“පළාත් පාලන ආයතනවල බලය අල්ලන්නේ කවුද යන්න අවිනිශ්චිත වී ඇත්තේ ජාතික දේශපාලනයේ බල අරගලය නිසයි “- කීර්ති තෙන්නකෝන්
Posted on February 21st, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10 ක් ගතවී තිබුනද මෙතෙක් පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති ආදී තනතුරු වලට පත්වන්නේ කවුද යන්න  තීරණය වී නැත්තේ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් නිසා නොව ජාතික දේශපාලනය තුළ පවතින බල අරගලය නිසා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අද(21) රාජගිරියේ පැවති  මැතිවරණ නිරීක්ෂකයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා  සිටියේ  ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු දින 10 ක් ගතවුනද  තවමත්  පළාත් පාලන ආයතනයේ බලය ලබාගන්නේ කවුද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්වයක  පවතින බවයි. මේකට ප්‍රධාන හේතුව වී ඇත්තේ අද වනවිට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පවතින බල අරගලය බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

නව මැතිවරණ ක්‍රමයට අනුව සන්ධාන ගත වීමේ අර්බුදයක් නොමැති බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා අවධාරණය කලේ  ඡන්ද විමසීමට පෙර සහ පසු සන්ධාන ගත වීමට අවස්ථාව නව මැතිවරණ ක්‍රමය තුළ පවතින බවයි. නාම යෝජනා භාරදීමෙන් පසු සහ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු සන්ධාන ගත වීමට මෙම ක්‍රමය තුළ අවස්ථාව ඇති බව තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය. ඡනතාව තමන්ගේ පළාත් පාලන බල ප්‍රදේශය සඳහා නියෝජිතයින් තෝරා ගැනීමේ  කාර්යය මේ වනවිට අවසන් කර තිබුනද  ජාතික දේශපාලනය තුල මතුව ඇති අස්ථාවර තත්වය මත පළාත් පාලන ආයතනවල බලය අල්ලන්නේ කවුද යන්න පිළිබඳව ප්‍රශන්යක් මතුවී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ ද?, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ ද ? නැතහොත් පවතින යහපාලන රජය ඉදිරියට ගෙනයන්නේ ද යන්න  මත  පළාත් පාලන ආයතනවල බලය අල්ලන්නේ  කවුද යන්න පිළිබඳව තීරනය කරනු ඇති බව තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2018 පෙබරවාරි 21

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress