එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..
Posted on July 24th, 2018

නුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ- lanka C news

ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා ‘ ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවක්’ ලෙස සඳහන් කර ඇති බවත් ඉන්දියාව සැමදා සිහින දුටුවේ මේ ‘ශ්‍රී ලංකාව නැමැති යුද නෞකාව හසුරුවන සුක්කානම’ තමන්ගේ අතට ගැනීමට බවත් ඔවුන් මත්තල ගුවන්තොටුපළ මිලදී ගැනීමත් සමග ඒ සිහිනය බොහෝ දුරට සැබෑ වන බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ පැවති ‘ඉන්දියාවට විකුණන් කන්නේ මත්තල ගුවන් තොටුපළ ද? රටේ ආරක්ෂාව ද ? යන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

අපේ උුවමනාවන්ට සරිලන පරිදි අපට ජාතියේ ඉරණම් කතාව ලියා ගන්නට බැරි වුණොත් සියවස් ගණනාවක් නොනැසී රැකගත් අපේ උරුමය අහිමි වී මේ මව් පොළොව ලෝක බලවතුන්ගේ දඩබිමක් බවට පත් වෙනවා. මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීම කියන්නේ සාමාන්‍ය ගුවන්තොටුපළක් විකුණා දැමීම පිළිබඳ කතාවක් නොවෙයි. එය ජාතියේ ඉරණම හා බැඳුණු කතාවක්. එම කථාව මා වෙත ලැබී ඇති විශේෂ වාර්තා කිහිපයක් සමඟ සැකසූ වීඩියෝ වැඩසටහනක් සමඟ ඔබ හමුවේ තබන්නම්.

‘ ලොව විශාලතම ගුවන් කලාපයක් ’

ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ විශාලතම ගුවන් කලාපයක් හිමි රටවල් අතුරෙන් එකක්. එම ගුවන් කලාපයට දකුණෙන් ඕස්ටේ්‍රලියාව ද උතුරෙන් ඉන්දියාව ද නැගෙනහිරින් ඉන්දුනීසියාව ද බටහිරින් මාලදිවයින ද දක්වා විහිදුණු වර්ග කිලෝමීටර 17 ලක්ෂයකට වඩා විශාල ප්‍රදේශයක් අයත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට එහි භූමි ප්‍රමාණය මෙන් 28 ගුණයක් විශාල ගුවන් කලාපයක් අයත් බවයි. මෙම ගුවන් කලාපය හරහා සිදු වන ‘ඒ 380’ වැනි ලෝකයේ විශාලතම ගුවන්යානාවල ගුවන් ගමන් දිනෙන් දිනම වැඩි වෙමින් තිබෙනවා. ‘ඒ 380’ වැනි විශාල ගුවන්යානා අපේ ගුවන් තොරතුරු කලාපය හරහා වැඩි වැඩියෙන් යාමට නම් එවැනි යානා ගොඩබැස්සවිය හැකි පහසුකම් සහිත ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අත්‍යවශ්‍යයි.

’ප්‍රශස්ත තීරණයක්’

කටුනායක ගුවන්තොටුපළේ එවැනි විශාල ගුවන්යානා ගොඩබැස්සවිය හැකි පරිදි පහසුකම් තිබුණේ නැහැ. විශේෂයෙන් ගුවන්පථයක් තිබුණේ නැහැ. ඒ නිසයි ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් අවශ්‍ය වුණේ. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනෙ එදා දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස මත්තල නිර්මාණය කරන විට එමිරේට් සමාගම ඔවුන්ගේ ‘ඒ 380’ වැනි විශාලතම ගුවන්යානා ගොඩ බැසීමට හැකි පරිදි එය නිර්මාණය කරන ලෙස ලිඛිතව ඉල්ලා සිටි බව. දැනටමත් මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍රකර ගනිමින් ජාත්‍යන්තර ගුවන් මාර්ග හතක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අප තේරුම් ගත යුතුයි, එදා දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස මත්තල නිර්මාණය කිරීම ඉතාමත් නිවැරදි දේශපාලන උපායමාර්ගික තීරණයක් බව.

ඒ වගේම දැන් ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන්යානා දකුණු ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් වෙනුවට විකල්ප ගුවන්තොටුපළක් ලෙස මත්තල ගුවන්තොටුපළ යොදාගැනීමෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 13ක මුදලක් රටට ලැබෙනවා.

‘එකට බැඳුණු හම්බන්තොට වරාය – මත්තල ගුවන්තොට’

මෙහිදී තවත් කරුණක් සිහිපත් කළ යුතුයි. ඒ තමයි 2000 වර්ෂයේ මාර්තු 24 දින‘ඒ එන් 12 ’ ගුවන්යානය කඩා වැටුණු පසු ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් නිර්දේශ කරනු ලැබුවේ ද ශ්‍රී ලංකාව වහාම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදි කළ යුතු බව. ඒ වගේම හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ මත්තල ගුවන්තොටේ අවශ්‍යතාව දෙගුණ තෙගුණ වුණා. දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා දිවෙන මුහුදේ පිහිටි ලෝකේ ලොකුම වරායවලින් එකක් වන්නේ හම්බන්තොට වරායයි. ඇත්තටම ලෝකයේ විශාලතම වරායවල් අතුරින් දසවන ස්ථානය හිමි වරාය ද හම්බන්තොට වරායයි. තායිලන්තයේ ‘ක්‍රා ඇළ’ නිර්මාණය කිරීමෙන් පසු සිංගප්පූරුවට වඩා වැඩි ප්‍රමුඛස්ථානයක් හම්බන්තොට වරායට හිමි වුණා. ඒ තරම්ම වැදගත් වරායකට සේවා සැපයීමට ජාත්‍යන්තර මට්ටමේ විශාල ගුවන් පථයක් හිමි ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ නිසා හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ අපට හිමි ඉතාමත් වැදගත් ආර්ථික මර්මස්ථාන දෙකක්. ඒවා දවසකින් දෙකකින් ලාභ උපයන්නේ නැති බව රටට ආදරය කරන කුඩා දරුවකුට වුවත් තේරුම් ගත හැකියි.

ඉන්දියානු සහ බටහිර ඔත්තු සේවාවන් මෙහෙයවන විද්වතුන් හා දේශපාලන සංවිධාන විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ හම්බන්තොට වරායේ ගලක් ගැන කතා කළා. මත්තල ගුවන් කලාපයේ කුරුල්ලන් ගැන කතා කළා. මේ වටිනා ආර්ථික මර්මස්ථාන දෙක හෑල්ලු කළා. එසේ කළේ ඒවා නොවටිනා තත්ත්වයට පත් කර විකුණා දැමිය හැකි වාතාවරණයක් රට තුළ හදා දෙන්නයි. මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් බවට පත් කිරීම නිසා එයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම පවා අහිමි වූවා. මේක තනිකරම කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්.

‘ඉන්දියානු ආධිපත්‍යය ගැන කතාවක්’

අපි මේ සිදු කරන්නේ මත්තල ගුවන්තොටුපළ පිළිබඳ කතාවක් නොවෙයි. එය ඉන්දියාව අපේ මව් පොළොව සිය ග්‍රහණයට ගැනීම පිළිබඳ කතාවක්. ඉන්දියාවේ හිටපු විදේශ ලේකම්, ආරක්ෂක උපදේශක වූ ශිවශංකර් මෙනන්ගේ ‘තේරීම් : ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැදීමේ ඇතුළාන්තය’ කෘතියෙන් ඉන්දියාව නැමැති දකුණු ආසියානු බලවතාගේ උවමනාව මනාව පැහැදිලි වෙනවා. ඔහු සිය කෘතියේ එක්තරා තැනක සඳහන් කරනවා ‘ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට කිලෝමීටර් 14ක් දුරින් පිහිටි ප්‍රහාරක ගුවන් යානා රඳවන යුද නෞකාවකි’ කියලා. ඒ නිසා ඉන්දියාව හැමදාම සිහින දැක්කේ මේ යුද නෞකාව හසුරුවන සුක්කානම තමන්ගේ අතට ගන්නයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ ආධිපත්‍යය යටතට ගැනීමටයි.

ඉන්දියාව අපේ ගුවන් කලාපය අත්පත් කර ගැනීමට දීර්ඝකාලීන උත්සාහයක නිරතව සිටිනවා. එය ඇරඹුණේ 1971 දීයි. 1971, 1972 හා 1985 යන වසරවලදී අපේ ගුවන් කලාපයේ ඇතැම් කොටස් ඉන්දියාවට නොමිලේම ලබා දී තිබෙනවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට වසරකට රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් අහිමි වන බව විශේෂඥ මතයයි.

‘යුදමය වටිනාකම’

අද වන විට මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත තවත් අක්කර 99000ක් ද ඉන්දියාවට ලබා දීමට සියල්ල සූදානම්. ඉන්දියාව සතුව ඉන්දියානු භූමිය තුළ ශ්‍රී ලංකාවට සමීපව ජාත්‍යන්තර ගුවන්තොටුපළ 18ක් පවතිනවා. ඒ නිසා ඉන්දියාවට වාණිජමය වශයෙන් මත්තල ගුවන්තොටුපළේ වැදගත්කමක් නැහැ. ඕස්ටේ්‍රලියාව, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවලට නම් මත්තල වාණිජ වටිනාකමක් ඇති ගුවන්තොටුපළක්. ඒ නිසා ඉන්දියාවට මත්තල වැදගත් වෙන්නේ යුදමය වශයෙන් පමණයි. මේ ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට ඉතාම නොවටිනා මුදලකට විකුණා දමා අවසන්. දැන් වාණිජමය වශයෙන් ඩොලර් මිලියන දහස් ගණනක් වටිනා මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 325කට තක්සේරු කර තිබෙනවා. විකිණීම තමන්ගේ එකම කර්මාන්තය කරගත්තු මේ ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ සඳහා දැනට වෙන් කර ඇති හෙක්ටයාර 2800ට අමතරව තවත් ඒ ආශ්‍රිත අක්කර 99,000 ක් ද ඇතුළුව තමයි මේ තක්සේරුව කර ඇත්තේ. ඇමරිකාවේ FUGRO සමාගම දැනටමත් මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත සමීක්ෂණ කටයුතුවල නිරත වී සිටිනවා. අමතර අක්කර 99,000 තුළ ආරක්ෂක නිරීක්ෂණ කටයුතු සිදු කිරීම ඉන්දියාවට භාර කටයුත්තක් වෙනවා. මේ ආරක්ෂක කලාපය, චීනයට විකුණූ හම්බන්තොට වරාය කලාපය වටකර විහිදුවීමට නියමිතයි.

‘ආසියාවේ න්‍යෂ්ටික බලවතුන්ගේ දඩබිමක්’

මේක ඉන්දියාව හා චීනය අතර ගැටුමකට මගපාදා දීමක් නොවෙයි ද? මෑතකදී ඩොක්ලාම් දේශසීමාව අසලදී චීන හමුදා සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ හමු වූවා. අද භූතානය සහ ටිබෙටය මේ ආසියාවේ න්‍යෂ්ටික බලවතුන්ගේ ගැටුම මැද්දේ සිර වී සිටිනවා. ඩොක්ලාම් අත්දැකීමට ශ්‍රී ලංකා ජනතාවට ළඟදීම මුහුණ දීමට සිදු වේවි. මේ නිසයි අපි තේරුම් ගත යුත්තේ මේක භයානක සෙල්ලමක් කියලා. අවසානයේ අපි මේ ලෝක බලවතුන්ගේ ගැටුමට මැදි වුණු රටක් වේවි. චීනයට හම්බන්තොට වරායත් ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළත් විකුණන් කෑම ඉතාමත් බරපතළයි. ඒක ඉන්දු-ලංකා ගිවිසුමට වඩා භයානක පාවාදීමක්. ඒකයි අපි කියන්නේ මේ රටේ ජාතික සම්පත් විකුණගෙන කන බ්‍රෝකර්ලාගේ සහ ජෝකර්ලා ආණ්ඩුව ඉන්දියාවට විකුණන් කන්නේ මත්තල ගුවන්තොටුපළ පමණක් නොවෙයි ඔවුන් රටේ ආරක්ෂාව ද විකුණන් කනවා කියලා.

‘සියල්ල ඉන්දියාවට ’

ගාලු වරායේ ස්ථානගත කර ඇති නාවික හමුදා කඳවුරු ඉවත් කර එම වරාය ඉන්දියාවට දීමට නියමිතයි. ත්‍රිකුණාමල තෙල් ටැංකි දැනටමත් IOC සමාගමට දී අවසන්. ත්‍රිකුණාමල වරාය ද ඉන්දියානු, ජපාන හා සිංගප්පූරු හවුල් සමාගමකට බාර දීමට යනවා. පලාලි ගුවන්තොටුපළට සහ කන්කසන්තුරේ වරායට සංවර්ධනය කිරීමේ මුවාවෙන් දැනටමත් ඉන්දියාව අතගසා ඉවරයි. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමත් ඉන්දියානු රජයේ මැදිහත් වීමෙන් තමා සිදුවන්නේ. එතැන් සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා හනුමාන් පාලම ඉදි වෙනවා. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, පෝට් සිටි ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් ඉන්දියාව විසින් ඉල්ලා තිබෙනවා. එට්කා ගිවිසුම වෙනුවට ගෙනාපු සිංගප්පූරු වෙළද ගිවිසුමට අනුව සියලු ක්ෂේත්‍රවලට අයත් ඉන්දියානු ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසයි මම යළිත් අවධාරණය කරන්නේ මේක මත්තල ගුවන්තොටුපෙළ විකුණා දැමීම ගැන කතාවක් පමණක් නොවෙයි. ඉන්දියානු ව්‍යාප්තවාදය හා රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්’ කියලා.

‘පාවාදීමට වක්‍රාකාරව හෝ හවුල් වෙන්න එපා ! ’

එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට කියා දුන්නු, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණ අද ඉන්දියාවට මත්තල විකුණා දැමීමට අවශ්‍ය වාතාවරණය හැදුවා. බොරු බේගල් අත හැරියා. අද මේ මහා අපරාධය සම්බන්ධයෙන් සම්පූර්ණ චිත්‍රය බොහෝදෙනෙකුට දකින්න බැහැ. ඔවුන් මේ බොරු බේගල්වලින් නොමග යවලා තිබෙනවා. අපි හැකි පමණ දැනුම්වත් විය යුතුයි. මේ රටේ ආරක්ෂාව අනතුරේ හෙළීම හා ඉන්දියානු ආධිපත්‍යය පිළිබඳ කතාව ගමින් ගමට, ගෙයින් ගෙට රැගෙන යා යුතුයි. අද මේ මහා අපරාධය හමුවේ නිහඬව සිටියහොත් අපි එයට වක්‍රාකාරයෙන් සහයෝගය දුන් අය බවට පත් වෙනවා.

ස්වකීය ජාතියේ අනාගතය පාවා දුන් මිනිසුන් ලෙස තමන්ගේ නම් ලියවෙනවාට මේ මව් පොළොව ඇලුම් කරන කිසිවකුත් කැමති වන්නේ නැහැ. ඒ නිසා මේ මහා පාවා දීමෙන් රට බේරා ගැනීමට ඔබ පෙරමුණ ගත යුතුයි. ඒ සඳහා ඔබට ධෛර්යය, ශක්තිය ලැබේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

One Response to “එකට බැඳුණු හම්බන්තොට වරාය.. මත්තල ගුවන්තොට.. ශ්‍රී ලංකාව හසුරුවන පාලන සුක්කානම මත්තල හරහා ඉන්දියාව අතට..”

  1. Christie Says:

    Our country the Centre of the Indian Empire?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress