ සැසි වාර වලට ගෙන ගොස් කොලයක් ඉරාගෙන ඇඟේ හලාගත්තේ නැද්ද මෛත්‍රී? රාජ්‍ය ආයතන වල ප්‍රචාරණ වැඩ චතුරිකා දුවගේ ඇඩ්වටයිසින් සමාගමට පවරලා කෝටි ගනන් ඇයගේ ගිණුම් වලට බැර කරන්න සැලසුම් කරන කොට කොල ඉරුනේ නැද්ද, ඇඟේ හැලුනේ නැද්ද?   

විලිලැජ්ජාවක් නැති ව්‍යවස්ථාදායකය ක සහ අධිකරණයක සහය ඇතිව ජේ.ආර්. ලැජ්ජ නැති විදිහට සම්මත කරගත් 14 වන සංශෝධනය පිහිටෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කල අපේක්ෂකයින් ‘ජාතික ලැයිස්තුව’ කියන පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේ කවුද 2015 අගෝස්තු වේ දී? එදා කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තේ නැද්ද?  

සියලු අවවාද උපදෙස් නොතකා රුසියානු නැව් ගනදෙනුවක් කරගන්න අවශ්‍ය නිසා ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති ධූරයෙන් ඉවත් කරනකොට කොලයක් ඉරුනේ නැද්ද, ඇඟේ හලාගත්තේ නැද්ද?  ඇමරිකාව සමග එකතු වී මානව හිමිකම් මණ්ඩලයට කෙටුම් පතක් ඉදිරිපත් කරමින් රටේ ස්වෛරීභාවය පාවා දෙනකොටත් කොලයක් ඉරුනේ නැද්ද, ඇඟේ හලාගත්තේ නැද්ද?  

මෛත්‍රී විතරද මේ කොල ඉරාන ඇඟේ හලාගන්න සෙල්ලම කරන්නේ?  තමන්ද තම පක්ෂයද, පක්ෂයේ බලවතුන් ද පහුගිය වසර තුන තුල ඇති තරම් කොල ඉරාගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ හොඳින් දන්නා දෙයක්.  ඇඟේ හලාගත්ත බවත් දන්නවා.  මෛත්‍රීගේ ඉරපු කොල බස් ටිකට් එකක ගානට දමන තරමට මහා දැවැන්ත මගඩියකට එජාපය ඍජුවම හවුල් වුනා.  ඒ මහා බැකු මංකොල්ලය.  රනිල් මෙතන අහිංසක නැහැ.  හොරු ආරක්ෂා කෙරුව.  හොරකම්, තක්කඩිකම් කෙරුව කියල මාට්ටු වුනාට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් සහ රවී කරුණානායක අදාළ තනතුරු වලින් ඉවත් වූ පසු දෙන්නටම අලුත් තනතුරු දෙන්න රනිල් කටයුතු කෙරුව.  කොල ඉරාගත්තා, ඇඟේ හලාගත්තා.

ජවිපෙ.  මේ දවස්වල ෆයිසර් මුස්තෆර් ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න හදන ජවිපෙ (ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන්), ඡන්ද කල් දැමීමට පක්ෂව ඡන්දේ දුන්නු බව අමතක කරවන්න හදනවා.  කොලයක් මෙතනත් ඉරුණ. ඇඟේ හලාගත්ත.  කොහොම වුනත් යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරන්න (විශේෂයෙන් එජාපය සහ රනිල්ව) අනුර කුමාර දිසානායක මහන්සි වුන බව හැමෝම දන්නා දෙයක්.  හොරු එපා කියා කියා හොරු එක්ක ලගිද්දී ‘අපි නම් කොළ ඉරාගෙන ඇඟේ හලාගත්තේ නෑ’ කියල අනුරට නම් කියන්න බැහැ.

පොහොට්ටු කාරයෝ මේ දවස් වල මේ සියලු කොල ඉරාගනීම් ඇඟේ හලාගැනීම් ගැන සතුටු වෙනවා.  ඒත් මහින්ද රාජපක්ෂ තමන්ගේ ධූර කාලය තුල ඉරපු කොල ගැන ඇඟේ හලාගත්ත එක ගැන වචනයක් කියන්නේ නැහැ.  ඒවා අපට අමතකත් නැහැ.  ඥාති සංග්‍රහය, වංචාව, දූෂණය, රාජ්‍ය දේපළ අවභාවිතය, මැරකම්, ජඩකම් වලට විධායක ජනපති හැටියට මහින්ද වග කියන්න ඕන.  

මේ සියල්ල නිවුස් නෙවෙයි.  දන්න දේවල්.  වැදගත් ම දේ තමයි මේ අය කොල ඉරාගන්නකොට හැලුනේ සහ හැලෙන්නේ අපේ ඇඟවල් වල.  ඒ සියළු කොළ ඉරිලි වලට ඇඟේ හලාගැනීම් වලට ජනතාව ඍජුව හෝ වක්‍රව, දැනගෙන හෝ නොදැනුවත්ව සම්මාදම් වුනා.  ඒ සම්මාදම් වීම ම කොල ඉරාගනීමක්, ඇඟේ හලාගැනීමක්. අප අපටම කර ගත්තු ලැජ්ජසහගත වැඩක්.  එබැවින් එදත් අදත් අත්විඳපු සහ අත්විඳින දඬුවම් ඉතා සාධාරණයි කියල හිතන්න වෙනවා.

කල යුත්තේ කුමක්ද?  කොල ඉරාගෙන ඇඟේ හලාගන්න මෛත්රිලාට රනිල්ලාට අනුරලට හිනා වෙන එකද, එයාල කොළ ඉරාගන්නකොට හැලෙන්නේ අපේ ඇඟේ බව පිළිගෙන පැත්තකට වෙන එක ද?  පැත්තකට වෙන කොට එයාල ඉරාගත්තට අපේ ඇඟේ හැලෙන්නේ නැති වුනාට අපත් කොල ඉරමින් ඇඟේ හලාගන්න බව පිළිගෙන කොලේ ඉරාගන්නේ නැතිව ඉන්න තීන්දු කරන එක ද?  

ජය!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress