ජනපති ධුර කාලය දීර්ඝ කරගන්නේ බලය තහවුරු කරගන්නයි – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි
Posted on January 14th, 2018

 සාකච්ඡා සටහන පාලිත සේනානායක

වසර 6 ක්‌ දක්‌වා ජනාධිපති ධුරයේ රැඳී සිටීමට තමාට ව්‍යවස්‌ථාමය බාධාවක්‌ තිබේ ද යන්න පිළිබඳව ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. එතුමා එවැන්නක්‌ සිදුකිරීම පිළිබඳව ඔබේ අදහස කුමක්‌ද?
 
 ජනාධිපතිතුමාගේ එම තීරණය සම්පූර්ණයෙන්ම දේශපාලනික එකක්‌ බවයි මගේ අදහස. එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද මුහුණ දීමට සිදුව තිබෙන අභියෝග හමුවේ ජනාධිපතිතුමා ගත් තීන්දුවක්‌. එය රනිල් වික්‍රමසිංහ මහතා අභිබවා යැමක්‌ හැටියටත් මා දකිනවා.
 
 ජනාධිපතිතුමා එවැනි තීරණයක්‌ ගන්නේ ඇයි?
 
 රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ පිරිසිදු දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු වුවත් මහබැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තුළින් ඔහුත් එම වංචාවට වරදකරුවකු යෑයි ජනතාවට හැඟුණා. එය මීළඟ මැතිවරණවලදී එක්‌සත් ජාතික පක්‌ෂයේ පරාජයට බලපාන්නට ඉඩ තිබෙනවා. යුද්ධය ජයග්‍රහණය කර ජනතා වීරයකු බවට පත්ව සිටි මහින්ද රාජපක්‌ෂ මහතාට පසුගිය ජනාධිපතිවරණයෙන් පරාද වීමට ප්‍රධාන හේතුවක්‌ වූයේ ඔහුගේ දේශපාලනික පවිත්‍රභාවය පිළිබඳ ජනතාව තුළ සැක සංකා හට ගැනීමයි. පිරිසිදු දේශපාලනඥයකු ලෙස මෙතෙක්‌ කල් රනිල් වික්‍රමසිංහ මහතා රැකගෙන ආ හොඳ නම මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය නිසා විනාශ වීමෙන් ඔහුත් අද දේශපාලනික වශයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට ගෙන ඇති තීරණය මා දකින්නේ මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇති තත්ත්වය දේශපාලනික වශයෙන් තමාට වාසිදායක තත්ත්වයකට පත් කරගැනීමක්‌ ලෙසයි.
 
 රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය අද එක්‌සත් ජාතික පක්‌ෂය තුළ අර්බුදයක්‌ නිර්මාණය කර තිබෙනවා. ඔහුගේ මේ ක්‍රියා කලාපය ඉදිරි මැතිවරණයකදී එක්‌සත් ජාතික පක්‌ෂයට බලවත් බාධාවක්‌. මහ බැංකු වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ඔහු. එපමණක්‌ නොවෙයි, කොමිටියක්‌ පත් කර මහේන්ද්‍රන් කළ වංචාවන් ඔහු වසන් කළා. මහේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරන්න නොයෙක්‌ වර ඔහු වෑයම් කළා. ජිනීවා යෝජනාවලට එකඟ වීම වැනි ඔහුගත් අදූරදර්ශී තීරණ ජාතික වශයෙන් රටට අයහපත් ලෙස බලපෑවා. මේ සියල්ල නිසා ජනාධිපතිතුමාට ඔහුව ඉවත් කිරීමේ අවශ්‍යතාවක්‌ තිබෙන බව මට පෙනෙනවා. බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර යහපාලනය ස්‌ථාවර කිරීමත් එහි එක්‌ අරමුණක්‌.
 
 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටත් මීළඟ ජනාධිපතිවරණයට තරග කළ හැකි බව මහින්ද රාජපක්‌ෂ මහතාත් පසුගියදා ප්‍රකාශ කළා. 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මීළඟ ජනාධිපතිවරණයට කෙසේ බලපානු ඇද්ද?
 
 මගේ විශ්වාසය නම් ජනාධිපති ධුර කාලය අවුරුදු 5 කට නීතියෙන් තීන්දු කළාට පසු යළි දීර්ඝ කළ නොහැකි බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress