කුඩුකාරයන් එල්ලන්නට සැරසෙන ආණ්ඩුවක සියදිවි නසාගැනීම
Posted on July 20th, 2018

 සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ කේනද්‍රස්‌ථානයක්‌ වෙමින් තිබෙන බව ශාපලත් යුද්ධය අවසන් වී මාස කිහිපයක්‌ ගතවෙද්දීම අපි රටට කීවෙමු. ඒ වන විට එය තිබුණේ ඉතාම ප්‍රාථමික අධියරේය.
 
 ඉකුත් 20009 මැයි 19 වැනිදා ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට අපේ හමුදාවෝ සමත් වූහ. ඒ සමගම ජාත්‍යන්තරය තුළ මේ රට පිළිබඳව පැවති බිය සැක මෙන්ම කලු පැල්ලම්ද මැකී යන්නට විය. මරණයේ තෝතැන්නක්‌ ලෙසින් ප්‍රකටව තිබූ ශ්‍රී ලංකාව එතැන් සිට සංචාරයට ඉතා සුදුසු සො»රු දිවයිනක්‌ යෑයි පවසමින් ජාත්‍යන්තරය විසින්ම නිවේදන නිකුත් කරන්නට විය.
 
 මෙහිදී තවත් පැත්කින් සිදුවූ දෙයක්‌ ද තිබිණි. එය වූයේ ත්‍රස්‌තවාදයෙන් තොර වූ ශ්‍රී ලංකාවේ සිට තම රටවලට නැව් මගින් සහ ගුවන් මගින් ළඟාවන දේ පිළිබඳ පෙර පැවති දැඩි සුපරික්‍ෂාව මඳකට ලිහිල් කරන්නට බොහෝ රටවල් පෙළඹෙමින් තිබීමය. 

araksha

 එහිදී අවදානම් පවතින පකිස්‌තානය, ඉන්දියාව ඇතුළු ලෝක ත්‍රස්‌තවාදයේ ගොදුරු බවට අදටත් පත්ව තිබෙන රටවල සිට ක්‍රියාත්මක වීමට වඩා ලංකාව කේන්ද්‍රීයව සිය කටයුතු මෙහෙයවීම වඩාත් ආරක්‍ෂිත බව ජාත්‍යන්තර වශයෙන් සිටි කුඩු ජාවාරම් කරුවෝ වටහාගෙන සිටියහ.
 
 යුද්ධයේ අවසානයෙන් පසු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හි ක්‍රියාත්මක වූ සමුද්‍රී්‍රය නාවික ආරක්‍ෂක ක්‍රමෝපයන් මඳක්‌ ලිහිල්වීම සහ ජාත්‍යන්තර මුහුදු මාර්ගයන්හි කේන්ද්‍රගත භූගෝලීය පිහිටීමක ලංකාව පැවතීමද මෙසේ ජාත්‍යන්තර ජාවාරමුන්ගේ අවධානය මෙරටට යොමුවීමට තවත් එක්‌ ප්‍රධාන හේතුවක්‌ විය.
 
 මේ සියල්ල සමඟ අප කුඩු ගැන කියමින් රට හමුවට එමින් තිබෙන අලුත්ම අවධානම හෙළි කරද්දී ත්‍රස්‌තවාදයෙන් රටත් ජනතාවත් බේරාගත් එවකට පැවති මහින්ද රාජපක්‍ෂ රජය කුඩු වසංගතයෙන්ද මේ පිං බිම ගලවා ගැනීම සඳහා ඉතාම සූක්‍ෂම මෙහෙයුමක්‌ දියත් කරන්නට සැලසුම් කළළේය. රහසිගත බුද්ධි මෙහෙයුමක්‌ තුළින් හෙරොයින් හෙවත් මත්කුඩු ජාවාරමට පහර දීම එහිදී රජයේ අරමුණ වී තිබිණි.
 
 අප එල්ටීටීඊය පරාජය කිරීමේදී හමුදාවට කොටුවූ ත්‍රස්‌තවාදීන් ආරක්‍ෂක බුද්ධි අංශ යොදවා උපක්‍රමශීලීව හමුදා ඔත්තුකරුවන් බවට පත්කරගත් අවස්‌ථා බොහෝ විය. ඉතාම සරල භාෂාවෙන් කිවහොත් අපේ පැරැන්ණන් කී පරිදි එහිදී සිදුවූයේ “ඌරාගේ මාලු ඌරගේ ඇඟේ තබා කැපීම” විය. 
 
 එය එල්ටීටීඊයට මොනතරම් මරු පහරක්‌ වූයේද යත් දිනෙන් දින යුද්ධය උණුසුම වැඩි වෙද්දී යුද හමුදා දිගුදුර විහිදුම් බළකා විරුවන්ගේ ක්‌ලේමෝ ප්‍රහාරවලින් එල්ටීටීඊ නායකයන් උන්ගේ බලකොටු තුළදීම සුණු විසුණු වී ගියේ ප්‍රභාකරන්වද කම්පනයට පත්කරමිනි.
 
 ඉකුත් 2015 වසරේ සිදුවූ යහපාලන පෙරළියෙන් පසු ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය ආරම්භ වී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් නව දෙනකු අත්අඩංගුව ගන්නා තැන දක්‌වාම ජාත්‍යන්තරය දක්‌වාම බුද්ධි අංශ හරහා මෙවන් මෙහෙයුම් ක්‍රියාත්මක විය.
 
 එහිදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සිදු කළ එක්‌ මෙහෙයුමක්‌ “ඔපරේෂන් ඩබල් එඡ්” ලෙසින් නම් කර තිබුණු අතර නාවික හමුදා බුද්ධි බළකාය “ඔපරේෂන් බ්ලැක්‌ ෆෝකස්‌” නමින් තවත් මෙහෙයුමක්‌ දියත් කර තිබිණි. 
 
 යහපාලනයට පිංසිදු වන්නට අද ඒවා සුණු විසුණු කර එම මෙහෙයුම් සිදු කළ බුද්ධි නිලධාරීන්වද පසුගිය කාලයේ පෝලිමට වැලිකඩ බෝඩිමට යෑව්වේ හරියට ආණ්‌ඩුවට ප්‍රභාකරන්ගේ අවතාරයක්‌ වැහුනාක්‌ පරිදිය.

araksha2යුද්ධයෙන් පසු රට ඉදිරියට පැමිණෙමින් තිබූ කුඩු ජාවාරමට එරෙහිව පසුගිය රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ ද ඒ අකාරයේම වූ වැඩපිළිවෙළකි. එහිදී අවධානය යොමු වූයේ ඒ වන විටත් කුඩු ජාවාරම හමුවේ රටින් පැන ගොස්‌ පාකිස්‌ථානයේ සැඟව සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් වන වෙළේ සුදා සහ මොහොමඩ් සිද්ධික්‌ වෙතටය. 
 
 ඉකුත් 2015 වසරේ ජනවාරි 8 වැනිදා සිදුවූ අපූරු පෙරළියට මාසයකට පමණ ඉහතදී පළමුව වෙළේ සුදාත් දෙවනුව මොහොමඩ් සිද්ධික්‌වත් පාකිස්‌ථාන අයි.එස්‌. ඔත්තු සේවය මගින් අත්අඩංගුවට ගෙන යළි ශ්‍රී ලංකාවට එවීමට සූදානම්ව සිටියේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එදා එය සාර්ථක වූයේ නම් අද මාකඳුරේ මධුෂ්ලා පිළිබඳ කතා කරමින් පොලිසියට වටේ දුවන්නට සිදුවන්නේද නැත.
 
 එහෙත් ඒ සුන්දර ජනවාරි අට සියල්ල උඩු යටිකුරු කළේය. මෙහිදී වෙළේ සුදා සහ මොහොමඩ් සිද්ධික්‌ පැකිස්‌ථානයට පැනයැමේ කතාවද මඳක්‌ සඳහන් කළ යුතුය. 
 
 ඔවුන් දෙදෙනාම අවස්‌ථා දෙකකදී රටින් පැන යන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට තම පණ දෙවැනි කොට ජීවය ගෙන දුන් පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීවගෙන් බේරෙන්ට නොහැකිවූ නිසාය.
 
 එහිදී මීට වසර ගණනාවකට ඉහත මුලින්ම රටින් පැන ගියේ මොහොමඩ් සිද්ධික්‌ය. ඉන්දියාවට පළමුව ගොස්‌ එහි කුඩු ජාවාරමේ යෙදී සිටියදී ඉන්දීය පොලිසියට හසුවී එරට බන්ධනාගාරයෙනුත් පැනගිය සිද්ධික්‌ගේ අවසාන නවාතැන බවට පකිස්‌තානය පත්ව තිබිණි. 
 
 ඒ වන විට වෙළේ සුදා සිටියේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව විසින් සිදු කළ වැටලීමක්‌ නිසා රක්‍ෂිත සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ කොටු තාප්පය තුළට සිරවීය. මේ අතරේ වෙළේ සුදාට අධිකරණයෙන් ඇප හිමිවිය. ඒ ලැබුණු අවසරයෙන් ඔහුද පාකිස්‌තානයට පැන ගන්නේ සිද්ධික්‌ විසින්ම සාදවා දුන් ව්‍යාජ ගමන් බලපත්‍රයක පිහිටෙනි. 
 
 එතැන් සිට පාකිස්‌ථානයේ හිඳිමින් වෙළේ සුදා සහ සිද්ධික්‌ මත්කුඩු ජාවාරමේ යෙදුණහ. එහෙත් එයට එරෙහි රංගජීවගේ මෙහෙයුම්වල නිමාවක්‌ නොවිනි. ඔහු උකුස්‌සකු සේ සියල්ල පසුපස හඹා ගියේය. අවසානයේ රංගජීව සිද්ධික්‌ලාව ද පසුකර යමින් කලක්‌ මෙරට ප්‍රභූ සමාජයේ ධනකුවේරයකු ලෙස වැජඹෙන අතරේ ඉතාම සූක්‍ෂම ලෙස ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමක්‌ මෙහෙයවමින් සිටි මොහොමඩ් මුජහදීන් දක්‌වාම ළඟාවිය.

 එහිදී රංගජීවගේ ඇස තමන් වෙත යොමුවූ බව දැනගත් මුජහදීන්ද මැලේසියාවට පැන ගන්නේ සිය වෙස්‌ මුහුණ තුළින් ගෞරවනීය පුරවැසියකු ලෙස එකල මැලේසියානු රජයේ ගෞරවය දිනාගෙන සිටි බැවිනි. එසේ බාධක පැමිණියද රංගජීව නතර වූයේම නැත. ඔහු සමඟ සිටි මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කියන්නේ රංගජීව යනු කුඩු ජාවාරමුන්ගේ පසුපස යමින් උන්ගේ ජාන ලක්‍ෂණ පවා මතකයේ ගබඩාකරගෙන සිටි දක්‍ෂයකුව සිටි බවය.
 
 එසේ කළ රංගජීවට අවසානයේ කුඩු ජාවාරමුන්ගේ උගුලකට හසුවී වෙඩි වරුෂාවකට ගොදුරුව මාස කිහිපයක්‌ ජීවිතයත් මරණයත් අතර සටනක පවා යෙදෙන්නට සිදු විය. ඒ සේවය වෙනුවෙන් අද ඔහුට යහපාලනයෙන් උපරිම නම්බුනාම ලැබී අවසන්ය.
 
 ඒ අනුව රංගජීව දැන් වැලිකඩ බන්ධනාගාරයේ කුටියක සිරවී සිරබත බුදිමින් සිටින්නේය. ආණ්‌ඩුව අද නයා ඇඳිවත අස්‌සට දාගෙන කනවෝ කනවෝ කියන්නාක්‌ මෙන් රටටම අඬබෙර ගසා බන්ධනාගාරගත කුඩු ජාවාරමුන් එල්ලා මරන්නට සැරසෙන්නේ එන්ජීඕ කාක්‌කන් සමඟ එක්‌ව රංගජීවලා වැනි පොලිස්‌ නිලධාරීන් බත්පතේ රම්ප – කරපිංචා ගාණට ඇද දැමීමේ පාපය නිසා නොවේද?
 
 කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉකුත් රජයේ වැඩපිළිවෙළට අනුව සිද්ධික්‌ සහ වෙළේ සුදා එදා පාකිස්‌තාන අයිඑස්‌ ඔත්තු සේවය මගින් අත්අඩංගුවට ගත්තද මෙරටට ගෙන එන්නට නොහැකි විය. 2015 වසරේ ජනවාරි 8 පෙරළියත් සමඟ එය ප්‍රමාද වන්නට විය. 
 
 අවසානයේ ආණ්‌ඩු පෙරළියෙන් මසකට පමණ පසු මුලින්ම වෙළේ සුදා මෙරටට ගෙන ආවද ඒ වන විට පෙර සැළසුම් කුණු මුල්ලට විසිවී තිබිණි. පසුව සිද්ධික්‌වද රැගෙන ආ අතර අද දෙදෙනාම සිටින්නේ බන්ධනාගාර ගතවය. ශ්‍රී ලංකාව දෙසට යොමුවූ ඉන්දීය පාතාල රජු ජාවඩ් ඊබ්‍රාහිම් දක්‌වා විහිද ගිය ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ උපක්‍රමික මතකයන්ද සියල්ල දැන් ඔවුන් දෙදෙනා සමඟ තිබෙන්නේ බන්ධනාගාරය තුළ සිරවීය. 
 
 මෙහිදී වෙළේ සුදා සහ මොහොමඩ් සිද්ධික්‌ එදා පාකිස්‌තාන අයිඑස්‌ ඔත්තු සේවයට කොටුවූ අන්දමද ආණ්‌ඩුවට දැනගන්නට සටහන් කළ යුතුය. එක්‌ අතකින් එය හරිම රසවත්ය. 
 
 සිද්ධික්‌ සහ වෙළේ සුදා පාතිස්‌තානයේ රැඳී සිටියදී ජීවත් වී තිබුණේ එරට අයි.එස්‌. ඔත්තු සේවයේ නිලධාරීන්ගේ නිවාස පිහිටි ගම්මානයකය. ඒ සිද්ධික්‌ගේ එබිරිඳද සමගිනි. එහෙත් මේ ඉන්නේ ශ්‍රී ලංකා රජය එදා ඉල්ලා සිටින කුඩු රජවරු බව අයිඑස්‌ නිලධාරීහු දැන නොසිටියහ. 

 ඔවුන් දෙදෙනා එම නිලධාරීන් සමළු ගොඩනඟාගෙන තිබූ සමිප මිත්‍රත්වය ඒ නොදැනුවත් බවට හේතු වී තිබිණි. මේ අතරේ දිනක්‌ වෙළේ සුදා කිසියම් කාර්යයකට පාකිස්‌තානයේ සිට ඩුබායි බලා පිටත්ව ගියේය. එසේ ගොස්‌ යළි පැමිණෙද්දී මත් පැන් බෝතල් කිහිපයක්‌ රැගෙන එන්නට හේ කටයුතු කළේය.
 
 පාකිස්‌තානයේ ඔවුන් ජීවත් වූ ප්‍රදේශය තුළ මත්පැන් තහනම්ය. එහෙයි ඒවා රැගෙන යළි පාකිස්‌තානයට පැමිණීමේදී ගුවන්තොටුපළේ නිලධාරීන්ට වෙළේ සුදා කොටුවිය. එහිදී ඔහු කළේ එම නිලධාරීන්ගේ අතමිට මොලවා මත්පැන් බෝතල් කිහිපයද රැගෙන ගුවන් තොටුපළේ පිටිවීම විය.
 
 එහෙත් අවාසනාවකට මේ සිද්ධිය ගුවන් තොටුපළේ සිටි පාකිස්‌තාන අයි.එස්‌ නිලධාරියකුගේ නෙත ගැටිණි. හේ වහා ඒ බව ඉහළට දැනුම් දුන්නේය. ඔහුට ලැබුණු පිළිතුර වූයේ වෙළFa සුදා පසුපස ගොස්‌ ඔහු සිටිනා තැන බලා ගන්නා ලෙසය. ඒ අනුව එම නිලධාරියා වෙළේ සුදා පසුපස එන්නට විය. ඒ අතරවාරයේ මිතුරු අයිඑස්‌ නිලධාරියකුගේ මෙම සිද්ධිය සිද්ධික්‌ට දැනගැනීමට ලැබී තිබිණි. 
 
 සිදුවන්නට යන දේ ඉවෙන් මෙන් වටහා ගත් ඔහු කළේ සුදා නිවසට පැමිණීමට පෙර සිය බිරිඳ\ රැගෙන එම ප්‍රදේශයෙන් පලා යැමය. ඒ අතරේ කිසිත් නොදත් වෙළේ සුදා නිවසට පැමිණි අතර ඒ වන විටත් ඒ නිවස වටකර සිටි පාකිස්‌තාන අයිඑස්‌ නිලධාරීහු ඔහුව අත්අඩංගුවට ගත්හ. 
 
 තමන් අල්ලා ගත්තේ ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින දෙදෙනාගෙන් එක්‌ අයකු බව පාකිස්‌තාන අයිඑස්‌ ඔත්තු සේවය දැනගන්නේ එහිදීය. මේ අතරේ පැන ගිය සිද්ධික්‌ නතරවූයේ පාකිස්‌තානයේ දේශසීමා ආසන්නයේ ඇති අරාජික වූ නොදියුණු ප්‍රදේශයක විය. කලක්‌ එහි ජීවත් වුවද ඔහුට ජංගම දුරකථනයට සඳහා කාඩ්පතක්‌ ලබා ගැනීමට එහි සිට බොහෝ දුරක්‌ ගෙවා නාගරික ප්‍රදේශයකට පැමිණීමට සිදුව තිබිණි. 
 
 ඔහු පිළිබඳ අවධානයෙන් සිටි පාකිස්‌තාන අයිඑස්‌ නිලධාරීන් අවසානයේ සිද්ධික්‌ව අත්අඩංගුවට ගන්නේ ඒ ජංගම දුරකථනය කාඩ් ගැනීමට ඒමේ සෙල්ලම නිසාය. මේ සටහන් වූයේ මොවුන් දෙදෙනා ගැනම හොඳින් දන්නා අයකු වරක්‌ අප සමඟ කී ඒ කතාවය.

 එය කෙසේ වෙතත් මේ අන්දමට පාකිස්‌තාන අයිඑස්‌ ඔත්තු සේවය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් දෙදෙනා අවසානයේ ලංකාවට රැගෙන එනු ලැබිණි. ඒ වන විට රටේ පැවතියේ යහපාලනය ය. ඒ අනුව පාකිස්‌තානයේ සිටි රැගෙන ආ ඔවුන් දෙදෙනාව භාර කෙරුණේ සියල්ල පිළිභඳ අක්‌මුල් දැනගෙන සිටි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නොව, රහස්‌ පොලිසියටය.
 
 සිදුවූයේ එවැනි අල වැඩය. බලයට පැමිණි දා සිටි යහපාලනයට වැදගත් වූයේ රට වනසන කුඩු ජාවරම සහ පාතාල නැටුම් වැනි දේ පිළිබඳ නොව, ත්‍රස්‌තවාදය ඇතුළු මේ සියල්ලෙන් රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන්නේ කෙසේද යන්නය. 
 
 ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ඇමරිකාව ඇතුළු විජාතික කුමන්ත්‍රණකරුවට සහ එන්ජීඕ නඩවලට අනුව සියල්ල සිදුවන්නට විය. අවසානයේ ජාත්‍යන්තරය දක්‌වා විහිද යමින් ඒ වන විට රටතුළ ක්‍රියාත්මක වූ බුද්ධි ජාලය බලා සිටියදී බිම ඇද වැටුණේය. 
 
 සියල්ල උඩුයටිකුරු විය. පාතාලයෝ බලා සිටියදී හිස ඔසවන්නට විය. යහපාලනයට පෙර බෙහෙතකටවත් සොයාගත නොහැකිව තිබූ පාතාල ගිනි අවි එළියට ආවේය. හතර අතේ වෙඩි පත්තු වීම යළි ආරම්භ විය. එහෙත් ආණ්‌ඩුවට ඒ පිළිබඳ වගේ වගක්‌ නොවීය. යළි හිස එසවූ පාතාලයෝ මහදවල් කොල්ලකෑම් සිදු කළහ. 
 
 එහෙත් යහපාලනයට ප්‍රශ්නය තිබුණේ ජීවිත පරදුවට තබා අටඅනූවක්‌ ව්‍යාධීන්ගෙන් රට බේරාගත් බුද්ධි අංශ රණවිරුවන් සමඟය. එසේ සිදු කිරීමෙන් ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්‌වනවා සේම සමස්‌ත සමාජය ආරාජික වී යටපත්ව තිබූ සියලු දේ යළි මතුවන බවක්‌ කල්පනා නොවීය. 
 
 ඒ අතරේ එන්ජීඕ කාක්‌කන්ගේ වුවමනාවට රංජීවලා වැනි රටට වැඩ කළ පොලිස්‌ නිලධාරීන් සිරගත කෙරෙද්දී අනෙක්‌ පැත්තෙන් සිදුවූයේ කුඩු ජාවාරමුන් හිතේ හැටියට රට වැනසීමය. වසර තුනක්‌ තුළ සිදුව ඇති දේ කොතෙක්‌ද?
 
 කියන්නට වචන නැත. මතු දිනක යහපාලනය අවසන් වූ විට ගෙදර යන ආණ්‌ඩුවේ ඇත්තන්ට හිත හිතා පසුතැවෙන්නට බොහෝ දේ දැන් සියල්ලන් එක්‌ව රටට කර අවසන්ය. එහෙත් ඔවුන්ගේ පසුතැවීම කෙසේ වෙතත් මේ තෙවසරක මහිමය හමුවේ විඳවන්නට සිදුවන්නේ රටේ ජීවත් වන ජනතාවට නොවේද? 
 
 
 සමන් ගමගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress