ආණ්ඩුව පිස්සන් කොටුවක් වෙලා
Posted on July 11th, 2018

 මතුගම – වසන්ත කුමාර  උපුටාගැණීම  මව්බිම

මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමට ප්‍රශ්න ගොඩගැසුනම ආණ්ඩුව ඒවා අමතක කරන්න දවසින් දවස සතියෙන් සතිය මොනවා හරි නිර්මාණය කර ගන්නවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා කීවේය.

හොරණ පැවැති මාධ්‍ය හමුවක් අමතා විදුර වික්‍රමනායක මහතා මෙසේද කීවේය. රටේ ආර්ථිකයට මොනවා වෙලාද? සමාජයේ මතුව තිබෙන ප්‍රශ්න මොනවාද? මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් උත්සාහ කරනවාද?

සති දෙක තුනකට කලින් සිංහරාජයේ අලි පැන්නීම ගැන මහා විශාල කතාවක් ඇති වුණා. ඊළඟට හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම ගැන කතා කළා. හිට්ලර් ගැන කතා වුණා. ඊළඟට පාතාලේ ගැන. ඊට පස්සේ නිව්යෝර්ක් ටයිම්ස් ගැන කතා වුණා. මේවා නිර්මාණය කරන්නෙත් දේශපාලනඥයෝමයි. අපේ රටේ දේශපාලනඥයන් නිර්මාණය කරන මේ වැඩපිළිවෙළට ඇතැම් මාධ්‍යන් උදවු කරනවාද කියලා මට හිතෙනවා. ඒ පිළිබඳ තියෙන්නේ කනගාටුවක්.

මේ රටේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න කතා කළ යුතු වේදිකාවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. එවැනි තැනක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ පිස්සන් කොටුවෙන් එහාට රට ගෙන යන්න ජනතාවට සතුට ගෙනෙන විකල්ප වැඩපිළිවෙළකට අපි සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒ සඳහා පාට පක්‍ෂ භේදවලින් තොරව අපි එකතු විය යුතුයි. එසේ නොවුණහොත් මේ රටට වින කරපු රට විනාශ කරන දේශපාලන රොත්ත රජ කරනවා. ඒ නිසා විකල්ප අවශ්‍යයි.

රටේ අද තියෙන්නේ බරපතළ කඩා වැටීමක්. පසුගිය වසර තුන ඇතුළත මේ රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත්වුණා. මේ සඳහා ආණ්ඩුව පමණක් නොව විරුද්ධ පක්‍ෂයත් වගකිව යුතුයි. ඒ වගේම රටේ මහජනතාවත් මීට වඩා පාලකයන්ව මෙහෙයවීම පිළිබඳ කටයුතු කළ යුතුයි. අයාලේ යන පාලකයන් නිසා අද මේ රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට වැටිලා තියෙනවා.

ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ඇමැතිවරු මේ ප්‍රකාශය හෙළා දැකලා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ආණ්ඩුව මේ ගැන ගත්ත නිල පියවර මොකක්ද? නිල ප්‍රකාශයක් තවම නැහැ. රටේ ජනතාවට ඒක වැදගත් වෙනවා. ඕනම කෙනකුට ඕනම දෙයක් කියන්න, ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා කියලා මේ ආකාරයට ඇමැතිලා හැසිරෙනවා නම් මේක පිස්සන් කොටුවක් හැර වෙන මොකක්ද? 2015 ජනවාරි 08 වැනිදාට පෙර මෙවැනි තත්ත්වයක් රටේ තිබුණේ නැහැ.

පරණ මනාප ක්‍රමයට යන්න හදනවා. සල්ලි තියෙන ලොකු ලොකු බල්ලන්ගේ බලු පොරයට යන්න හදනවා. කුඩුවලින් හොරාකාපු ලොකු ලොකු බල්ලන්ට ජනතාව සපා කෑමට ඉඩ දෙන්න උත්සාහ කරනවා. කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළ බල්ලෙක්ගේ බලු පොරයට නැවත යන්න දෙන්න බැහැ.

ආණ්ඩු පක්‍ෂයේ පමණක් නොවෙයි විපක්‍ෂයෙත් ඉන්න තක්කඩි රැල පන්නා දැමිය යුතුයි. ඒ සඳහා පෙළ ගැසිය යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළකට අප යා යුතුයි. එසේ නොවුණහොත් මේ රටට අනාගතයක් නැති වෙනවා.

මතුගම – වසන්ත කුමාර

One Response to “ආණ්ඩුව පිස්සන් කොටුවක් වෙලා”

  1. Randeniyage Says:

    I protest the use of word පිස්සන් කොටුව or Angoda which look down upon mentally sick.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress