ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..
Posted on July 23rd, 2018

 ප‍්‍රදීප් අනුර කුමාර lanka C news

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන අදහස ජනතා ප්‍රසාදය අතින් අන්තයටම පිරිහී ගොස් තිබෙන අවස්ථාවකට එල්ලුම් ගහේ එල්ලී හෝ ගොඩයාමට දැරූ උත්සාහයක් පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙවැනිම පුහු අදහස් රැසක් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව හමුවේ තැබූ බව පැවසූ රණතුංග මහතා ජනප්‍රිය සටන් පාඨවල එල්ලී හෝ තව වරක් ජනාධිපති පුටුවට පැන ගැනීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ සංවිධාන නියෝජිතයන් පිරිසක් මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) හමු වූ අවස්ථාවේදීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ජනපති එල්ලුම් ගහේ එල්ලිලා ගොඩයන්න හදනවා.. ලංකාව අරාජික පාතාල රාජ්‍යයක් කලේ ඔහුයි..

තමන්ගේ ජනාධිපති ධූර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධීපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්‍ එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.

හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පහුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මරණ බියෙන් රට පැනලා හිටපු පාතාලයෝ ටික ආපහු ලංකාවට ආවේ සිරිසේන මහත්තයා බලයට පත්වුණාට පස්සෙයි. ඒ පාතාලයන් ලංකාවට ගෙන්නුවෙත් එතුමා ළඟම ඉන්න කැබිනට් ඇමැතිවරුන්ගේ මැදිහත්වීමෙනුයි.

මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වගඋත්තරකරුවා සිරිසේන මහත්තයාම තමයි. කුඩු ‍ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි. ජනාධිපතිවරයාට බලයේ ඉන්න  තියෙන්නේ අවුරුද්දකට මදක් වැඩි කාලයක්. බලය ගිලිහෙන මොහොත ළංවෙනකොට එතුමා බොරු සිංහ පාට් දාන්න ගන්නවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදිත් මේ වගේ ගැලරි ටෝක් දිදී පපුවට ගහගනිමින් රට වටා ගියා. කෝ අද ඒවා ක්‍රියාත්මක වුණාද? එතුමා හදන්නේ එල්ලුම් ගහේ එල්ලිලා හෝ ගොඩයන්නයි.

ජාතික සම්පත් විකුණලා දානකොට සිරිසේන මහත්තයා ඉන්නේ බීරෙක් වගෙයි. හම්බන්තොට විකුණුවා. දැන් මත්තල විකුණන්න යනවා. අඩුගාණේ එතුමා ඒ ගැන වචනයක්වත් කියලා නැහැ. හැබැයි මත්තල ගුවන් යානා එන්නේ නැහැ කියලා විකුණන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ගම වන පොළොන්නරුවේ හිඟුරක්ගොඩ අලුත් ගුවන්තොටුපොළක් හදන්න යනවා.

මේවා තමයි ලොකුම විහිලු. ගුවන් යානා එන්නේ නැත්නම් මත්තල තවදුරටත් දියුණු කරලා ගන්න එකට වඩා අලුත් ගුවන්තොටුපොළක් හදන එක රටකට වාසිදායකද වෙන්නේ කොහොමද කියලා අපි අහනවා. මේ හදන්නේ මත්තල විකුණලා කොමිස් ගහන ගමන් හිඟුරක්ගොඩ අලුතෙන් හදලා තවත් කොමිස් මුදලක් සාක්කුවේ දාගන්නයි.

රනිල් වික්‍රමසිංහයි එයා වටේ ඉන්න මලික්, කබීර් වගේ ආර්ථික උපදේශකයෝ ටිකයි තව අවුරුද්දක් බලයේ හිටියොත් මේ රටම විකුණලා දායි. මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු හොරු රැලට රටම කොල්ල කන එක ලොකු දෙයක් නෙමෙයි. එල්ලුම් ගස් දාහක් හරි ක්‍රියාත්මක කරලා එල්ලලා මරන්න ඕනේ මේ වගේ හොරුයි කියන එකත් අපි ජනාධිපතිවරයාට‍ මතක් කරනවා.

රටම විනාශ කරලා දාපු මේ හොරු රැලට එරෙහිව පියවර ගන්න තරම් හයියක් සිරිසේන මහත්තයාට නැහැ කියලා අපි දන්නවා. ඒ හින්දා 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරාට පස්සේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුවෙන් මේ යහපාලන හොරු රැලට දඬුවම් කිරීමේ වගකීම අපි භාරගන්නවා.

මහ බැංකු හොරු, හම්බන්තොට- මත්තල විකුණන් කාපු හොරු, තමන්ගේ හිතවතුන්ගේ බිල්ඩින් කෝටි ගණන් දීලා කුලියට ගත්තු හොරු ඇතුළු යහපාලන හොරු නඩයම ප්‍රසිද්ධියේ නඩු අහලා එල්ලුම් ගහට යවන කටයුත්ත අපි අකුරටම ඉටුකරනවා. කිසිම හොරෙක්ට අපෙන් සමාවක් නැහැ. පිල් මාරු කරලා අපේ පැත්තට එකතු වෙලා දඬුවමෙන් බේරෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ආණ්ඩුවේ කාලය දැන් ඉවරයි. ඊළඟට එන පළාත් සභා මැතිවරණයෙන් අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ ජයග්‍රහණය තුළින් ජනතාව පෙරටුකොට ගෙන ජනාධිපතිවරණය දක්වා ගිහින් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව කන්දෙන්නේ ජනතා හඬට පමණයි කියන එකත් කවුරුත් මතක තබා ගත යුතුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress