ආණ්ඩුව ගම් පෙරළියක් ගෙනාවේ ජනතාව රවටන්නයි
Posted on July 24th, 2018

හාවාඑළිය – චන්ද්‍රසිරි මහගම උපුටාගැණීම  මව්බිම

“ආරක්ෂාව පෙරළලා දැම්මා. මුළු රටම පෙරළලා දාලා දැන් ගමත් පෙරළන්න ගම්පෙරළියක් ගේනවා. ගමේ ඉතිරිවෙලා තියෙන සංස්කෘතිය, අපේකම උදලුතලෙන් ගහල අවසාන කරන්න තමයි ගම්පෙරළිය ගේන්න හදන්නේ” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ “එළිය” සම්මන්ත්‍රණ මාලාවට සමගාමීව පෙරේදා (22දා) දින නුවරඑළිය නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.

2005 මහින්ද රාජපක්ෂ මහතාට විශාල අභියෝග සහිතව තමයි මේ රට භාර දුන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සියලු ජනතාව භීෂණයට, පීඩනයට ලක්වෙමින් ඒ ජනතාව විනාශ කරමින් අපේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් මේ රටේ ත්‍රස්තවාදය පැවතුණා. කඩාවැටුණු ආර්ථිකය, ඇනහිටිය සංවර්ධනය මෙන්න මේ අභියෝග සමඟ තමයි එදා එතුමාට තිබ්බේ.

එතුමා ඉතා කෙටි කාලයක් තුළ අවුරුදු ගණනාවක් තිබුණු ත්‍රස්තවාදය මේ රටින් තුරන් කරලා දැම්මා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තනයේත් ඇතුළත් වෙලා තිබුණේ ජනතාව කේන්ද්‍රීය කරගත් සංවර්ධනයක්. එතුමා සෑමවිටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබිය යුත්තේ ජනතාවයි කියන මතය තුළ තමයි සිටියේ.

විශේෂයෙන්ම රටක සංවර්ධනයක් ඇතිවන අවස්ථාවක රටේ ජනතාවට සමාන ලෙස මේ සංවර්ධනය බෙදී යා යුතුයි. ඒ නිසා තමයි එතුමා නගරය මෙන්ම ගමත් දියුණු කළේ.
2005 සිට 2014 දක්වා ඒකපුද්ගල ආදායම ඩොලර් 4000කට පමණ ඉහළ ගියා. එක කොටසක පමණක් ආර්ථිකය ඉහළ ගියාට මදි. විශේෂයෙන්ම පහළ මට්ටමේ ජනතාවත් අපි ඉහළට ගන්න ඕන. ආර්ථිකයක් හත්තක් වගේ වෙන්නට බෑ. අර ඉහළ මට්ටම සංවර්ධනය වෙලා පහළ හීනියට තියෙන කොටස සංවර්ධනය වුණේ නැතොත් රට කඩාගෙන වැටෙනවා. එහෙම් කඩාගෙන වැටුණොත් ඒ රටේ ස්ථිර සංවර්ධනයක් ඇතිවෙන්නේ නෑ.

මෙන්න මේ හින්දා තමයි මහින්ද චින්තනය තුළ විශේෂයෙන්ම ගමට සංවර්ධනය ගෙනයන, සෑම කෙනකුටම සංවර්ධනය ගෙනයන වැඩපිළිවෙළක් ගෙන ගියේ. මේ හින්දා තමයි ගම්බද පවා සෑම ගමකම පාරවල් දියුණු කළේ.

ගෙනගිය මේ සංවර්ධනය අපි දන්නවා 2015ත් අතරමඟ නතර වුණා. අපි නැවතත් එතුමාගේ නායකත්වයෙන් යුතු පාලනය මේ රට තුළ ඇති කරන්නට ඕන. එදා නතර වුණු ආර්ථිකය ගොඩගන්නත් එදා නතර වුණු සංවර්ධනය ඉදිරියට ගෙනයන්නත් නැවතත් ජනතාව සංවිධානය වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අලුත් රජයක් බිහිකරන්නට ඕන.

තමුන්නාන්සේලා දකින්න ඇති අර ගම්පෙරළිය ආරම්භ කරපු අවස්ථාවේදී අර උදැල්ලක් අරගෙන පිඩැල්ල කපන ආකාරය. ගමේ ඉතිරිවෙලා තියෙන සංස්කෘතිය, ගමේ ඉතිරිවෙලා තියෙන අපේකම, මේවත් උදලු තලයෙන් ගසල අවසානයක් කරන්නට තමයි ගම්පෙරළියක් ගේන්න හදන්නේ.

තේ වතුවල වැඩ කරන ඒ කම්කරුවන්ගේ වේතනය ජීවත්වීමට සුදුසු තරමකට ගෙන එන්නට ඕන. ඔවුන්ගේ ආදායම වැඩිකර ගත හැකි වෙනත් ක්‍රම අපි හදලා දෙන්නට ඕන. ඒ එළවළු වගා කරන ඒ ගොවියාගේ අලුත් නවීන ක්‍රමවේද ඔවුන්ට හඳුන්වලා දෙන්න ඕන. ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමට අවශ්‍ය නිවෙසක් ලබාගැනීමට හැකියාව අපි ලබලා දෙන්නට ඕන. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය සේවාව අපි ලබලා දෙන්න ඕන.

ඒ වගේම ඔවුන්ගේ දරුවන්ව ඉහළ මට්ටමකට ගේන්න ඉහළ අධ්‍යාපනයක් ලබාගැනීමට හැකිවන අයුරින් ඒ අධ්‍යපනය සකස් කරන්නට ඕන.

මෙන්න මේ සැලැස්මක් අනුව තමයි අපි ඉදිරියේදී මේ රට පාලනය කිරීම සඳහා සැලසුම් සකස් කරගෙන යන්නේ. එදා ආණ්ඩුව තුළ තිබුණු සැලැස්ම තමයි මේ රට තුළ ව්‍යවසායකයන්ට, ව්‍යාපාරිකයන්ට, සුදුසු වාතාවරණයක් සකස් කරලා දීම. රටක රජයක වගකීමේ තමයි ජනතාවට ඒ අවශ්‍ය වාතාවරණය සකස් කර දීම.

මේ රටේ ඉන්න ජනතාව මහන්සිවෙලා වැඩ කරන්නට පුළුවන් දක්ෂතාවක් තියෙන ජන කොටසක්. ඒ අයට අවශ්‍ය පොහොර ටික ලබාදෙනවා නම් ඒ අයට අවශ්‍ය වතුර ටික ලබලා දෙනවානම් ඒ අයට අවශ්‍ය පහසුකම් ලබලා දෙනවා නම් ඔවුන් මේ රට සංවර්ධනය කරන්න ලැහැස්තියි. ඒ ජනතාව ගැන විශ්වාසයක් තිබෙන පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන නායකයා. ඒ හින්දා තමයි එදා ගමට සංවර්ධනය අරගෙන ගියේ.

අපි දන්නවා ඉතිහාසය දිහා බැලුවම 1970 වැනි කාලෙත් කැරලි ඇතිවුණේ ප්‍රධාන වශයෙන්ම ගම සංවර්ධනය නොවුණු නිසා. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක්, කාලයක් තිස්සේ කතා කර කර හිටපු වරායවල්, දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළත්, මේ හම්බන්තොට වැනි දුෂ්කර පළාතකට අරගෙන ගියේ. හම්බන්තොට, මොනරාගල, අම්පාර, මඩකළපුව වැනි ප්‍රදේශවලට තමයි මෙවැනි යටිතල පහසුකම්වලින් ලාභයක් ලැබෙන්නට තිබුණේ. ලාභයක් ලබන්නට පුළුවන් වෙන්නෙ මේයින්.

මේ සෑම යටිතල පහසුකමකින්ම ලාභයක් ලැබිය හැකි ක්‍රමවේදයක් මේවා ඉදිකරනවාත් සමඟම සකස් වෙලා තිබුණා. අපිට හැකියාව තිබුණා වරායෙන් ආදායම උපදවලා ඒ ණය ගෙවන්නට. ඒකට සැලසුම් හැදිලා තිබුණා. ඒ වගේම අපි දන්නවා ඕනෑම රටකට දෙවැනි අන්තර් ජාතික ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ අවශ්‍යකම දුටුවේ බොහොම අෑත අතීතයේ ඉඳලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ ඉඳලා මේ අවශ්‍යතාව තිබුණා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නට පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.

අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ සැලසුම් තිබුණා. නමුත් ඒවා ක්‍රියාත්මක කළේ මහින්ද රාජපක්ෂ යුගයේදී. ඒවායින් ඇතිකළ යටිතල පහසුකම්වලින් පවා ප්‍රයෝජනයක් ගැනීමට මේ ආණ්ඩුවට පුළුවන්කමක් තිබුණේ නෑ. ඒවා විදේශිකයන්ට විකුණලා දැම්මා. මෙවැනි අදූරදර්ශී පාලනයක් තමයි මේ ආණ්ඩුවේ වසර 4කට ආසන්න කාලයක් ගෙනගියේ. එදා නැවැත්වූ ඒ සංවර්ධනය එදා නැවතුණු, කඩා වැටුණු ආර්ථිකය නැවතත් ගොඩගන්නට අපි සියලු දෙනාම එක්වෙමු. නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් මෙරට ඇති කරමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress