මෛත්‍රි හරහා නිමල් සිරිපාල මහින්දට කතා කළ හැටි
Posted on February 17th, 2018

උදේනි සමන් කුමාර උපුටාගැණීම  මව්බිම

පසුගිය සතිය රටේ ජනතාවට මෙන්ම මාධ්‍ය ආයතනවලටද මහත් කන්දොස්කිරියාවක් වූයේ ඔන්න ආණ්ඩුව පෙරළුවා. අලුත් ආණ්ඩුවක් හදනවා යැයි සතිය පුරාම අසන්නට වීම නිසාය. තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන බව එජාපය කියද්දී රනිල් විරෝධී යූඇන්පී මන්ත්‍රිවරුන් සමඟ ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලනිප නායකයෝ් පවසන්නට වූහ. අරලියගහ මන්දිරයේත් මහගම සේකර මාවතේත් විජේරාම මාවතේත්් සතිය පුරාම සාකච්ඡාවල නම් අඩුවක් නොවීය.

ආණ්ඩු පෙරළියක්

ඒකාබද්ධ විපක්ෂය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ජනතාව යහපාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බැවින් වහාම ආණ්ඩුව විසුරුවා ඡන්දය පැවැත්වීමට යෝජනාවක් ගෙන ආයුතු බවය. මේ අතර 10 වැනිදා පැවැති පළාත් මැතිවරණය 12 වැනිදා වන විට සියල්ලන්ට අමතක වූ සංසිද්ධියක් බවට පත්වූයේ කරළියට පැමිණි ආණ්ඩු පෙරළියේ උණුසුම නිසාය.

මැතිවරණය දා රාත්‍රියේ ජනපති මහගමසේකර පාරේ නිල නිවෙසේ සිට ඡන්ද ප්‍රතිඵල ඇසුවේය. අගමැති රනිල් මෛත්‍රි කොළඹ 7 පස්වැනි පටුමගේ නිවෙසේ සිටියේය. මහින්ද පුතුන්ද සමඟ තංගල්ලේ ‘කාල්ටන්’ හි ඡන්ද ප්‍රතිඵල ඇසුවේය. ජවිපෙ අනුර පැලවත්ත කාර්යාලයේ සගයන් සමඟ සිටියේය. රටේ ජනතාවට මෙන්ම ඔවුන්ටද ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදය කේන්තියට තුඩුදුන් කරුණක් වූයේය.

ඡන්ද ප්‍රතිඵල පිළිබඳ වැටහීමක් ඇති කරගත හැකි වූයේ 11 වැනිදා දහවල් වන විටය. ශ්‍රී ලනිප – එජාප බලකොටු බිඳ වැටෙමින් පවතින බවත් පොහොට්ටුව ජය ගන්නා බවත් පැහැදිලි වන විට හැම දෙනාම පාහේ විකල්ප විසඳුම් ගැන කල්පනා කරන්නට වූහ. මෛත්‍රි – එජනිස ඇමැතිවරු කොළඹට කැඳවන ලෙස උපදෙස් දුන්නේය.

රනිල් ඉවත් විය යුතුයි

ජනපති නිල නිවෙසේ ආරම්භ වූ ඇමැති හමුවට සියල්ලන්ම පාහේ පැමිණ සිටියහ. ඔවුන්ගේ පොදු අදහස වූයේ ආණ්ඩුවට ජනතාව රතු එළියක් දක්වා ඇති බවය. එහෙත් ඊට හේතු වශයෙන් දැක්වූ කරුණු අතර පොදු එකඟතාවක් නොවීය. සුසිල්, එස්.බී. මහින්ද සමරසිංහ, ඩිලාන් ආදීන් අදහස් දැක්වූ අතර ‘රනිල් අගමැතිකමෙන් ඉවත් කළ යුතුයි’ යන්න වැඩි දෙනා දැක්වූ අදහස විය.

‘ආණ්ඩුව ඒ ගොල්ලන්ට දීල අපි වෙනම කණ්ඩායමක් හැටියට විපක්ෂයේ ඉමු’ යැයි සුසිල් කීවේය.
මෛත්‍රි සියලු අදහස්වලට ඇහුම්කන් දුන්නත් තම අදහසක් හෝ නිගමනයක් ඉදිරිපත් කළේ නැත.
අගමැතිට ඉස්සර ජනපති ඉවත් විය යුතුයි

මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරු අරලියගහ මැඳුරේදී රැස්වූහ.
‘පළාත් මැතිවරණයේදී 30%ක් ලබාගත් අගමැති ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලනිපය බල කරනවා නම් 15%ක් ගත් ජනපති ඊට පෙර අස්විය යුතු යැයි’ ඔවුහු චෝදනා කළහ. මැතිවරණ වකවානුවේ ජනපතිගේ වාග් ප්‍රහාරද ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් විය.

‘අපි හැම වෙලාවෙම ජාතික ආණ්ඩුවේ සමඟිය වෙනුවෙන් පෙනී සිටියා. චෝදනාවලට පිළිතුරු දෙන්න ගියේ නෑ. නමුත් දැන් අපේ ඉවසීමේ සීමාව පැනලා’ ඔවුන් පවසා ඇත. ජනපතිගේ ඇතැම් ප්‍රකාශ ජාතිවාදයට තුඩුදුන් බවද ඇතැම් ඇමැතිවරුන්ගේ අදහස විය. පලනි දිගම්බරම්, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඇමැතිවරුද විජයකලා ඇමැතිනියද මෙම සංවාදයට එක්ව සිටියහ.

ජාතික ගීය දෙමළෙන් ගැයූ නිසා ඡන්ද අඩු වුණාලු

එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රතිඵල සමාලෝචන සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඇමැති තිලක් මාරපන දැක්වූයේ වෙනත් අදහසකි. පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද වාදනය කිරීම හේතුවෙන් එජාප ඡන්ද විශාල වශයෙන් අහිමි වූ බවය. ජාතික ගීය වරක් දෙමළෙන් ප්‍රචාරය වන විට ඡන්ද 50,000ක් අඩුවන බව ඔහු ගණනය කර දැක්වූයේය. පක්ෂය සිංහල බෞද්ධ ඡන්ද පදනම ගැන නිසි බර නොයෙදූ බව ඔහුගේ චෝදනාව විය.

ඇමැති මාරපනගේ අදහස මුදල් ඇමැති මංගල සමරවීරගේ දැඩි විවේචනයට ලක් විය. ඡන්ද අඩුවීමට ප්‍රධාන හේතුව ලෙස ඇමැති සජිත්ගේ අදහස් ඊට වෙනස් විය.
‘ජනතාව අතරට යන්නට තිබූ හොඳම අමාත්‍යාංශය සමෘද්ධි අමාත්‍යාංශයයි. ඒක වහාම අපේ පක්ෂයට ගන්න ඕනෑ. සමෘද්ධි කපා දැමීම නිසා දිළිඳු ජනයා ඉතා අමාරු අඩියට වැටුණා. ඒ කිසිවක් හරියට සිදු වුණේ නැහැ. අපි සමෘද්ධි පවරගන්න ඕනෑ සජිත් කීවේය.
‘මම නම් දකින්නේ ගම්වල ඡන්ද අඩුවුණේ වෙලාවට පොහොර නොදුන් නිසයි’ ඇමැති පී. හැරිසන්ගේ අදහස දැක්වීය. මහ නගර ඇමැති පාඨලී චම්පික රණවකගේ අදහස ඊට ඉඳුරාම වෙනස් විය.

‘ඔය මොනවත් ඡන්ද අඩු වෙන්න කාරණා නොවෙයි. සිංහල බෞද්ධ ඡන්ද පදනම රැකගන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණෙ නෑ. ඒක නරක විදියට බලපෑවා. චම්පික කීවේය.’

ජනාධිපතිතුමා අගමැතිතුමාට ප්‍රසිද්ධියේ චෝදනා කළා ඒවා මාධ්‍යයේ ප්‍රචාරය වුණා. මේ ලැබුණේ ඒවාට පිළිතුරු යැයි ඇමැතිවරයෙක් කීවේය.
‘කතා කරලා සුදුසු තීරණයක් ගන්න’ අගමැති පැවැසීය.
කෙසේ වුවද සාකච්ඡාව අවසානයේ ඇතිවූ පොදු එකඟතාව වූයේ එජාප මන්ත්‍රිවරු 106 දෙනාගේ බහුතර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. අවසාන තීන්දුව වූයේ මන්ත්‍රිවරු 106 දෙනාම ගොස් ජනාධිපති හමු වී මේ තත්ත්වය දැනුම් දිය යුතු බවය. ඒ අවස්ථාවේම ජනාධිපති හමුවිය යුතු බවට මන්ත්‍රිවරු එක හ¾ඩින් කීහ. මලික් සමරවික්‍රම වහාම ජනාධිපති සිරිසේන අමතා මේ බව ප්‍රකාශ කෙළේය.

‘106 දෙනාම මෙහේ එන්න එපා. මට එතරම් පිරිසකට වාඩි වෙන්න දෙන්න ඉඩ පහසුකම් නැහැ. කැබිනට් ඇමැතිවරු විතරක් එන්න’

ජාතික ආණ්ඩු කෙහෙල්මල

මේ අතර 13 වැනිදා සවස් වන විට එජාපය එකහෙළාම ප්‍රකාශ කෙළේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉදිරි දෙදින තුළ පිහිටුවන බවය. එජාපයට ආසන 105ක් ඇති අතර දෙමළ ජතික සන්ධානයේ ආසන 16 සහාය ලබා ගනිමින් රනිල් නව ආණ්ඩුව පිහිටුවන බව ඔවුහු කීහ.
‘ජාතික ආණ්ඩු කෙහෙල්මල නිසා පසුගිය අවුරුදු දෙකේ රටට වැඩ කරන්නට නොහැකි වූ බවත් පාක්ෂිකයා ශක්තිමත් කිරීමටද කිසිවක් නොකළ නිසා ඔවුන් පක්ෂයෙන් අෑත් වූ බවත්’ ඔවුහු කීහ.

‘පළාත් මැතිවරණයෙන් ජනතාව දුන් පණිවුඩය එජාප තනි ආණ්ඩුවක් පිහිටුවාපල්ලා යන්න බවද ඔවුහු කීහ. කොන්ද කෙළින් තියාගෙන යූඇන්පී කාරයාට පාරේ බැස යන්නට හැකි ආණ්ඩුවක් හදන බවද ඔවුහු පැවැසූහ. එහෙත් 14දා දවසද ගෙවී ගියේ සාකච්ඡා මට්ටමේය.

කාටවත් ආණ්ඩු පිහිටුවන්න අපි උදවු කරන්නේ නැහැ

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වන්නේ පළාත් මැතිවරණ ප්‍රතිඵලය කිසිසේත්ම ජාතික ආණ්ඩුවේ පැවැත්මට බාධාවක් නොවිය යුතුය යන්න යැයි 13 වැනිදා එම්.ඒ. සුමන්තිරන් බීබීසීයට පැවැසීය. හෙතෙම අවධාරණයෙන් ප්‍රකාශ කළේ කාටවත් ආණ්ඩු පිහිටු වීමට තම පක්ෂය උදවු නොකරන බවය. එමෙන්ම තම පක්ෂය කිසිදු පක්ෂයක කොටස්කරුවන් වෙමින් ආණ්ඩුවට එකතු වීමටද තමන් තීරණය නොකරන බවය. රනිල් – මෛත්‍රි දෙදෙනා අතර 12,13 යන දෙදින පැවැති සාකච්ඡා තීන්දුවකින් තොරවම අවසන් වී තිබිණි.

ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි

පළාත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ දේශපාලන සදාචාරයක් තිබේ නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවය. එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවේත් රාජ්‍ය නායකයන් ඡන්දයක් නොව පනතක් පරාජය වූ පමණින් මෙසේ ඉල්ලා අස්වූ පූර්වාදර්ශ සපයා ඇති බවත් බැසිල් කියා තිබිණි.
මෙම පළාත් පාලන ඡන්ද ක්‍රමය තමා යෝජනා කරද්දී සියල්ලන් ඊට එකඟතාව පළ කළ නමුත් පසුව සියල්ලන්ම එය වැරැදි බව ප්‍රකාශ කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ජම්පරය ඇන්දිය යුතු දූෂිතයන් ළං කරගත් ආණ්ඩුව තුළ සිටිමින් රාජිත සේනාරත්නලා රාජපක්ෂවරුන්ට ජම්පරය අන්දවන බවට සිදු කළ ප්‍රකාශ නිසා ජනතාව දැඩිසේ කෝපයට පත්වීමද මේ ජනරැල්ලට හේතු වූ බවද බැසිල් කීවේය. නඩු පැවැරීම් සිදු වන්නේ සොරුන්ට නොව දේශපාලන සතුරන්ට බව ජනතාව වටහාගත් බවත් හෙතෙම කීය. බලය ගත් පළාත් ආයතනවල ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ පොදු සහභාගිත්වය ඇති විනිවිද පෙනෙන පාලනයක් ස්ථාපිත කරන බවද හෙතෙම පැවැසීය.

මම ඇමෙරිකානු පුරවැසියෙක් මට අගමැති වෙන්න බෑ

ඇමෙරිකාවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ සඳුදා නැවත ලංකාවට පැමිණියේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග හමුවීම සඳහා ඩුබායි නගරයට ගිය ගෝඨාභය පසුව එහි සිට ලංකාවට පැමිණියේය. ගෝඨා ලංකාවට ඒමත් දේශපාලන අංශවල උණුසුම් ආරංචියක් වූයේය. ඊට හේතුවක් වූයේ මෙරටදී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට ප්‍රචාරය වීමත් සමඟ ජනපතිගේ උපදෙස් පිට ගෝඨා රටින් පිටවූ බවට ඉසුර මහ ඇමැති කර තිබූ ප්‍රකාශයයි. ගෝඨාභය යළි පැමිණීම පළාත් මැතිවරණ ජයග්‍රහණය සමඟ සිදුවූවක් ලෙස සැලකීමෙන් කතාව වර්ණවත් විය.

හිටපු ආරක්ෂක ලේකම් ගුවන්තොටුපොළේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ අපූරු ප්‍රකාශ කීපයක් කළේය.
‘ඡන්ද ප්‍රතිඵල ගැන ඔබතුමා මොකද හිතන්නේ.’

‘හිටපු ජනාධිපතිතුමාගේ වැදගත්කම හැමෝටම පෙනිල තියෙනවා. එතුමා මේ රටට කරපු සේවය අමතක කරලා සමහරු වැරැදි ප්‍රචාර ගෙන ගියා.
ඒ තමන් ඒවට රැවටුණු බව දැන් ජනතාවට තේරිලා අවුරුදු තුනකට පස්සේ ජනතාව තමන් කළ වරද නිවැරැදි කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ පාලනයක් නැවත රටට අවශ්‍ය බවයි ජනතාව කියල තියෙන්නෙ.’
‘ආණ්ඩුව අගමැතිකම භාර ගන්න කියල ආරාධනයක් කළොත් ඔබ ඒක භාර ගන්නවාද?.’
බැහැනේ. මම ඇමෙරිකානු පුරවැසියෙක්. මට අගමැතිකම භාරගන්න බැහැ. අනෙක මේ වගේ ආණ්ඩුවකද අගමැතිකම භාරගන්න කියන්නෙ.’
‘එහෙනම් ඔබතුමාගෙ භූමිකාව කුමක්ද?’

‘කිසිම භූමිකාවක් නැහැ මම හිටපු ආරක්ෂක ලේකම් විතරයි.’
‘ඔබතුමාට ‘ඇවන්ගාඩ්’ සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.’
‘ඒක කට කැඩිච්ච කොමිසමක් කොමිසමවත් දන්නෙ නැහැ. ඇවන්ගාඩ් කියන්නෙ මොකක්ද කියල.’
‘අර ලන්ඩන්වල ඇති වූ සිදුවීම ගැන ඔබතුමා මොකද කියන්නෙ.’

‘එහෙම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නැතිවහම ලන්ඩනයෙත් පිස්සු කෙළිනවා’ ඕවා මොනවද අපි ප්‍රභාකරන්ටත් කෙළියනෙ.’

‘ඔබතුමා දේශපාලනයට එනවද’
‘නැහැ’
මම ගහ කැපුවා, මොවුන්ට අතු අයින්කරන්න බැරිවුණා
හිටපු ජනපතිනි චන්ද්‍රිකා අත්තනගල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයේ ශ්‍රී ලනිපය මෙහෙයවීම සියතට ගෙන තිබිණි. ඇය පරණ පුරුදු සංවිධාන හැකියාවන් යළිත් එළියට ගනිමින් ප්‍රදේශයේ බිම් මට්ටම දක්වාම පහළට යමින් පැරැණි පාක්ෂිකයන් පවා හමුවීමට ගෙයින් ගෙට ගියාය. එහෙත් අත්තනගල්ලේ ඡන්ද ප්‍රතිඵලය චන්ද්‍රිකා උඩු යටිකුරු කරවන්නක් විය. ඇය ඉදිරිපත් කළ සියලුම අපේක්ෂකයන් පරාජය වී තිබිණි. පොහොට්ටුව අත්තනගල්ලේත් පිපී තිබිණි.

‘මම ගහ කපල බිම දැම්මා මුන්ට අතු ටික කපල ඉවරයක් කරන්න බැරි වුණා. ඒකයි මේ හැම දේකටම මුල’ චන්ද්‍රිකා ලන්ඩන් බලා පිටත් වෙන්නට පෙර පැවැසීය.
චන්ද්‍රිකා රටින් පිටව යෑම උපහාසයට ලක් කළ ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් 14 වැනිදා පැවැති මාධ්‍ය හමුවක ප්‍රකාශ කළේ,
‘හෙන්නානිගල කැකුළිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට මංගච්චන කොට අත්තනගල්ලේ චන්ද්‍රිකා කැකුළිය ඒරොප්පෙට මංගැච්චුවා’ කියාය.

රනිල් – මෛත්‍රි දෙවැනි ඉනිම

පළාත් මැතිවරණය විසින් මතු කළ රටේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය තව තවත් තීව්‍ර වෙමින් පැවැතියේය. රනිල් – මෛත්‍රි සාකච්ඡාවල දෙවැනි ඉනිමේදී තීරණය කර තිබුණේ යහපාලනය තවදුරටත් ඉදිරියට යායුතුද යන්න තීරණය කරන්නට කමිටුවකට භාර දිය යුතු බවය. එහෙත් එවැනි කමිටුවකට දිනකට වඩා කල් දිය නොහැකි යැයි මෛත්‍රි අවධාරණය කර තිබිණි.
‘දැඩි වෙනසක් ඇති කරන තීන්දුවක් මම ගන්නවා’ යැයි ජනපති අවධාරණය කර තිබිණි.

අනුරට විපක්ෂ නායකකම

මෙවැනිම සංවාදයක් එම රාත්‍රියේම ඩිලාන් පෙරේරාගේ නිවෙසේද සිදු විය. එහිදී පොදු එකඟතාව වූයේ ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් එළියට ආයුතු අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත යුතු බවය.
‘අපි එළියට යනවා. හැබැයි ඒකාබද්ධය එක්ක හවුලක් නෑ. අපි ජේවීපී එකත් එක්ක විපක්ෂයේ ඉන්නවා. ඩිලාන් කීවේය.’

‘ඔව්. දෙමළ සන්ධානෙ යූඇන්පී ආණ්ඩුවට සහයෝගය දෙනවලු නෙ’
‘එතකොට මහින්ද විපක්ෂ නායකකම ඉල්ලනවා. එකට මොකද කරන්නේ’ අයෙක්
‘මහින්ද විපක්ෂ නායකකම ඉල්ලන්නෙ අපි ඔක්කොටම ගේම දීලා පොහොට්ටුව උඩට ගන්න. ඒව හරියන්නෙ සම්පන්දන් ආණ්ඩුවට ප්ලග් වෙනවා නම් අනුර දිසානායකට විපක්ෂ නායකකම දෙන එක හරි. විපක්ෂ නායකකමට පොරකන අපේ අයගෙ ප්‍රශ්නෙත් විසඳෙයි’ ඩිලාන් කීය.

ආණ්ඩුව හෙල්ලිලා

ඉරිදා සවස් වන විට සමස්ත ප්‍රතිඵලය නිකුත් නොකෙරුණත් පොහොට්ටුවේ ජයග්‍රහණය ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් තිබුණේ නැත.
මහින්ද සිටියේ හිතවතුන් පිරිසක්ද සමඟ කේක් ගෙඩියක් කපන්නට සූදානමිනි. කේක් ගෙඩිය කපන්න පිහිය අතට ගත් මහින්ද “කෝ කෝ මේ ප්‍රසන්න? මේ ජයග්‍රහණයේ ලොකුම කොටස්කාරයා එයා තමයි” කියමින් ප්‍රසන්නවද එතැනට කැඳවා ගත්තේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම සඳුදා පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. එහිදී විශේෂයෙන්ම සාකච්ඡා කෙරුණේ පොහොට්ටුවට ලැබුණු අතිවිශිෂ්ට ජයග්‍රහණය ගැනය.
“අපිට ලැබුණු ජයග්‍රහණයෙන් ආණ්ඩුව හෙල්ලිලා ගිහින් තියෙන්නේ” ප්‍රසන්න කතාබහට මුලපුරමින් කීවේය.
“ඔව් මේක බලාපොරොත්තු නොවුණු ජයග්‍රහණයක්. ආණ්ඩුව කිව්වේ මේ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කියලයි. හැබැයි ඒ කතා සේරුම බොරු වුණා” මහින්දානන්ද පැවැසීය.
“ඒක නිසයි මම කියන්නේ කොයි බලයත් ජනතා බලයට යටයි කියලා” මහින්ද කීවේය.
“මේක මහින්ද මහත්තයාට ලැබුණු ජයග්‍රහණයක්. ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් යන්නත් ඉස්සර දැන් මිනිස්සු ආයෙමත් මහින්ද යුගයක් ආරම්භ කරන තුරු බලන් ඉන්නවා කියලා මේ ඡන්දෙන් පැහැදිලි වුණා” ප්‍රසන්න පෙන්වා දුන්නේය. “මේ ජයග්‍රහණයෙන් පස්සේ අපිට දැන් විවිධ පණිවුඩ එනවා. අපි මේ ආණ්ඩුව වහාම ගෙදර යවන්න ඕනේ. රනිල් වික්‍රමසිංහට තවදුරටත් බලයේ ඉන්න ඉඩ දුන්නොත් රටක් ඉතුරු වෙන එකක් නැහැ” මහින්ද පැවැසීය.
“මට ආරංචි වුණා රනිල් කියලා තියෙනවාලු මේ පාර පත්වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට පඩි ගෙවන්නේ නොරොච්චෝලේ විකුණලා කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු එක්ක කියලා තියෙනවා කියලා” සනත් හෙළි කළේය. “ඒක නම් ඇත්ත. රනිල් කොහොමත් උදේට නැඟිටින්නේ අද මොනවද විකුණන්නේ කියලා කල්පනා කරගෙනනේ” ඩලස් පැවැසීය.

මහ මැතිවරණයක් සඳහා සටන

“අපි දැන් රනිල් එළවීමේ වැඩපිළිවෙළ වේගවත් කරන්න ඕනේ. අපිට දැන් ඕනේ මහ මැතිවරණයක්” ප්‍රසන්න පෙන්වා දුන්නේය.
“ඒක ඇත්ත. අපි ඒ වෙනුවෙන් එකතු වෙලා වැඩ කරන්න ඕනේ.” මහින්ද ප්‍රසන්නගේ කතාව අනුමත කළේය.
“මට දැනගන්න ලැබුණා අගමැතිවරයා තනි ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ගන්න යන්නේ කෝටි ගණන් සල්ලි දීලා කියලයි” ප්‍රසන්න තව කරුණක් හෙළි කළේය.

“සල්ලි අරගෙනවත් දැන් රනිල් ගාවට යන්න තරම් මෝඩ වෙන්නේ කවුද? සනත් නිශාන්ත ඇසුවේ සිනාසෙමිනි. මේ අතර ඉදිරි දේශපාලන වාතාවරණය දෙස බලා තීන්දු ගැනීමේ බලය මහින්ද වෙත පැවැරීමටත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය වුවහොත් ඊට සහාය දීමටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙහිදී තීරණය කළහ. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමද පැවැත්වුණේ මහින්දගේ ප්‍රධාන්වයෙනි. එහිදී රෝහිත කීවේ “මේ මැතිවරණ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට ලැබුණු ජයග්‍රහණයක්. ඒක ඔබතුමා අගමැති කරන්න කියලා දුන්න ජයග්‍රහණයක්” කියාය.

නිමල් සිරිපාලට අගමැතිකම

මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසිල්, එස්.බී., ජෝන් සෙනවිරත්න සහ ඒකාබද්ධයේ බැසිල්, බන්දුල හමුවී සාකච්ඡා කළහ. එහිදී ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට දැනුම් දුන්නේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්නට සූදානම් බවය. මේ ගැන කතා කරන්නට මහින්දගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම යළි රැස්වූහ. “අපිට යෝජනාවක් ඇවිත් තියෙනවා රනිල් ඉවත් කරලා නිදහස් පක්ෂයෙන් කෙනෙක් අගමැති ධුරයට පත් කරලා ආණ්ඩුවක් හදන්න සහාය දෙන්න කියලා. අපි මොකද ඒ ගැන කියන්නේ? මහින්ද ඇසුවේය.

“අපි ආයෙමත් නිදහස් පක්ෂය සමඟ එකතු වුණොත් අපිටත් එන ඡන්දෙදි ඇපත් නැති වෙයිද දන්නේ නැහැ” සනත් පැවැසීය.
“ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලා ඒ අයට කොන්දේසි දැම්මේ අපිම තමයි. දැන් එයාලා අයින් වෙන්න හදන නිසා අපි මොනවා හරි කරන්න ඕනේ. ඒ අය කියන්නේ නිමල් සිරිපාල අගමැති කරමු කියලයි” සාකච්ඡාවලට සහභාගි වූ බන්දුල පිරිසට පැහැදිලි කළේය.
“ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. රනිල් අයින් කරගන්න තමයි අපට අවශ්‍ය වුණේ. අපි රනිල් අයින් කරන්න උදවු කරමු. හැබැයි ඒකාබද්ධ විපක්ෂය විදියට අපි කිසිම තනතුරක් භාර නොගෙන ආණ්ඩුවේ හොඳ වැඩවලට විතරක් සහයෝගය දෙමු” මහින්ද කීවේය.

පිරිස ඊට එකඟතාව පළ කළ අතර “හැබැයි නිමල් එනවා නම් ඒක කොන්දේසියක් තියෙනවා. පහුගිය අවුරුදු තුනේම එයා මගේ ෆෝන් එකටවත් ආවේ නැහැ. දැන්වත් එයාට කියන්න අපි කතා කරනකොට උත්තර දෙන්න කියලා” මහින්ද පැවැසීය. මේ අතර සනත් නිශාන්ත කීවේ තමාටත් කොන්දේසියක් ඇති බවය.
“එතුමා යන යන තැන නිදාගන්නවා. දැන්වත් එතුමාට නිදාගන්න එක නතර කරන්න කියලා කියන්න සර්. අඩුගාණේ පාර්ලිමේන්තුවේදිවත් නැඟිටලා ඉන්න කියන්න” සනත් ඉල්ලා සිටියේය.

ඒ අනුව නිදහස් පක්ෂයේ අගමැතිවරයකු සහ ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබාදීමට තීන්දු කෙරිණි.

ප්‍රාදේශීය ආණ්ඩු පැරදුණාට මධ්‍යම ආණ්ඩුව ඉවත්විය යුතු නෑ

2018 පෙබරවාරි 10දා මේ ජනපති, අගමැති ආණ්ඩුව සිය පළමු මැතිවරණ උරගාබැලීම සිදුකළ අතර එහිදී එජාපය, ශ්‍රී ලනිප පරදවා වසරක් වයසැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාර්තා ගත ජයක් ලැබීය. එහෙත් එම පක්ෂයට 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙද්දී ඔවුන්ට විරුද්ධ සියලු පක්ෂවලට 56%ක ප්‍රතිශතයක් ලැබී තිබේ. එම ප්‍රතිඵලයෙන් අනතුරුව රට යම් දේශපාලන අස්ථාවර බවක් ලැබුවේ අගමැති මෙන්ම ආණ්ඩුවද ගෙදර යා යුතු බවට මතවාද එළිදුටු හෙයිනි. එහෙත් ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණ පසුබැසීමකින් පසුව ජනපති හෝ මධ්‍යම ආණ්ඩුව ඉවත් විය යුතුය යනුවෙන් කිසිදු ප්‍රතිපාදනයක් නොවීය.
එහෙත් අගමැති හා ආණ්ඩු මාරුව සඳහා ගෙවුණු සතිය පුරා විවිධ මෙහෙයුම් දියත්ව තිබේ. ඉන් සමහර වෑයම් සාධාරණ මතයක පිහිටා ක්‍රියාත්මක වන බව පෙනෙන අතර සමහර මෙහෙයුම් ඉතා අවස්ථාවාදී බව පෙනේ. ඡන්ද ලක්ෂ 36ක් ලැබූ අගමැති රනිල් ඉවත් කර ඡන්ද ලක්ෂ 13ක් ලැබූ ශ්‍රී ලනිප අයකු අගමැති කළ යුතුය යන එජනිස එවැනි අවස්ථාවදී ඉල්ලීමක් යැයි එජාපය කියයි.

අගමැති රනිල් 113 පෙන්වා 2015දී අගමැති වූ අතර ඔහුට යළිත් වරක් 113 පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඔවුන්ගේ නීති අංශවල අර්ථ දැක්වීම වේ. ඒ අතර ශ්‍රී ලනිපයේ අයකු අගමැති කළ යුතු බවට සන්ධාන මහ ලේකම් හා සුසිල් ප්‍රේමජයන්ත ජනපතිට ලබාදුන් ලිපියට අනුව සිකුරාදා සවස වන විට දිවුරුම් ප්‍රකාශ මඟින් මන්ත්‍රිවරු 113 දෙනකු තමන්ට සිටින බවට ශ්‍රී ලනිපය ඔප්පු කළ යුතු බවට ජනාධිපතිවරයා කල්දී තිබිණි.
කෙසේ වෙතත් අගමැති රනිල් අගමැති ධුරයෙන් ඉවත්වී කරු ජයසූරිය හෝ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජේ‍යෂ්ඨයකුට අගමැතිකම භාරදී ඉදිරි වසර 2ක් තුළ එජාප ආණ්ඩුව රැක ගත යුතු බවටද විවිධ මත එජාප අභ්‍යන්තරය තුළ එළි දකිමින් තිබිණි.

ඒ අතරේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා හා ජනපති අතර තවත් තීරණාත්මක හමුවක් පැවැත්විණි. අනතුරුව අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ විශේෂ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකටය.

එහි යෑමට පෙර පැමිණ සිටි මාධ්‍යකරුවන් දෙදෙනකු හා මැති ඇමැතිවරු කීප දෙනකු සමඟද අගමැතිවරයා පවතින තත්ත්වය ගැන කතාබහ කළේ ඉතා සැහැල්ලුවෙනි.

මැරුණොත් වෙනත් කෙනක් පත් කරගන්න. ඉල්ලා අස්වන්නේ නෑ

“19 වැනි සංශෝධනය අනුව අගමැති ඉවත් කරන්න බැහැ. තව දින කීපයකින් මම මියයාවිද දන්නේ නෑ. එහෙම වුණොත් අගමැති ධුරයට වෙන කෙනෙක් පත් කළ හැකියි. මට ඉල්ලා අස්වීමට හේතුවක් නෑ. ඉල්ලා අස්වෙන්නෙත් නෑ. ඒ තුළ අගමැති ධුරයත් එජාප ආණ්ඩුවත් මම රැකගන්නවා. සිදුවූ වැරැදි නිවැරැදි කරලා ජනතාවට සහන හා තරුණ පරපුරට රැකියා දීලා ගිය වසර 3 තුළ ඇතිවූ අඩුපාඩු හදාගන්නවා” අගමැතිවරයා කීය.

එහිදී එජාප නීති අංශ ප්‍රධානියෙක්ද 19 වැනි සංශෝධනය ගැන වැදගත් අර්ථ දැක්වීමක් කළේය. “ජනාධිපතිට දෝෂාභියෝගයක් ගෙනත් ඉවත් කළ හැකි වුවත් අගමැති ඉවත් කරන ක්‍රමයක් 19 තුළ නැහැ. විශ්වාසභංගයකින් අගමැති පරාද කළත් ඊට බලපෑ හේතුව නිවැරැදි කිරීම විනා අගමැති ඉවත් විය යුතු නැහැ” ඔහු කීය.
“19 වෙනස් කරලා අගමැති ඉවත් කරන ක්‍රමයක් ඊට දැන් ඇතුළු කළ හැක්කේත් එජාපයට විතරයි. එජාපයට ඊට අඩු ඡන්ද සුළු සංඛ්‍යාවක් විතරයි. 19 එන්නට පෙර ජනාධිපති විසින් පත් කරන අගමැති ජනාධිපතිටම ඉවත් කළ හැකියි. දැන් එහෙම බෑ. ඇමැතිවරු පත් කිරීම හෝ ඉවත් කිරීමත් ජනපති කළත් ඒ සියල්ලට අගමැතිගේ එකඟත්වය නැතිව කරන්නත් බැහැ.” නීති අංශ ප්‍රධානියා තවදුරටත් කීය.

“2015 ජනාධිපතිවරණය හා මහ මැතිවරණය දිනූ පක්ෂ දෙක පළාත් පාලන මැතිවරණයකදී පරාද වුණාම අගමැති හා ආණ්ඩුව විතරක් නෙවෙයි එහෙනම් ජනාධිපතිත් ගෙදර යා යුතුයි කියලා දඹර අමිල හිමි රට හමුවේ මාර තර්කයක් මතු කරලා” ලක්ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කීවේද එකම කතාවකි.

සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න අපි දෙන්නා තීරණය කළා
අනතුරුව ආණ්ඩු පක්ෂ රැස්වීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
“මම උදේ ජනාධිපතිතුමා හමු වුණා. සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අපි දෙදෙනා තීන්දු කළා. ශ්‍රී ලනිපයේ යන අයට මහින්ද ළඟට යන්න කියලා කියනවා කියලත් ජනාධිපතිතුමා කිව්වා. අනිත් අය දිගටම ආණ්ඩුවේ ඉන්නවා. ඒ අනුව ඉතා මහන්සිවෙලා ඉදිරි අනාගතයේ රටට වැඩ කරන්න සූදානම් වෙන්න” අගමැතිවරයා කීය.
“ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර මුල් කාලේ තිබුණ බැඳීම ඒ විදියටම රැක ගන්න. සුළු දුරස්වීම් ලොකු ප්‍රශ්නවලට මඟ පාදන බව මෑතක සිද්ධිවලින් පේන නිසා පාර්ශ්ව දෙකම විශ්වාසය හා සුහද බව තහවුරු වෙන ලෙස එකිනෙකා දැනුවත්ව වැඩ කරන්න” ඇමැති රාජිත මෙන්ම ඇමැති සජිත්ද කීවේ එකම කතාවකි.
“පක්ෂයේ වගකීම තරුණ අයටත් පවරන්න අගමැතිතුමාගේ වටේ ඉන්න සුළු පිරිස අතරට දක්ෂයනුත් ළංකරගන්න” අජිත් පෙරේරා කීය.
“මේ ආණ්ඩුව වැටෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දූෂිත හා දුෂ්ට දේශපාලන බලවේගවලට ඔළුව උස්සන්න නොදී එජාප ආණ්ඩුව රැක ගනිමු. ජනතාවට මීට වඩා සහන දෙමු. ජනතාව හා තරුණ පරපුර බලා ගනිමු. සංවර්ධනය වේගවත් කරමු” සුළු ජාතික පක්ෂවල නායකයන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, දිගම්බරම්, මනෝ ගනේෂන් මෙන්ම හෙළ උරුමයේ නායක ඇමැති චම්පික රණවකද කීවේ එකම කතාවකි. අදාළ රැස්වීම් අවසානයේ සියලු දෙනා සිටියේ එතෙක් පැවැති අවිනිශ්චිත බව තුරන් වූ සතුටු සිත් ඇතිව බව පෙනිණි.

අර්බුද මැද කැබිනට් රැස්වීම

අර්බුද රැසක් මැද නමුත් කැබිනට් මණ්ඩලය බදාදා රැස්විය. ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු සියල්ලෝම ඊට සහභාගි වූහ. කැබිනට් පත්‍රිකා රැසක්ම ඉදිරිපත්ව තිබිණි.
ජාතික ආරක්ෂක අරමුදල් පනත සංශෝධනය, අපරාධයක වගකීම දැරීමේ වයස් සීමාව වැඩි කිරීම, දුම්රිය එන්ජින් 12ක් මිලදී ගැනීම, ශ්‍රී ලංකා යුද හමුදාව සඳහා සපත්තු 75,000ක් මිලට ගැනීම ආදියද ඊට ඇතුළත් විය. නඩු විමසීම් කඩිනම් කිරීම සඳහා ඇමැතිනි තලතා ඉදිරිපත් කළ පනතට ඇමැති සුසිල් අදහස් දැක්වීය.
“මේක මෙහෙම දාල හරියන්නෙ නැහැ. නඩු වර්ග මොනවද කියල සඳහන් වෙන්න ඕනෑ. ඒවට නියම කරන දඬුවම් ඇතුළත් වෙන්න ඕනෑ. නිකම් නඩු අහන්න අධිකරණ තුනක් පටන් ගන්නවා කියා සඳහන් වුණාට මදි”
තලතාගේ පනත පසෙකින් තැබිණි.
අධ්‍යාපන ඇමැති අකිල උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ගෙන්වීමට රුපියල් මිලියන 500ක් සඳහා ගෙනෙන ලද යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය අනුමත කෙරිණි.

“මේවා එකවර කරන එක වැරැදියි. නියමු ව්‍යාපෘතියක් කරලා ප්‍රතිඵලය බලන්න ඕනෑ. පියවරෙන් පියවර යායුතුයි ජනපති කීවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවසන් කිරීමේ යෝජනාව විදේශ ඇමැති මාරපන ඉදිරිපත් කළේය. ඔහු ඒ වෙනුවට ‘කවුන්ටින් ටෙරරිසම් ඇක්ට්’ නමින් නව පනතක් යෝජනා කළේය. යුරෝපා සංගමය එවැනි පනතක් ගෙනෙන ලෙස යෝජනා කර ඇති බවද මාරපන මහතා පැහැදිලි කළේය.
සජිත් ඊට එරෙහිව කරුණු දැක්වූයේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර වෙන පනතක් ගේනවා නම් අපේ ආරක්‍ෂක අංශ සමඟ මුලින් කතා කරන්න. ජාත්‍යන්තර උපදෙස්වලින් අපට වැඩක් නෑ” සජිත් කීවේය. පනත අනුමත වූයේ නැත. පොහොර සහනාධාරය වෙනදා පරිදි ලබාදීම ගැනද සජිත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේය.
පෙට්රල් සහ ඩීසල්වලට භූමිතෙල් කලවම් කරන පිරවුම්හල් පවරා ගැනීමේ යෝජනාවක් අර්ජුන රණතුංග ඇමැති ගෙනා අතර එය අනුමත විය.
කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව බ්‍රහස්පතින්දා පැවැති අතර එහිදී රාජිත ප්‍රකාශ කර තිබුණේ කැබිනට් මණ්ඩලයේදී සමහරු ප්‍රහාරාත්මකව කරුණු ඉදිරිපත් කළා. ඒවා එළියේ කියලා ලකුණු දා ගන්න මගේ අදහසක් නෑ කියාය. මේ ආණ්ඩුව දිගටම ඉදිරියට යනවා. ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කරනවා යැයිද රාජිත පැවැසීය.

ඉන්දියා – ඇමෙරිකන් තානාපතිවරු ජනපති හමුවෙති

ආණ්ඩුව දේශපාලන අර්බුදයේ කරවටක් ගිලී සිටියදී අමුත්තන් දෙදෙනකු පැමිණ ළිං ගැට්ටෙන් එබී බැලුවේය. ප්‍රථමයෙන් ජනපති හමුවූයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂප්ය. එදිනිම සවස්වරුවේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්දු ජනපති හමුවිය. රට අස්ථාවර තත්ත්වයට පත්වීමට ඉඩ නොතබන ලෙස ඔවුහු ජනපතිට උපදෙස් දුන් බව හෙළි විය.

නව ආණ්ඩුව පිහිටුවීමේ සාකච්ඡාව

දිනය : පෙරවාරි 16/ වේලාව : පෙ.ව. 10.00
සහභාගි වූවෝ :
ඒකාබද්ධ විපක්ෂයෙන්: දිනේෂ්, විමල්, වාසු, උදය, එස්.එම්., සී.බී. සහ පවිත්‍රා
ශ්‍රී ලනිපයෙන්: ජනපති, නිමල් සහ තිලංග
නිල නිවෙසට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන පෙරමඟට පැමිණ කැටුව යයි. ඔවුන් සාකච්ඡා මේසයේ අසුන් ගැනීමෙන් පසු ජනපති මෛත්‍රි සුහද සිනාවකින් මුව සරසා ගෙන පැමිණ මුලසුන අසුන් ගනී.
“මා ඔබෙන් කරන ප්‍රථම ඉල්ලීම වන්නේ අප අතර විශ්වාසය තහවුරු වීම සඳහා ඔබ අලුත් ආණ්ඩුවේ ඇමැති තනතුරු කිහිපයක් ගත යුතුයි.”
“අප පළාත් මැතිවරණයේදී ජනතාවගෙන් ලබාගත් ජනවරමට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති නොවන ආණ්ඩුවක ඇමැති ධුර දරන්නට අපිට ජනතා වරමක් ලැබී නැහැ.”

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් පළවිය.
“අවම වශයෙන් ඔබ කතානායක ධුරය හෝ ගැනීම අවශ්‍ය වෙනවා. අප අතර සහ සම්බන්ධතාව තහවුරු වන්නේ එවිටයි.”
ජනපති ප්‍රකාශ කළේය.
“ඒ පිළිබඳ අප වෙනම රැස්වී තීරණයක් ගත යුතු වෙනවා.”
ඒකාබද්ධ විපක්ෂයෙන් කියැවිණි. අගමැතිවරයා නම් කිරීම සම්බන්ධව සහ නව ආණ්ඩුව ස්ථාපිත කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමේ වගකීම දෙපාර්ශ්වය නියෝජනය වන අයුරු සුසිල් ප්‍රේම්ජයන්ත් සහ දිනේෂ් ගුණවර්ධන දෙදෙනාට පවරන ලදී.

ජනපතිගේ ප්‍රකාශය

ජනාධිපති මෛත්‍රි සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති කාර්යාලය කල් ඇතිව නිවේදනයක් කර තිබිණි. ඇමැතිවරුද මාධ්‍ය ඉදිරියේ ඊට ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි. එහෙත් එය අවලංගු කළ බව සිකුරාදා උදෑසනම දැනුම් දුන්නේය. මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහ කතුවරුන්ගේ ජනපති හමුවද සිකුරාදා යොදා තිබූ අතර එයද අවලංගු කළේය. 16දා බොහෝ අංශ අතර කතාබහට ලක්වූයේ ආණ්ඩුව මුහුණ දී ඇති දේශපාලන අර්බුදය තවමත් ලෙහා ගැනීමට බැරිව පඹ ගාලක පැටලී සිටින බවය.
ප්‍රශ්නයක් නැහැ අපි ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 15 වැනිදා නාරාහේන්පිට අභයරාමයේදී පින්කමකට සහභාගි විය. එහිදී මාධ්‍යවේදීන් රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය ගැන ප්‍රශ්න කළේය.

“අගමැති රනිල්ට තනතුරින් ඉවත් නොවන ලෙස කීවේ ඔබ බව රාජිත කීවා. ඒ කතාව ඇත්තද?”
“ඒක රාජිතගේ අතේ රෝල් පචයක්. එයා මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනෑ”
“කැබිනට් මණ්ඩලය වෙනස්වන කතාව ඇත්තද?”
“ඔව් වෙනස් වේවි”

“ඇමැති මණ්ඩලයත් 30කට සීමා වෙන බව කියනවා”
“එ.ජ.නි.ස. ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් කැබිනට් එක 30 දක්වා අඩු කරන්න වෙනවා”
“සාගල ඇමැතිකම අත්හැරියා ඒ ගැන ඔබ මොකද කියන්නේ?”
“ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඕන කෙනෙකුට ජනාධිපතිගේ කැමැත්ත ඇතිව තනතුරුවලට එන්න යන්න පුළුවන්”
“වාසියට පිල් මාරු කරන බව ජනතාව කියනවා”

“ඒ ගැන ජනතාව තීන්දුවක් දෙයි. අපි කිව්වා යූ.ඇන්.පි.යෙන් ඉවත් වුණොත් අපි සහයෝගය දෙනවා කියලා”
“ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. පිරිස නැවත ඔබලාට එකතු වෙනවාද?”
“ප්‍රශ්නයක් නැහැනේ අපි ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ”

“අගමැතිකමට සුදුසු අය ඒ අතර ඉන්නවාද?”
“අපෝ ඕන තරම් ඉන්නවා”
“ඒකට වඩා සුදුසු කවුද?”
“ඒක ජනාධිපතිගෙන් අහගන්න”
“රට භාර ගන්න තව කොච්චර කල් ඉවසන්න වෙයිද?”
“ඉවසීම මට හොඳට පුරුදුයි”
“ඔබතුමාගේ රජයක ජනාධිපති වෙන්නේ කවුද?”
“ජනාධිපති වෙනස් කරන්න බැහැනේ”
“එ.ජා.ප.ය කියන්නේ 2030 වෙනකම් බලයේ ඉන්නවා කියලා”
“එහෙම ඉන්න ගිය නිසානේ මෙහෙම වුණේ”
“ජනතා තීන්දුවට හිස නමා වැරැදි හදාගෙන ඉදිරියට යන බව එ.ජා.ප.ය කියනවා”
“ඔව්, මේක ඔළුව අත ගෑමක් නොවේ පැහැදිලි තීන්දුවක්”
අගමැති අඩි 2ක් පස්සට ගන්න පෙබරවාරි 15

අරලියගහ මන්දිරයේ පැවැති එ.ජා.ප. නායක හමුව උණුසුම් වූයේ ඒ වන විටත් දේශපාලන අර්බුදය ගිනි ඇවිළෙමින් තිබූ නිසාය.
“අපි වෙනස්කම් රැසක් කරන්න ඕන. පක්ෂය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. අගමැතිතුමා අඩි දෙකක් පස්සට ගන්න. නැතිව අපට ඉදිරියට යන්න බැහැ” දයා ගමගේ කීවේය.
“ඒක කරන්න බැහැ. ඔය අගමැති ඉල්ලා අස්වෙන්න ඕනෑ කියන කතාව මහින්දගෙ බොරුවක්. අවශ්‍ය නම් කැබිනට් සංශෝධනයක් කරමු” රාජිත කීවේය.
“මේ පරාජයට හේතුව පක්ෂයේ සිංහල බෞද්ධ පදනම නැතිවීම. සිංහල, බෞද්ධකම ගැන කතා කළ විජයදාසටත් අපි කැපුවා. එයාටත් වගකීම් පවරන්න” තිලක් මාරපන විදේශ ඇමැති කීවේය.

මංගල සමරවීර කතා කළේ කේන්තියෙනි.
“අයියෝ ඔය ජාතිවාදියො දාගත්තොත් ලොකු අවුලක්. ප්‍රශ්නය එය නොවේ.”
“අපි බබ්බු නොවේ. ඔයා ඩයස්පෝරා අල්ලගෙන එන්.ජී.ඕ. අල්ලගෙන පක්ෂය නැති කළා” මාරපන කීවේය.

මෛත්‍රිගෙන් මහින්දට දුරකතන ඇමතුමක්

දිනය: පෙබරවාරි 15, පෙ.ව. 9.00ට හිටපු ජනාධිපති මහින්දගේ දුරකතනය නාද විය. අනෙක් කෙළවරේ සිටියේ ජනාධිපති මෛත්‍රිය.
ජනාධිපතිවරයා වර්තමාන දේශපාලන අර්බුදය හා ගැටලු පිළිබඳ කෙටි විස්තරයක් කළේ ඒ වන විටත් පාර්ශ්ව දෙක අතර බිම් මට්ටමේ කාරණා සම්බන්ධව සෑහෙන දුරට අදහස් හුවමාරු වී තිබූ හෙයිනි. කතාව අවසන් වූයේ මෛත්‍රි විසින් රිසිවරය අසල සිටි නිමල් සිරිපාල ඇමැති හට දීමෙනි. ඉනික්බිතිව මහින්ද හා නිමල් කතාබහ ඉදිරියට ගෙන ගියේය. එම සංවාදය නිමා වූයේ දෙපාර්ශ්වයේ නියෝජිතයන්ගේ පසු දින උදේ කාලයේ හමුවිය යුතු බවට තීරණය කිරීමෙනි.
සුසිල් සන්දේශයක් රැගෙන මහින්දගේ නිවෙසට

නව ආණ්ඩුවක් ශ්‍රීල.නි.ප. නායකත්වයෙන් පිහිටුවන පදනමින් සිදු කෙරෙන සංවාදවල ප්‍රගතිය පැහැදිලි කරනු පිණිස ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සිකුරාදා උදෑසන 7.00ට හිටපු ජනපතිට ඇමතුමක් ගත්තේය. කෙටි සංවාදය අවසානයේ මහින්ද කීවේ “සුසිල් ඔයා එන්න මෙහෙ. ඇවිත් ඔය ටික අපේ අයට කියන්න.” විජේරාම පෙදෙස් හිටපු ජනපති නිල නිවෙසට ගොස් ශ්‍රීල.නි.ප. ස්ථාවරය ඒකාබද්ධ නියෝජිතයන් හමුවේ පැවැසීමට සුසිල් ජනපති අනුමැතිය ගත්තේය. සුසිල් මහින්දගේ නිල නිවෙසට යන විට ඒකාබද්ධ විපක්ෂ නායකයෝ එහි රැස්ව සිටියේය. ශ්‍රී.ල.නි.ප.-ඒකාබද්ධ විපක්ෂ සන්ධාන ආණ්ඩුවක් ගොඩනැඟෙනවා නම් ඊට අඩංගු විය යුතු අනිවාර්ය කොන්දේසි ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂය සකස් කර හමාර වී තිබිණි. ඊට පාදක වූ කරුණු මෙසේය.

ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා නොගනී. ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටී. ආණ්ඩුව රාජ්‍ය දේපොළ විදේශයන්ට විකිණීම නතර කළ යුතුය. රට දෙකඩ කරන ව්‍යවස්ථා සම්පාදනය නතර කළ යුතුය. ඉහත කරුණු පිළිබඳව සුසිල් දැනුවත් කෙරුණු අතර සාකච්ඡාවේදී සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ ඉල්ලීමට අනුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රින්ගේ එකඟතාව පළ කෙරෙන අස්සන් සහිත ලේඛනයක්ද සකස් කෙරිණි.

මුග්ධ බල පොරයේ ආදීනව

මැතිවරණ ප්‍රතිඵල ජනතා විමුක්ති පෙරමුණට සුබවාදී නොවීම ගැන සමාජයේ නොයෙක් ස්ථරවල කනස්සල්ලක් හටගෙන තිබිණි. ගම ජ.වි.පෙ.ට කීවාට ජ.වි.පෙ.ට වැඩි ප්‍රතිචාර හිමිව තිබුණේ නගරයෙනි. අසීරු වුණත් අමාරු වුණත් අනාගත පරපුර වෙනුවෙන් විකල්ප මාවතක් හදන්නට තමන් කැපවන බව අනුර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ අර්බුදය ගැන ජ.වි.පෙ. ස්ථාවරය වූයේ මුග්ධ බල පොරයේ ආදීනව ඡන්දයෙන් පසු මෛත්‍රි රනිල් අත්විඳිමින් සිටින බවය.

One Response to “මෛත්‍රි හරහා නිමල් සිරිපාල මහින්දට කතා කළ හැටි”

  1. Ratanapala Says:

    The nation must not forget the Bond Scam and the necessary judicial process to proceed with the Bond Scam investigation. The current political imbroglio should not be a deterrent to this process. In the face of one, the other should not be allowed to be forgotten. In fact Ranil in the spotlight on the Bond Scam issue should make it easier to find a solution to the current impasse.

    Ranil Wickramasinghe is happy the nation is now confronted with a political quagmire. In the melee, his involvement in the Bond Scam and his inability to bring Arjun Mahendran to submit to questioning by the investigative authorities is being forgotten.

    The judicial process must be fast forwarded to apprehend the local bigwig who is responsible for the Bond Scam to be brought to trial. In the eyes of the people, it is crystal clear that the local cat’s paw who carried out the Bond Scam on a script written by foreign masters, is none other than Ranil Wickramasinghe and other UNP leaders closest to him.

    The Sri Lankan nation must have Ranil the Nemesis of Sri Lanka, the Economy Destroyer and his band of 40 thieves in their crosswires with unrelenting vigilance!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress