විශ්වාසභංගය ජයග්‍රහණය මෙන්ම පරාජය යනුත් පොහොට්‍ටුවේ ජයග්‍රහණයකි. mahinda.info විශ්ලේෂණය.
Posted on April 15th, 2018

Mahinda.info

විශ්වාස භංගයට අදාලව සිදුවීමට හැකිව තිබූ අනෝන්‍ය වශයෙන් ස්වායක්ත ප්‍රධානතම විකල්ප අවස්ථා මෙලෙසයි.

case 1 : විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් වැළකීම.
case 2 : විශ්වාස භංගයක් ගෙන ආවද එය අතර මගදී ඉල්ලා අස් කර ගැනීම.
case 3 : විශ්වාස භංගයක් ගෙන අවුත් එය ජයග්‍රහණය කිරීම.
case 4 : විශ්වාස භංගයක් ගෙන අවුත් එය පරාජය වීම.

ඉහත විකල්ප අවස්ථාවන් වෙන් වෙන්ව සලකා බලමින් ඒවායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුවෙන වාසි/අවාසි කෙටියෙන් විමසා බලමු.

case 1 : විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමෙන් වැළකීම.
වාසි
1. විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී පරාජය වීමේ හැකියාව නැති වීම.

අවාසි
1. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 නැති බව ඔප්පු කිරීමට නොහැකි වීම.
2. මෛත්‍රීපාල යනු ජාතිකවාදියෙක් බවත්, මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මෛත්‍රීපාලව සිරිසේන ජනාධිපතිවරයාව ශක්තිමත් කිරීම මගින් රනිල්ව එලවිය හැකි බවටත් පසුගිය කාලයේ පැතිරුණ මිත්‍යාවේ බොහෝ අය දිගටම ගැලී සිටීම.
3. ඒ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට වරද පටවමින් පොහොට්‍ටුවේ ඡන්ද දායකයන් කොටසක් මෛත්‍රීපාලට බිලි බා ගැනීමට හැකියව ලැබීම.
4. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට රනිල්ව එලවන්නට අවශ්‍ය නෑ කියමින් ශ්‍රීලනිපයේ සමහරුන් සහ එජාපයේ මාක්ස්වාදී වෘත්තීය සමිතිය විසින් ගෙන ගිය බොරුව දිගටම සමාජ ගත වීම.
5. ශ්‍රීලනිපයේ සිටින රනිල් වික්‍රමසිංහට යටින් සහය දෙන පිරිස හෙළි වීමෙන් වැළකීම.
6. ජාතිකවාදීන් ලෙස ජනතාව රවටන ආණ්ඩුවේ සිටින සමහරුන්ව හෙළි වීමෙන් වැළකීම සහ ඔවුන් තම බොරු තුළින් ජන පදනමක් හදා ගැනීම.

 

case 2 : විශ්වාස භංගයක් ගෙන ආවද එය අතර මගදී ඉල්ලා අස් කර ගැනීම.
වාසි
වාසි කිසිවක් නැත.

අවාසි
ඉහත case 1 හි ඇති සියලුම අවාසි මෙයටත් අදාලයි.

 

case 3 : විශ්වාස භංගයක් ගෙන අවුත් එය ජයග්‍රහණය කිරීම.
වාසි
1. රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් වීම.
2. ආණ්ඩුව විසිරුවා හැරීමේ ඉතාමත් සුළු සම්භාවිතාවයක් ද තිබීම. එහෙත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් මෛත්‍රීපාල හිතවාදී පිරිස විශ්වාස භංගයට ඡන්දය නොදීමෙන් (ඉන් පෙනෙන්නේ ආණ්ඩුවේ පැවැත්මට විරුද්ධ නැති බවයි) ආණ්ඩුව විසිරුවා හැරෙන්නේ නැති වීමේ ඉඩකඩ ඉතාමත් අධික බවත් වෙනත් අගමැති වරයෙක් යටතේ ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගැනෙන බවත් පැහැදිළි වෙයි.
3. පොහොට්‍ටුවේ බිම් මට්ටමේ ජනතාවට සැමරිය හැකි තවත් ජයග්‍රහණයක් ලැබීම.
4. එජාපයේ බිම් මට්ටමේ ජනතාවට මෙය පරාජයක් ලෙස දැනීම.
5. ජනමතය විකෘති කරන ලද පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මහතාට තිබූ කඳවුර සරළ බහුතරයට වැඩි වීම.

අවාසි
1. රනිල් වික්‍රමසිංහ වෙනුවට කරු ජයසූරිය වැනි සිංහල බෞද්ධ ජාතිකවාදී මුහුණුවරක් පෙන්වන අගමැති වරයෙක්ව පත් කර බටහිර න්‍යායපත්‍රය දිගටම සිදුකරන් යාම. බටහිර න්‍යායපත්‍රයේ වැඩ රනිල් වික්‍රමසිංහ විසින් කරද්දී එල්ල වෙන ජනතා විරෝධය, ඉහත නායකයින් සිදුකරද්දී එල්ල වීම අඩු වෙනු ඇත. (මෙහිදී සමහරුන් රනිල් යනු එකම භයානකම බිල්ලා ලෙස පෙන්නුවද මෙය රනිල්ගේ ආණ්ඩුවක් නොව, බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මෙහෙයවන ඔවුන්ගේ නව යටත්විජිතවාදී පාලන ක්‍රමයකි.එදා ෆ්‍රෙඩ්‍රික් නොර්ත්, ජේම්ස් එමර්සන්, රොබට් බ්‍රවුන්රිග් ආදීන් මෙන් අද රනිල් වික්‍රමසිංහ යනු බටහිරයන්ට මෙහි තවත් එක් ආණ්ඩුකාරවරයෙක් පමණි).
2. පසුගිය කාලයේ එජාප පාක්ෂිකයන් විසින් ලෝක උදාහරණ පවා පෙන්වමින්, මිය යන තුරු එජාපය අත් නොහරින බවට මැසිවිලි නැගූ රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීම හරහා එජාපයට නව පනක් ලැබීම. තරුණ නායකයෙක් යටතේ එජාපය ප්‍රතිසංවිධානය වී 2020 මැතිවරණයන් ට ජයග්‍රාහී මානසිකත්වයකින් සූදානම් වීම.
3. රනිල්ව අගමැති කමෙන් ඉවත් කිරීම නිසා දැඩි රනිල්වාදීන් ඉතාමත් ආවේගයට පත්ව පොහොට්‍ටුවට එරෙහිව සිය ප්‍රහාර තීව්‍ර කිරීම. උදාහරණ ලෙස වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සහය දෙන බොහෝ අය එසේ කරන්නේ එතුමන්ගෙන් කිසිවක් පුද්ගලිකව බලාපොරොත්තුවෙන් නොව එතුමන්ට එරෙහිව මෛත්‍රීපාල ආප්ප කා සිදුකළ දැවැන්ත පාවාදීම ගැනත්, දැනුත් දිගින් දිගටම ඔහු සිදුකරන පාවාදීම් ගැනත් හිතේ ඇති වේදනාවෙනි.

 

case 4 : විශ්වාස භංගයක් ගෙන අවුත් එය පරාජය වීම. (මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවූ අවස්ථාව සලකා බලමු)
වාසි
1. තමන්ට පාර්ලිමේන්තුවේ 2/3 ක් ඇති බව ආණ්ඩුව කීවද ඇත්තටම ආණ්ඩුවට 2/3 ක් තියා සරළ බහුතරයවත් නැති බව සනාථ වීම. ඇයි? එනම් විශ්වාස භංගයට පක්ෂව ලැබුණ ඡන්ද 122 තුළ, වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය වන දෙමළ ජාතික සංධානයේ ඡන්ද 16 ද අඩංගු වේ. ඒ අනුව එජාපයටම කියා තියෙන්නේ ආසන 106 කි. (සරළ බහුතරය ගැනීමටනම් ආසන 113 ක් අවශ්‍ය වේ).
2. රනිල් වික්‍රමසිංහ විසින් දෙමළ ජාතික සංධානයේ ඡන්ද 16 ලබා ගැනීම වෙනුවෙන් පොරොන්දු වූ කොන්දේසි 10 (උදා: අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම) ආණ්ඩුවේ 2/3 නොමැතිව ඉ‍ටු කළ නොහැකි වෙයි. ආණ්ඩුවට දැනටමත් 2/3 නොමැති බව සනාථ වූ නිසා ඉදිරියේදී දෙමළ ජාතික සංධානයේ සහයත් එජාපයට නොලැබෙනු ඇත.
3. ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් දැවැන්ත පීඩනයකින් යුතුව ආණ්ඩුව කරන් යාම. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවක් විසින් කරගන්නා දේශපාලන තකතීරුකම් ඉහළ යයි.
4. එජාපයට දෙමළ දේශපාලන පක්ෂ වල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ වල වුවමනාවන් ඉ‍ටු කිරීමට සිදුවීමෙන් ඔවුන්ට සිංහල ජනතාව ඇති අපකීර්තිය තවත් වැඩි වීම.
5. එවන් තත්ත්වයකදී රාජපක්ෂවරුන්ගෙන් හෝ පොහොට්‍ටුවේ පාක්ෂිකයන්ගෙන් පළි ගැනීම ගැන එජාපයට දෙවරක් සිතීමට සිදුවීම.
6. ලෝකයේ කිසිදු රටක විපක්ෂය විසින් රටේ අගමැතිවරයාව ආරක්ෂා කරමින් විශ්වාස භංගයකදී ඡන්දය දෙන්නේ නැත. ඒ අනුව දෙමළ ජාතික සංධානය යනු පාර්ලිමේන්තුවේ විපක්ෂය නොවන බව සනාථ වීම. 2020 මැතිවරණයට ආරම්භයක් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.
8. ආණ්ඩුවට රටේ පමණක් නොව පාර්ලිමේන්තුවේ පවා බහුතරය නැති බව ඔප්පු වීම හරහා ජනතා විරෝධී තීන්දු ගැනීම යම් දුරකට අඩාල වීම.
9. රනිල් වික්‍රමසිංහ දිගටම අගමැති කමේ සිටීම ද අපට වාසියක් නොවන්නේම නැත. එනම් රනිල් සිටින තුරු පක්ෂය ගොඩ දැමීමට නොහැකි බව එජාපයේ මතයක් ඇති අතර, ඔහු කිසිම විටෙක එජාපයේ දෙවන පෙළකට නැගී එන්නට ඉඩ දෙන්නේ නැත. කවුරුන් හෝ ඔහුට වඩා එජාපය තුල බැබලේනම් ඔවුන්ව යටපත් කිරීම රනිල් වික්‍රමසිංහ විසින්ම සිදු කරන බව මෑතකාලීන දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි.
9. මෛත්‍රීපාල ජනාධිපතිවරයාට වඩාත්ම හිතවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසින් ඡන්දය දීමෙන් වැළකී සිටීම මගින් මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ මතය පිළිබිඹු වෙයි. ඒ අනුව මෛත්‍රීපාලට තවදුරටත් ආණ්ඩුව දිගටම පවත්වාගැනීමට අවශ්‍ය බව පැහැදිළි ය. ඔහුට රනිල් නැතිව ඉදිරී ගමනක් නැති බව ජනතාවට තහවුරු විය. ඔහු කියන දේ කොනරන බවත් සත පහකටවත් විශ්වාස කළ නොහැකි බවත් ජනතාවට නැවතත් සිහිපත් වීම. ඔහුව තවත් ශක්තිමත් කිරීම අර්ථ ශූනය ක්‍රියාවක් බව මෙමගින් සනාථ වීමත් පොහොට්‍ටුව ලද ජයග්‍රහණයකි.
10. ජනමතය විකෘති කරන ලද පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබූ කඳවුර තවත් විශාල වීම.
11. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට රනිල් වික්‍රමසිංහ සමග ඩීල් එකක් ඇති බවත්, විශ්වාස භංගය දා එතුමන් ඇමරිකාවට යන බවටත් කියමින් ආණ්ඩුවේ හංචයියන් ගෙතූ බොරුව අතේ පැළ වීම. මහින්ද රාජපක්ෂයන් යනු කී දේ කරන කොන්ද පන ඇති නායකයෙක් බව ජනතාව අතර තවත් වටයකින් තහවුරු වීම. මඩ අතේ පැළ වීම නිසා එතුමන්ට එරෙහිව ඉදිරියේදී එල්ල වන මඩ වලට ඇති සුළු හෝ පිලිගැනීමත් මෙමගින් නැතිව යාම.
12. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේදී දේශපාලනයට එන්නේනම් එවිට කරු ජයසූරිය වැන්නෙක් අගමැති කමේ සිටිනවාට වඩා රනිල් වික්‍රමසිංහ වැන්නෙක් අගමැති කමේ සිටීම විශාල ජයග්‍රහණයකට හේතු වීම.
13. ශ්‍රීලනිපයේ සිටින රනිල් වික්‍රමසිංහට යටින් සහය දෙන පිරිස හෙළි වීම. එසේම රනිල්ව එලවන්නට කියා ශ්‍රීලනිපයට ගිය සමහරුන්ගේ හැටි ජනතාව ඉදිරියේ අනාවරණය වීම.
14. ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින්, බොරුවට මතුපිටින් රනිල්ව විවේචනය කරමින් යටින් රනිල් වික්‍රමසිංහව රකින එජාපයේ සමහරුන්ව අනාවරණය වීම.
15. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විධායක බලතල තිබියදී පවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ව තනි තීරණයකට ගෙන ඒමට නොහැකි විය. මෛත්‍රීපාල සමග සිටගත් පිරිස 16 ක් සහ26 ලෙස දෙකට බෙදීම. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට නුසුදුසු බව සනාථ වීම. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස සිටිමින් ජනාධිපතිවරයා සිටින පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය පවා ලබා ගැනීමෙන් සැබෑ නායකත්වය යනු කුමක් දැයි ජනතාවට පැහැදිළි වීම.
16. ඇමතිකම් දරන මෛත්‍රී පිලේ කීප දෙනෙකුට එරෙහිව හෙට අනිද්දා විශ්වාසභංග එනු ඇත. රනිල් සහ සම්බන්ධන් ඒ මත එක්ව සීල් තබන හැටි ඡන්දදායකයා බලා සිටිනු ඇත. ජනාධිපතිට එරෙහි දෝශාභියෝගයක් සඳහා වන අභ්‍යාසය ඒ හරහා සිදුවනු නියතය.

අවාසි
1. පොහොට්‍ටුවේ බිම් මට්ටමේ ජනතාව මෙය පරාජයක් ලෙස දැනීම.
2. එජාපයේ බිම් මට්ටමේ ජනතාවට මෙය ජයග්‍රහණයක් ලෙස දැනීම.

ඉහත විග්‍රහයට අනුව රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමෙන් වැළකීමට වඩා, එය ගෙනැවිත් ජයග්‍රහණය කිරීම මෙන්ම පරාජය වීමත් පොහොට්‍ටුවට වාසි සහගත බව ඔබට පෙනෙනු ඇත. නමුත් ජයග්‍රහණය කළානම් ඉන් මතුවට ඇති විය හැකි සංධර්භය පිළිබඳව අපට අනුමාන කිරීම පහසු නොවේ. පරාජය වීමෙන් අනතුරුව වෙන දේ අප දැනටමත් දන්නා බැවින් ඒ සඳහා කල් තියාම ප්‍රතිකර්ම යොදා තිබේ. අප කළ යුත්තේ මෙන්න මේ දේ පොහොට්‍ටුවේ බිම් මට්ටමේ ජනතාවට තවදුරටත් පැහැදිළි කර දීමයි. එවිට අපට සිදුවූ එකම අවාසිය වන මෙය පරාජයක් ලෙස ජනතාවට දැනීමත් මග හැරෙනු ඇත. පොහොට්‍ටුවේ ජනතාව යනු දේශපාලන සවිඤ්ඤාණිකත්වය අතින් ඉදිරියෙන් සිටින බව පසුගිය මැතිවරණයෙන් ද පැහැදිළි වීමෙන් එය අපට වඩාත් පහසු කටයුත්තකි.

විශ්වාස භංගය ජයග්‍රහණය කරන බව දැනගෙන සිටියදීත්, පාර්ලිමේන්තුවේ තේ පැන් සංග්‍රය අතරේදී රනිල් වික්‍රමසිංහගේ ඉරියව් දැක්වෙන පහත පින්තූර තවත් බොහෝ දෑ ඔබට කියනු ඇත.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress