මේ යක් පැටියා ඉපදෙන්න කලින් ගබ්සා කර දැමිය යුතුයි
Posted on July 24th, 2018

තිළිණි කෞශල්‍යා විජේසිංහ උපුටාගැණීම  මව්බිම

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ප්‍රශ්නයක් බවත් රට කෑලි නවයකට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම ඊටත් වඩා ප්‍රශ්නයක් බවත් ඒකීය රාජ්‍ය අතහැර සිටින ජවිපෙ විසිවැනි සංශෝධනය ඉදිරිපත් කළේ ෆෙඩරල් ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කිරීමට පාර කැපීමට දැයි සාධාරණ සැකයක් මතුවන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (23දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

විසිවැනි සංශෝධනය විවාද කරන දවසේ කාරක සභා අවස්ථාවේදී ෆෙඩරල් ව්‍යවස්ථාව විසිවැනි සංශෝධනය ඇතුළට ඔබාවි. එවිට ඒ ෆෙඩරල් ලක්ෂණ අනුමත කර ගන්න ජනමත විචාරණයකට යොමු කළ යුතුයි කියන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමේ අවස්ථාව රටේ ජනතාවට අහිමි කරලා, ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුව තුළම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ මහා භයානක අනතුරක් විසිවැනි සංශෝධනය හරහා ඇති වී තිබෙනවා.

ලබන හත්වැනිදා හෝ ආසන්න දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන සංශෝධනයක් නෙවෙයි. ෆෙඩරල් ව්‍යවස්ථාවේ කලලයක්. ඒ නිසා මේ යක් පැටියා ඉපදෙන්න කලින් කලලය අවස්ථාවේම ගබ්සා කිරීම රටට ආදරේ හැමෝගේම යුතුකමක්.

පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම එය ඉදිරියට ගෙනයෑමට පාර්ලිමේන්තුවේ අවසරය ඕනෑ. ඒ නිසා පළමුවර කියැවීමේදීම ඊට විරුද්ධව ඡන්දය දී කලල අවස්ථාවේම මේ යක් පැටියා ගබ්සා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එම කලල අවස්ථාවේම පරාජය කිරීමට ඒකරාශී වීම රටට ආදරය කරන සියලු දෙනාගෙම යුතුකමක් කියන එක අපි සිහිපත් කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිමට සමතලා කරපු පාතාලය අද දේශපාලන අනුග්‍රහයෙන්ම හිණිපෙත්තට නැඟලා.

සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ ගෝලයන් ලෙස පාතාල සාමාජිකයන් පස්දෙනකු සිටින බව පළමු වරට හෙළි කෙළේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලිය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයලා ඒ සාමාජිකයන් ඉවත් කරනවා වෙනුවට ඇමැති ෆොන්සේකා කළේ හේමන්ත කහවලගේ කියන මේ මාධ්‍යවේදියාට තර්ජනය කරන එක.

අද ගම්පහ පොලිස් නිලධාරීන් අපට කියන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔවුන්ට වැඩිම දේශපාලන බලපෑම් එල්ල වෙන්නෙ ෆොන්සේකා ඇමැතිවරයාගෙන්. මේ ඇමැතිවරයාගේ බලපෑම මත මෑතකදී කුඩු සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් වෙනුවට එයාගේ සහෝදරියක් අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට සිදු වෙලා තිබෙනවා. මෙයාට නීතිය සහ සාමය ඇමැති ධුරය භාර දුන්නා නම් කොහොමට තිබේවිද?

අද ෆොන්සේකා ඇමැතිවරයා තර්ජනය කිරීම්වලින් නොනැවතී මේ මාධ්‍යවේදියාට අපහාස කරන්නත් පටන් අරන්. ‘මගෙන් විස්කි බෝතල් දෙකක් ඉල්ලුවා. ඒක දෙන්න බෑ කිව්ව නිසා මට මේ මාධ්‍යවේදියා අපහාස කරනවා’ කියා ඇමැතිතුමා අවලාද නඟනවා. දේශපාලනඥයන් අතුරෙන් හේමන්තව වැඩිම කාලයක් හඳුනන්නේ මම.

මම හේමන්තව දන්නේ කොට කලිසම ඇඳගෙන පාසල් යන කාලයේ පටන්. මම ඉගෙන ගත් කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ තමයි හේමන්තත් ඉගෙන ගත්තේ. මම පාසලේ සිංහල සාහිත්‍ය සංගමයට නායකත්වය දෙන විට හේමන්තත් ඒ නිලධාරි මණ්ඩලයේ හිටියා. ඒ නිසා හේමන්ත දේශපාලකයන්ගෙන් විස්කි බෝතල් ඉල්ලන්න යන්නෙත් නෑ දේශපාලකයන්ට මඩ ගහන්නෙත් නෑ, කියන ඇත්ත කියන්න බය වෙන්නෙත් නෑ කියන එක ඉතා වගකීමෙන් කියන්න පුළුවන්.

හේමන්ත කහවලගේ මාධ්‍යවේදියාට නිසි ආරක්ෂාව සලසා මාධ්‍ය නිදහස තහවුරු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress